භූමිය ආරක්ෂා කිරීම මිස විකුණා දැමීමට පාලකයින්ට අයිතියක් නෑ..- අම්පාරේ වෙනම නිදහස සමරමින් දයා ගමගේ කියයි..

February 6, 2017 at 10:40 am | lanka C news
භූමිය ආරක්ෂා කිරීම මිස විකුණා දැමීමට පාලකයින්ට අයිතියක් නෑ..- අම්පාරේ වෙනම නිදහස සමරමින් දයා ගමගේ කියයි..

නිදහස නියමාකාරයෙන් අර්ථවත් වීමට නම් අදහස් ප්‍රකාශ කිරීම, මූලික අවශ්‍යතා සහ ජීවත්වීමට හොඳ ආර්ථිකයක් ලැබීමේ අයිතීන් ජනතාවට සහතික විය යුතු බව ඇමති දයා ගමගේ පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ, 69 වැනි ජාතික දිනයට සමගාමීව ඊයේ අම්පාර නගරයේ පැවති නිදහස් සැමරුමක් අමතමිනි.

රටට දේශපාලනිකව ලැබී ඇති නිදහස භුක්ති විඳීමට නම් ඉහත සඳහන් අයිතීන් ජනතාව සතු විය යුතු බව ඇමතිවරයා අවධාරණය කළේය.

නිදහසේ පියා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් ලෝකයට ණය නොවූ බව පෙන්වා දුන් ඔහු, සේනානායක මහතා බිහි කළ ගල්ඔය ව්‍යාපාරයෙන් හෙක්ටාර 75,000ක භූමියක් අස්වැද්දීමට හැකිව තිබෙන බව ද කීය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූයේ, භූමිය ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීම මිස එය විකුණා දැමීමට පාලකයින්ට අයිතියක් නොමැති බවයි.

නියම නිදහස උදා කර ගැනීමේදී රට සමෘද්ධිය කරා ගෙන යෑම සඳහා නිෂ්පාදනය ඉහළ නංවා ගැවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් හෙතෙම, ඒ වෙනුවෙන් කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපෘති 1,470ක් තමා යටතේ ඇති ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සැලසුම් කොට තිබෙන බව කීය.

සමෘද්ධිමත් රටක් වෙනුවෙන් වන අඩිතාලම මේ වසරේදී තබන බව කී ඔහු, අගමැතිවරයාගේ රැකියා මිලියනයක් බිහි කිරීමේ සංකල්පයට ද එම ව්‍යාපෘති ඉවහල් වනු ඇතැයි පවසා සිටියේය.

– ජෝජ් පෙරේරා

47 views