බුලත් වගාකරුවන් සංවිධානය විය යුතුයි..

August 16, 2017 at 2:20 am | lanka C news
බුලත් වගාකරුවන් සංවිධානය විය යුතුයි..

දේශීය බුලත් නිෂ්පාදනයට හොඳ මිලක් ලබා ගැනීමට නම් වගාකරුවන් එක්ව ගම් මට්ටමින් සමිති පිහිටුවා සංවිධානය විය යුතු බව පවසන ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ, ඒ සඳහා අවශ්‍ය සහාය තම අමාත්‍යංශයෙන් ලබා දීමට සූදානම් බව කියා සිටී.

මේ වන විට පහත බැස ඇති බුලත් මිල සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධානී නාමල් කරුණාරත්න ප්‍රමුඛ එහි සාමාජිකයින් සමඟ තම අමාත්‍යංශයේදී සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවසීය.

බුලත් යනු වැඩි ඉල්ලුමක් ඇති බෝගයක් නොවන බව හා පකිස්තානය පමණක් මෙරටින් බුලත් මිල දී ගන්නා බව පෙන්වා දුන් ගමගේ මහතා, රජය මැදිහත්ව බුලත් මිල දී ගැනීමක් සිදු කළ නොහැකි බව අවධාරණය කළේය.

ඉල්ලුමට වඩා සැපයුම ඉහළ යෑමත්, ව්‍යාපාරිකයින් පිරිසක් එක්ව අඩු මිලට වගාකරුවන්ගෙන් බුලත් මිල දී ගැනීමත් සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

බුලත්වල ඇති ඖෂධීය ගුණය ආශ්‍රයෙන් එය ප්‍රචලිත කොට ලෝක වෙළෙඳපොලට හඳුන්වා දීමට ඇති හැකියාව පිළිබඳව ද එහිදී සාකච්ඡා විය.

සහභාගීව සිටි නාරම්මල බුලත් පර්යේෂණාතනයේ නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් දුන්නේ බුලත්වල ඇති ඖෂධීය ගුණය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසටයි.

– ජොර්ජ් ද සිල්වා

128 views

One Comment to “බුලත් වගාකරුවන් සංවිධානය විය යුතුයි..”

  1. බබා උක්කුන් says:

    ගම්මිරිස් කොළ බුලත් කියල පකිස්තානෙට යවන්න බැරිද ලොක්කා……?
    ඕයි, පණ්ඩිත කම් නැතිව අර පිටරටින් ගම්මිරිස් ගේන එක නවත්තල ගම්මිරිස් ගොවියාගේ ප්‍රශ්නේ විසදලා දෙනවා.
    මුන් සේරම කරන්නේ තියෙන ප්‍රශ්න විසදන එක නෙවෙයි, නැති ප්‍රශ්න ඇදල අරගෙන තියෙන ප්‍රශ්න යට ගහන එක.
    රන්න පොනියගේ ඉදල සේරම එකම තියරිය ඇප්ලයි කරන්නේ. මුන් වගේ වැඩ බැරි කාලකන්නි රැලක්.

Main News