බෝගස්වැව ඇතුලු ගම්මාන 5ක වැසියන් මාර්ගය අවහිර කරමින් විරෝධතා…

September 5, 2019 at 2:07 am | lanka C news

වසර 7 ක කාලයක සිට නැවත පදිංචි වූ වව්නියාව බෝගස්වැව ඇතුලු ගම්මාන 5 ක වැසියන්ට පොරොන්දු වූ පරිදි ගොවිතැන් කිරීමට කුඹුරු ඉඩම් නොදීම හේතුවෙන් එම ඉඩම් ඉල්ලා සියලු ගම්මානයන්හි ජනතාව විශාල පිරිසක් වව්නියාව රඹවේටිකුලම් වැව ඉදිරිපිටදී වව්නියාව පදවිය මාර්ගය අවහිර කරමින් (04) උද්ඝෝෂණයක පෙලපාලියක නිරත වූහ.

බෝගස්වැව ගොවි අයිතීන් දිනාගැනීමේ සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ගොෂණ පෙලපාලිය සඳහා සමස්තලංකා ගොවිජන සම්මේලනය විසින් සහය දෙමින් එහි ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න, උපසභාපති සුසන්ත කුමාර, එහි ලේකම් ටී.බී. සරත් යන අය ඇතුලු ගම්වාසීන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණ පෙලපාලය වෙනුවෙන් සහභාගී වූහ.

බෝගස්වැව, නන්දිමිත්‍රගම, වෙහෙරතැන්න,සැලලිහිණිගම සහ නාමල්ගම පවුල් 2882ක් 2012 වසරේදී නැවත පදිංචි කරනු ලැබුවේ ගොඩින් අක්කරයක් සහ මඩින් කුඹුරු අක්කරයක භූමියක් ලබා දෙන බවට පොරොන්දුවකින් වුවද ගොඩින් අක්කරයක් තමන්ට ලැබුනද මෙතෙක් කුඹුරු ඉඩම් නොලැබීම හේතුවෙන් එම වැසියන් දැඩි සේ පීඩා විඳීම හේතුවෙන් මෙම උද්ඝෝෂණ පෙලපාලිය සංවිධානය කොට තිබුණි.

රඹවෙට්ටිකුලම් වැවට අයිතිව කුඹුරු ඉඩම් 2000කට අධික ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක බලකාය මගින් පාලනය කෙරෙන අතර එම ඉඩම් කිහිප අවස්ථාවකදීම ඉල්ලා සිටියද කිසිදු බලධාරියෙකු පියවරක් නොගෙන ඇති බවටත් අදාල කුඹුරු ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදෙන ලෙසට මහවැලි අධිකාරය හා ප්‍රාදේීශය ලේකම් කාර්යල මගින් දැනුම් දී තිබුණද සිවිල් ආරක්ෂක බලකායෙන් එම කුඹුරු ඉඩම් බලහත්කාරයෙන් පරිහරණය කරන බවට උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව පැවසූහ.

එමෙන්ම ඉතා ඉක්මනින් අදාල කුඹුරු ඉඩම් නොලැබුනහොත් එලඹෙන 12 වනදා සියලු ගොවීන් මහවැලි භාර අමාත්‍යංශ ඇතුලු කොළඹ වැටලීමේ දැවන්ත විරෝධතා පෙලපාලියක් පැමිණ රහදී කුඹුරු ඉඩම් ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවටද ගම්වාසීන් වැඩිදුරටත් පැවසූහ.

උද්ඝෝෂණ පෙලපාලිය නන්දිමිත්‍රගමින්ආරම්භ වී රඹවෙට්ටිකුලම් වැව ඉදිරිපිට පිහිටි සිවිල් ආරක්ෂක බලකා කඳවුර ඉදිරිපිටින් මාර්ගය අවහිර කිරීමෙන් අනතුරුව අදාල කුඹුරු ඉඩම් වෙතටද ඇතුල් වී අදාල ඉඩම් සාමාන්‍ය ජනතාවට බෙදා දෙන ලෙසට උද්ඝෝෂණයෙහි නිරත වූහ.

කෙසේ  වෙතත් බෝගස්වැව පොලීසිය විසින් උද්ඝෝෂකයින් පාලනය කල අතර ප්‍රධාන මාර්ගයේ අඩාල වී තිබූ ගමනාගමන කටයුතුද සාමාන්‍ය අතරට පත්කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,110 Viewers
Main News