බොරු කියන්නේ රවීද? මෛතී‍්‍රද? ජනතාව අන්දන්න යලි සූදානම්..

August 9, 2017 at 3:00 pm | lanka C news
බොරු කියන්නේ රවීද? මෛතී‍්‍රද? ජනතාව අන්දන්න යලි සූදානම්..

ඇමති රවි කරුණානායකට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව හා ඒ සම්බන්ධයෙන් පලවන වාර්තා ගැන ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කල නිවේදනයක් මෙහි දැක්වෙයි

බොරු කියන්නේ රවීද? මෛතී‍්‍රද?

හොරකමට දුෂණයට එරෙහිව දිවි හිමියෙන් කටයුතු කරන බවට දස අතේ පොරොන්දු වෙමින් බලයට පත්වූ යහපාලන ආණ්ඩුව අද ගලේ පැහැරූ බළලෙකුගේ ගානට වැටී ඇත. ඒ විදේශ ඇමති රවී කරුණානායකගේ සිද්ධියත් සමගය. රවී කරුණානායක ඇමතිවරයා බැදුම්කර කොමිසම හමුවේ ලබා දුන් ආන්දෝලානාත්මකී ‘මට මතක නෑ, මම දන්නෙ නෑ’ ප‍්‍රකාශයෙන් පසුව ඒකාබද්ධ විපක්‍ෂය විසින් කරුණානායක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කිරීමත් සමග ආණ්ඩුවේ මුඛ පූට්ටු වී ඇති බව දැන් රටටම පැහැදිලිය.

රවී කරුණානායක ඇමතිවරයාට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇතැයි මෙරට බොහෝ මාධ්‍ය පසුගිය සෙනසුරාදා(05) වාර්තාකර තිබිණි. එමගින් කියවුණේ බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේ අරලියගහ මන්දිරයේ පැවති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් පැවති සාදයේදී රවී කරුණානායක මහතා හමුවූ ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉල්ලා අස්වන බවට ඔහුට දැනුම් දුන් බවය. සැබැවින්ම අදාල ප‍්‍රවෘත්තියට රජයේ මාධ්‍ය මගින් පවා ඉහළ ප‍්‍රචාරයක් ලබා දී තිබිණි. කෙසේ වෙතත් එදිනම (05) සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තැබූ රවී කරුණානායක ඇමතිවරයා සදහන් කර තිබුණේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා එවැනි ඉල්ලීමක් තමන්ගෙන් නොකල බවය.

ඉන්පසු සදුදා (07) මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ රවී කරුණානායක ඇමතිවරයා එම තනතුරෙන් ඉවත්කර ඒ වෙනුවට තිලක් මාරපන මහතා එම තනතුරට පත් කෙරුණු ඇති බවය. එහෙත් එදිනම (07) රවී කරුණානායක ඇමතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් කරුණානායක මහතා එයද ප‍්‍රතික්ෂේප කර තිබුණි.

කෙසේ වෙතත් රවී කරුණානායක ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කලේයැයි පසුගිය සෙනසුරාදා(05) පල වු මාධ්‍ය වාර්තා මෙතෙක් ජනාධිපතිවරයා හෝ ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ රජය ප‍්‍රතික්ෂේප කර නොමැත. ඒ අනුව අප වටහා ගත යුත්තේ එක්කෝ ඒ වාර්තාව නිවැරදි බවය. නැත්නම් ජනාධිපතිවරයා මේ දිනවල පුවත්පත් බලා නොමැති බවය.

දැන් බොරු කියන්නේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාද නැත්නම් රවී කරුණානායක ඇමතිවරයාදැයි අපට නම් වැටහෙන්නේ නැත. එක්කෝ මේ දෙදෙනාගෙන් එක් අයෙක් බොරු කියයි. නැත්නම් දෙදෙනාම බොරු කියති. ආණ්ඩුව මේ උත්සාහ දරන්නේ නැවතත් ජනතාව ගොනාට ඇන්දවීමට බවනම් පැහැදිලිය.

රනිල් – මෛතී‍්‍ර ආණ්ඩුවට තවදුරටත් මේ රටේ ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩ දිය නොහැකිය . රවී කරුණානායක ඇමතිවරයා පිටින් සියලූ පව් යවා අත සෝදා ගැනීම ආණ්ඩුවේ උත්සාහය බවද පෙනේ. එවැන්නකට ඒකාබද්ධ විපක්‍ෂයේ අප කිසිසේත් ඉඩ නොදෙන බවත් ආණ්ඩුව විසින් බලතල යොදා ගනිමින් මෙම වංචාව යට ගැසීමට උත්සාහ දරන්නේ නම් සමස්ත ආණ්ඩුවටම එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බවත්, ජනතාව සමග පාරට බැස මේ දුර්දාන්ත වහ පාලන ආණ්ඩුව පලවා හැරීම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, අවධාරණය කරමු.

ප‍්‍රසන්න රණතුංග (පා.ම.)
ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු.

43 views
Main News