බෝගල පතලේ මියගිය සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට වන්දි…

February 25, 2017 at 2:06 am | lanka C news
බෝගල පතලේ මියගිය සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට වන්දි…

පසුගියදා බෝගල පතලේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් මරණයට පත්වූ සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කිරීම කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේදී සිදුවිය. අනතුර සිදුවී මාසයක් වැනි කෙටි කලක් තුළ මෙම වන්දී මුදල ලබා දීමට අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇත.

සිද්ධිය සිදුවූ මොහොතේදීම ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග මහත්මියට උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙම වන්දි ප්‍රදානය සිදු කෙරුණු බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, මියගිය සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට ලබාදුන් මෙම වන්දි මුදලට අමතරව අදාල පුද්ගලයාගේ මාසික වැටුප ඔහුගේ විශ්‍රාම වයස එළැඹෙන තෙක් ඔහුගේ බිරිඳට ලබාදීමටත් සේවය සඳහා ලබාදී තිබූ පතල් නිල නිවාසය විශ්‍රාම වයස එළැඹෙන තෙක් යැපෙන්නන්ට ලබාදීමටත් පතල් පාලනාධිකාරිය කටයුතු කර ඇත.

මීට අමතරව මියගිය සේවකයාගේ දරුවන් තිදෙනාට ශ්‍රම වාසනා අරමුදලේ අනුග්‍රහයෙන් පාසල් පොත් සහ  පාසල් පාවහන් ඇතුළු පාසල් උපකරණ කට්ටල තුනක්ද අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරිණි. මිය ගිය මෙම සේවකයාගේ දරුවන් දෙදෙනෙකුට ශ්‍රම වාසනා අරමුදලේ අනුග්‍රහය ඇතිව රුපියල් පනස් දහස බැගින් වන ස්ථිර තැන්පතු  දෙකක් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලෙස ලබාදීමට ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

මියගිය ප්‍රදීප් කුමාර නැමැති පතල් සේවකයා බෝගල – අරුක්ගම්මන පදිංචිකරුවෙකි. ඔහු බෝගල පතලේ සේවයට එක්ව ඇත්තේ 1996 වර්ෂයේදීය. පතලේ අඩි 350 ක් පමණ පහළින් පිහිටි දෝනාවකින් යමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ගෝඨාභය ජයරත්න,කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග,කම්කරු වන්දි කොමසාරිස් අනුෂා මුතුකුමාරණ,ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්.ජයලත්,රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා නියෝජනය කරමින් සම්බන්ධීකරණ ලේකම් මදුරංග අබේසිංහ සහ බෝගල ග්‍රැෆයිට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමිල ජයසිංහ යන මහත්ම මහත්මීහූ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– W.K. සරත් කුමාර

20 views

One Comment to “බෝගල පතලේ මියගිය සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට වන්දි…”

  1. Champa says:

    This is praiseworthy. The Labour Ministry has taken a swift action to see the welfare of the deceased.

    The compensation package is attractive. The rest I think I should write in Sinhala.

Main News