‘බොරු කියන්න එපා..’ – ගොඩහේවාට ප‍්‍රසන්න කියයි..

July 31, 2022 at 6:20 am | lanka C news
‘බොරු කියන්න එපා..’ – ගොඩහේවාට ප‍්‍රසන්න කියයි..

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප‍්‍රසන්ණ රණතුංග මහතා විසින් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මැතිතුමා
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

හිතවත් ගරු මන්ත්‍රීතුමනි,

2022.07.27 දින කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔබතුමා විසින් ප්‍රකාශ කරන ලද සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙනි

2022.07.27 දින කොළඹ, ජානකී හෝටලයේ දී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔබතුමා විසින් එදින පාර්ලිමේන්තුවේ දී පැවති හදිසි නීති විවාදයේ දී ඔබතුමාට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඔබගේ ලේකම්වරයෙකු මඟින් මා වෙත ඉල්ලීම් කළ බව ප්‍රකාශ කොට ඇත.

නමුත් මා විසින් ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනු ලබනුයේ 2022.07.27 දින පැවති හදිසි නීති විවාදයේ දී ඔබතුමා විසින් හෝ ඔබතුමාගේ කිසිදු ලේකම්වරයකු විසින් මා වෙත එවැනි කිසිදු ඉල්ලීමක් කර නොමැති බවයි.

2022.07.21 දින එවකට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අතිගරු ජනාධිපතිතුමා වශයෙන් දිවුරුම් දීමත් සමගම අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩු වූ අතර, ඒ සමගම අමාත්‍ය මණ්ඩලය ද විසුරුවා හැරුණු නිසා පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය අහෝසි විය.

ඒ අනුව එදින සිට 2022.07.26 දින දක්වා කාලය තුළ මා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය නොදරන ලදී. පාර්ලිමේන්තුවේ සභානායක ධූරය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා නම් කිරීම සිදුකරන ලද්දේ 2022.07.26 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේදී පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම් අවස්ථාවේ දීය.

කෙසේ වුවද පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදාය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම් පවතින සතියට පෙරාතුව පවත්වනු ලබන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ දී එකී පාර්ලිමේන්තු සතිය තුළ විවාදයට ගැනෙන විෂයයන් සඳහා අදහස් දැක්වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ලබා ගැනීමයි. ඒ අනුව 2022.07.26 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති කණ්ඩායම් රැස්වීමේ දී 2022.07.27 දින පැවැත්වීමට නියමිතව තිබූ හදිසි නීති විවාදයේ දී අදහස් දැක්වීමට බලාපොරොත්තු වන කථිකයින්ගේ නාමලේඛනය ලබාගන්නා ලදී. නමුත් ඔබතුමා එම රැස්වීමට සහභාගී නොවූ අතර, එබැවින් හදිසි නීති විවාදයේදී අදහස් දැක්වීම සඳහා මා වෙත කිසිදු විධිමත් ඉල්ලීමක් සිදුකර නොතිබුණු බව වැඩිදුරටත් දන්වා සිටිමි.

එබැවින් වගකිවයුතු දේශපාලනඥයකු වශයෙන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව මෙයින් ප්‍රකාශ කරන අතර, මෙය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

මෙයට – හිතවත්

ප්‍රසන්න රණතුංග
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

63,676 views

15 Comments to “‘බොරු කියන්න එපා..’ – ගොඩහේවාට ප‍්‍රසන්න කියයි..”

  1. Lalla says:

    ගොඩහේවා හොරා.ප්‍රසන්න කප්පම් කාරයා .දෙන්න එකට කරත්තෙක බැඳල හම ගගහ ප්‍රසිද්ධ පාරේ දක්කන්න ඕන මුන්ගේ හැටි දැනගන්න.

Main News