භික්‍ෂුවක් විසින් ලාබාල දැරියක් වසර 03ක් තිස්සේ දුෂණය කරලා..- පොලිසියට පැමිණිලි..

April 1, 2019 at 4:40 pm | lanka C news
භික්‍ෂුවක් විසින් ලාබාල දැරියක් වසර 03ක් තිස්සේ දුෂණය කරලා..- පොලිසියට පැමිණිලි..

ගාල්ල අධ්‍යාපන කලාපයේ පාසලක අවුරුදු දහයක (10) දැරියක් වසර තුනක (03) කාලයක සිට ලිංගික අතවරයට ලක්කල බව කියන චීවරධාරියකු අත් අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

සිද්ධියට මුහුණ පා ඇති දැරිය තමන්ට සිදුවන අතවරය සම්බන්ධයෙන් සිය පන්තිභාර ගුරුතුමියට ප්‍රකාශ කිරීමෙන් පසු ගුරුවරිය විදුහල්පතිවරයා දැනුවත් කර තිබෙන බවත් විදුහල්පතිවරයාගේ මෙහෙයවීම යටතේ අදාල අංශ වෙත සිද්ධිය පැමිණිලි කර තිබෙන බවත් දෙමාපියෝ ප්‍රකාශ කරති.

මෙම සිද්ධියට අදාලව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එම දරු පවුලට මුදල් හා තෑගි බෝග ලබා දීමට පලාතේ දේශපාලනඥයකු ඇතුලු ප්‍රදේශයේ ජනප්‍රිය වෙනත් පාසලක විදුහල්පතිනියක් මැදිහත් වී අදාල යෝජනා කර තිබෙන බවද දැන ගන්නට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් කිසිවෙකු හෝ නොකරන ලෙස එම විදුහල්පතිනියක් අවස්ථා කිහිපයකදීම දැරියගේ දෙමාපියන්ට බලපෑම් කර ඇති බව ද අතවරයට පත් දැරිය අධ්‍යාපනය ලබන පාසැලේ දෙමාපියෝ ප්‍රකාශ කරති.

මෙවර පස්වන (05) ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම දැරිය පවුලේ එකම දියණිය වන අතර ඇයට පිරිමි සහෝදරයන් දෙදෙනෙකු ද සිටින බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. විදුලිය පහසුකම් නොමැති කටු මැටියෙන් සැකසූ නිවසක පදිංචි මොවුන් අසරණ දරු පවුලක් බවද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

දැරිය පදිංචි ප්‍රදේශයේ විහාරස්ථානයේ චීවරධාරියකු විසින් වසර 03 ක පමණ කාලයක සිට දැරිය විහාරස්ථානයට යන අවස්ථාවල දී මෙන් ම දහම් පාසල් අධ්‍යාපනය සඳහා ගිය අවස්ථාවලදී අතවරයට පත්ව තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. දැරිය දහම් පාසැල් පැමිණි දිනවල ලැබෙන තේ විවේකයේදී මෙන්ම ලැබෙන අනෙකුත් අවස්ථාවලදී මෙම දැරිය ඇතුලු තවත් දැරියන් කිහිප දෙනෙකු පන්සල ඇතුලේ කාමරයකට ගෙන ගොස් අතවර කර ඇති බවද ළමා ප්‍රවර්ධන නිලධාරින් පරිවාස නිලධාරින් හමුවේ ප්‍රකාශ කර ඇත. විදුහලේ දී දැරිය කළ ප්‍රකාශයන් එම නිලධාරින් විසින් වීඩියෝ ගත කර සංයුක්ත තැටිවලට දමා අදාල අංශ වෙත ලබා දී තිබෙන බවද බද්දේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල කාර්යමණ්ඩලයේ නිලධාරීන් කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරිමට අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත පාසල් බලධාරින් නිතිඥවර‍යෙකු සමඟ ගොස් පොලිස් ස්ථානාධිපතිවරයාට සියලු තොරතුරු ලබා දුන්න ද ඒ සදහා පොලිසිය මෙතෙක් සැකකාර චීවරධාරියා අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන නැති බවත් එසේ කර ඇත්තේ විවිධ පුද්ගලයින්ගෙන් එල්ල වන බලපෑම නිසා බවත් දෙමව්පියෝ ප්‍රකාශ කරති.

සිද්ධියට මුහුණ පා සිටින දැරියගේ දෙමාපියන් කුලී වැඩ කරගෙන දවස ගෙවන අය බවත් ඔවුන්ගේ නිවසට ජල විදුලි පහසුකම් හෝ රූපවාහිනියක්වත් නොමැති නිසා විහාරස්ථානය අසලම පදිංචි මෙම දැරිය දෙමාපින් සමඟ රූපවාහිනිය නැරඹිමට රාත්‍රි කාලයේ දී විහාරස්ථානයට යන බවත් දැන ගන්නට තිබේ. දෙමව්පියන් හා සොහොයුරන් සිටියදීම දැරිය චීවරධාරියා විසින් විහාරස්ථානයේ කාමරයකට රැගෙන ගොස් බොහෝ වේලාවක් රදවාගෙන සිට කෑමට පලතුරු හෝ වෙනයම් යමක් ඇයට ලබා දී නැවත මව්පියන් අතරට එවන බවත් දැරිය විසින් කරන ලද ප්‍රකාශ වල සදහන් වේ.

මෙම දැරිය විසින් කරන ලද ප්‍රකාශයන් බද්දේගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරින් සියල්ල සටහන් කරගෙන වීඩියෝ ගතකර ඇති බවත් එම තොරතුරු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකරන ලෙස ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් සහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිමිවරුන් කණ්ඩායමක් පලාතේ ප්‍රබල දේශපාලන චරිතයක් මාර්ගයෙන් ක්‍රියා කරමින් සිටින නිසා මෙම සිද්ධිය යටපත් වීමට ඉඩ ඇති බවත් දෙමව්පියන් ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධව බද්දේගම පොලිස් ස්ථානාධිපති වසන්ත දිසානායක මහතාගෙන් කල විමසීමකදී ප්‍රකාශ කළේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිම පැමිණිල්ලක් සටහන් කර නොමැති බවයි. පැමිණිල්ලක් නොමැතිව ලැබෙන තොරතුරු මත රාජකාරි කිරිම අවධානම් සහගත බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

වසන්ත දිසානායක මහතා මෙසේද කීය.

ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලයට මේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා දී තිබෙනවා. එම තොරතුරු වලට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දුව මහතා මේ සම්බන්ධයෙන් වෙනම නිලධාරින් කණ්ඩායමක් පත්කර මේ වන විට පරික්ෂණයක් සිදු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනප්‍රිය පාසැලක විදුහල්පතිනිය වන කකුදපාදෙනිය කොඩිතුවක්කු මහත්මියගෙන් විමසූ විට මෙසේ පැවසීය.

ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් මම කිසිවක් දන්නේ නැහැ. මේ සිද්ධිය යටපත් කරන්න මම කිසිම උත්සාහයක් අරගෙනත් නැහැ. මෙවැනි පැමිණිල්ලක් පොලිසියට ලැබි තිබෙනවද කියල මම පොලිසියෙන් ඇහුවා, ප්‍රාදේශීය ලේකම්තුමියගෙනුත් ඇහුවා. ඊට එහා කිසිම දෙයක් සිද්ධිය සම්බන්ධයෙන් මම කරල නැහැ. ඔය කියන දරුවගේ ගෙදරට තවත් හාමුදුරුවරු කණ්ඩායම් සමඟ තෑගි බෝග අරන් සිද්ධිය යටපත් කරන්නට මම මැහිහත් වුණාය, කියන චෝදනාව සම්පුර්ණ අසත්‍යයක් යැයිද ඇය පැවසුවා ය.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ ළමා ආරක්ෂක අංශයේ නිලධාරිනියක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධව පරික්ෂණයක් ආරම්භ කර ඇති බවය. ඊට එහා යමක් මාධ්‍යයට ප්‍රකාශ කිරීමට තමන්ට බලයක් නොමැති බවද ඇය ප්‍රකාශ කළාය.

– ජයකාන්ත ලියනගේ

343 views
Main News