භාරත ඝාතනය නඩුව උඩු යටිකුරු වේ.. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට බව නීතිපති පිලිගනී…

July 26, 2018 at 9:20 am | lanka C news
භාරත ඝාතනය නඩුව උඩු යටිකුරු වේ.. මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට බව නීතිපති පිලිගනී…

භාරතට පෙර වෙඩි වැදුණේ දුමින්දට බවත් වෙඩි පහර එකක් නොව, දෙකක්ම දුමින්දගේ හිසටම එල්ල කරන ලද්දේ භාරතගේ ආරක්ෂකයා බවත් නීතිපතිවරයාද ඊයේ (25දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේදී පිළිගත්තේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න දුමින්ද පාර්ශ්වය වෙනුවෙන් සිය අවසන් කරුණු දැක්වීමේදී පංචපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ එකී කරුණු තහවුරු කරමින් නීතිපතිවරයා නියෝජනය කළ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත ගුරුගේගෙන් එම කරුණු ඔබ ප්‍රතික්ෂේප කරන්නේ දැයි විමසූ අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වමින් එය පිළිගත්තේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා සහ ඔහුගේ ආරක්ෂකයන් ඇතුළු පස්දෙනකුට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 8 වැනි දින කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද බෙදුණු (3ට-2ක) නඩු තීන්දුව ඉවත දමන ලෙස ඉල්ලමින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම් 5හි විභාගය ඊයේ (25දා) අවසන් විය.

තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර අවසන් වශයෙන් සිය ලිඛිත සැලකිරීම් ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම් පාර්ශ්වයට හා නීතිපතිවරයාටද අගෝස්තු මස 10 වැනි දින දක්වා පංචපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ල විසින් කාලය ලබා දෙන ලදී.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, විනිසුරු නලින් පෙරේරා සහ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ යන පංචපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එම පෙත්සම් විභාගය සිදුවිය.

2011 ඔක්තෝබර් 8 වැනි දින පළාත් පාලන මැතිවරණ දිනයේ හිඹුටානේදී සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු 5 දෙනාගේ මරණ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනකුට එරෙහිව 2015දී නීතිපතිවරයා විසින් පවරන ලද නඩුව නීතිපති විභාග කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලය 2016 අගෝස්තු මස 8 වැනි දින එහි තීන්දුව ප්‍රකාශ කළේය.

එමඟින් දුමින්ද සිල්වා හා ඔහුගේ ආරක්ෂකයන් වූ ඩී.එම්. සරත් බණ්ඩාර, අනුර තුෂාර ද මෙල්, චමින්ද ජයනාත් හා ජනක ප්‍රියන්ත ගලබොඩ යන 5 දෙනාට එරෙහිව පවරා තිබූ සියලු චෝදනාවලට ඔවුන් වැරැදිකරු කරමින් විනිසුරු පද්මිණී රණවක මහත්මිය විසින් ඔවුන් සියලු දෙනාට මරණ දඬුවම් නියම කරනු ලැබුවාය.

මෙම අභියාචනා ඊට එරෙහිව ගොනුවූ අතර ඉහත පංචපුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ එකී පෙත්සම් පිළිබඳ විභාගය පැවැත්විණි.

– mawbima

373 views
Main News