බුවනෙකබාහු රාජ්‍ය සභාව විනාශ කිරීම ගැන ජනපතිට පැමිණිලි..

July 19, 2020 at 12:50 pm | lanka C news
බුවනෙකබාහු රාජ්‍ය සභාව විනාශ කිරීම ගැන ජනපතිට පැමිණිලි..

බුවනෙකබාහු රාජ්‍ය සභාව ලෙස සැලකොන ස්ථානය කඩා ඉවත් කිරීම ගැන හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

කුරුණෑගල  දිස්ත්‍රික්කයේ සංරක්ෂණය කළ කලයුතු ස්ථාන දහයෙන් එකක් වන
දෙවන බුවනෙකබාහු රාජ්‍ය සභාව කඩා දැමිම සම්බන්ධවයි.

ඓතිහාසික කුරුණැගල නගරයේ පිහිටි දෙවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ ඉදි කරන ලද අවුරුදු 700ක් පමණ පැරණි වර්තමානයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල දිස්ත්‍රික්යේ සංරක්ෂණය කලයුතු ගොඩනැගිලි 10න් එකක් වන රාජ්‍ය සභා ගොඩනැගිල්ල නගර සංවර්ධනය මුවාවෙන් පසුගියදා කඩා ඉවත් කර ඇත. වසර 100ක් ඉක්මවා ගිය පසු ඕනෑම ගොඩනැගිල්ලක්  පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත්ත වන බව පුරාවිද්‍යා පනතේ සදහන් වන අතර රටක පෞරාණික වස්තුන් එම රටේ අභිමානය හා ඵෙතිහාසික වටිනාකමක් විදහාදක්වන වටිනා සාක්ෂියකි. අප විසින් පුරා විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද?  අද වන විට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල මෙවන් දෑ සිදු නොවිය යුතුය.. එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුල සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයෙකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද ? යන්න සමස්ථ මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි.

ඓතිහාසික උරුමයන් අරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර, ඊට හාත්පසින්ම විරුද්ධ මෙවන් දෑ  සිදුකිරීම ජනතාව කිසිසේත්ම බලාපොරෙත්තු නොවේ. මේ හරහා වත්මන් රජයට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වු ජනතාව පත්වන අපහසුතාවය මෙපමණයි කියාකිව නොහැකිය. ගරු ජනාධිපතිතුමනි, මෙම සිදුවීම පිටුපස සිට එයට බලපෑම් කරන දේශපාලන හස්තයන් ගැන සොයා ඊට කඩිනමින් මැදිහත්ව කටයුතු කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා සිටින අතර එම ස්ථානයේ ඓතිහාසිකත්වය සුරැකෙන ලෙස අනාගත පරපුර වෙනුවෙන් එම පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ල නැවත ඒ ආකාරයෙන්ම ඉදි කරන ලෙස ද ඉල්ලා සිටිමි. එසේ නොකිරිමයෙන් සිදු වන්නේ ඔබතුමා බලයට පත් කිරීමට කටයුතු කළ ජනතාවට කරන අගෞරවයකි, අපහසයකි, අවඥාවට ලක්කිරිමකි.

එසේම  මෙම ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා  දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි.  එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

බුදුගල ජිනවංස  හිමි
සභාපති

603 views
Main News