මං බාර ගන්නකොට සතොස බංකොලොත් වෙලා තිබුනේ.. දැන් ගොඩ දාලයි තියෙන්නෙ..

March 22, 2017 at 8:02 am | lanka C news
මං බාර ගන්නකොට සතොස බංකොලොත් වෙලා තිබුනේ.. දැන් ගොඩ දාලයි තියෙන්නෙ..

“මේ රටේ තියෙන්නේ ආණ්ඩුවේන ආණ්ඩුවට වෙනස්වන එකම ආණ්ඩුවේ වුණත් ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස්වන ප්‍රතිපත්තියක්. අපි මේ ක්‍රමය වෙනස් කරන්න කටයුතු කරනවා. අදින් වසර 10ට විතර පෙර පටන් අරගෙන කරගන්න බැරුව පැත්තක දාපු ජාතික සමූපකාර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ කාර්යය අද සාර්ථක අවසානයක් කරා ළඟා වෙමින් තිබෙනවා. අපි මේ පළාත්වල බලයත් ආරක්ෂා කරගෙන විමධ්‍යගත කරපු අරමුණු සාක්ෂාත් කරගෙන මේ පනත ගෙන ආ යුතුයි“ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජාතික සමූපකාර ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමේ පළාත් සමූපකාර අමාත්‍යවරුන්ගේ සමුළුව අමතමිනි. මෙහි දී අදහස් දැක්වූ බදුයිදීන් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

සමූපකාර ව්‍යාපාරය ඉතා වැදගත් පුළුල් ව්‍යාපාරයක්. ජාත්‍යන්තරයේ ඉතා පිළිගැනීමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ වැඩි සේවක පිරිසක් වැඩි නිලධාරීන් පිරිසක් ඉන්නේ පළාත් අමාත්‍යාංශ යටතේ. අපි රජය ලෙස හැමෝම එකතුවෙලා මේ ව්‍යාපාරය වැඩි දියුණු කරන්න අවශ්‍ය එකඟතාවලට එන්න අවශ්‍යයි. මේ වැඩපිළිවෙල පටන් ගත්තේ අවුරුදු 10ට පමණ පෙර. නමුත් ඒක සිදුවුණේ නැහැ. මහන්සිය, මුදල් අපතේ ගිහින් තිබුණා. මේ නිසා මම ඒක අරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණා.

පළාත් අංශයත්, ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට මමත් ඔක්කොම එකතු වෙලා මේක ශක්තිමත් කරන්න අවශ්‍යයි. මේ ස්ථානයේ මහ ඇමතිවරු දෙදෙනෙක් සහ පළාත් ඇමතිවරු ඉන්නවා. මේ සියලුම දේ ඔබතුමන්ලා යටතේ තියෙන සමිති සමග සාකච්ඡා කරලා පළාත් සභාවේ ඇමතිවරු සමග යෝජනාව ඉදිරිපත් කරලා මේ දැනට සකස් කර පනත් කෙටුම්පතේ යම් අඩුපාඩුවක් තිබෙනවානම් ඒවා හදලා ඒකට අපි හැමෝම එකඟනම් ඉදිරියේ දී මේක සම්මත කරන්න අවශ්‍ය පියවර ගැනීමට මම කැමතියි.

අපේ මේ පුංචි රට තවමත් එකම තැන පල් වෙන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් නැති නිසා. සමූපකාරයටත් ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. අපි ඉතා ඉක්මණින් මේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. සමූපකාර ව්‍යාපාරය කියන්නේ මේ රටේ පැහැදිලි වෙනසක් ඇති කළ හැකි ව්‍යාපාරයක්. අපි දැක්කා ඇතැම් පළාත්වල ලොකු වැඩ කොටසක් කර තිබෙනවා. වයඹ පළාතේ දුප්පත් පවුල් සඳහා නිවාස පවා හදනවා.

අපි මේ ව්‍යාපාරය දියුණු කළ යුතුයි. පසුගිය කාලයේ ලංකා සතොස සම්පූර්ණයෙන් ම බිඳ වැටී තිබුණා. මට ලංකා සතොස බාර දෙන මොහොතේ අගමැතිතුමා කිව්වා මේක ගොඩගැනීම අසීරු කරුණක් බව. නමුත් මා ඒ අභියෝගය බාර ගත්තා. දැන් අපි සතොස වෙළෙඳ සැල් අලුතෙන් ආරම්භ කරමින් එය වැඩිදියුණු කර තිබෙනවා. නව තාක්ෂණය එකතුකරලා තියෙනවා. ලංකා සතොස ලාභ ලබන ආයතනයක් ලෙස වැඩිදියුණු කරන්න කටයුතු කර තිබෙනවා. ඒ ඉලක්ක සම්පූර්ණ කරගත හැකිවන බව විශ්වාසයි. සමස්ථ සමූපකාර ව්‍යාපාරයම අපි ක්‍රමයෙන් ගොඩනැගිය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතා මෙසේ කීවේය.

ප්‍රශ්නයක් මතුවන හැම විටම සමූපකාරය පෙරට එනවා. අපේ සංස්කෘතිය හා බද්ධ වූ දෙයක්. සියලු ආගම් සමග බද්ධ වූ මහා ව්‍යාපාරයක්. ලෝකයේ තියෙන මහා ව්‍යාපාරයක්. මේ සමග කටයුතු කරද්දී සමාන ලක්ෂණ හැමෝටම තියෙනවා. පළාත් වශයෙන් විවිධ අරමුණු මධ්‍ය අරමුණ සමග සමගාමීව යන අරමුණු ඇති. මේවා එකට එක්ව කටයුතු කරන්නේ කොහොම ද පළාතේ විවිධත්වයට හානි නොකර කටයුතු කරන්නේ කොහොම ද ? එක එක පළාත්වල සැලඩ් එක් වෙග් හැම රසයම තිබෙනවා. මිදි ඇපල් පැපොල් හැමදේම තියෙනවා. ඒක එකයි. එකට දාලා මිශ්‍ර කරලා පුඩිමක් හැදුවොත් එක රසයක් තියෙන්නේ. කේක්නම් කේක්, එතැන බිත්තර, සීනි, පිටි වෙන වෙනම රස විදින්න බැහැ. එකක් තයෙන්නේ. සැලඩ් බෝල් කියන ප්‍රතිපත්තිය යටතේ විවිධ සංස්කෘතීන්, තේමාවන් යටතේ එකට පවත්වාගෙන යා හැකියි. 2016 නොවැම්බර් මාසයේ සමූපකාර කොමසාරිස්වරුන්ගේ සම්මේලනයේ දී මේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණ ගත්තා. අද කෙටුම්පත් සකස් කරලා අද ඉදිරිපත් කරනවා ගරු අමාත්‍යවරුන්ගෙ අදහස් අරගෙන සම්මත කරගන්නේ කොහොම ද කියන එක ගැන අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු පාර්ශව කරුවන් එකතු වෙලා සාකච්ඡා කරලා සමගියෙන් රැස්වී සමගියෙන් සාකච්ඡා කරලා සමගියෙන් විසිර යන්න බලාපෙරොත්තු වෙනවා. ප්‍රඥප්තිය සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනා ම ඒකාබද්ධ කරගෙන මේක මහජනතාවට අවශ්‍ය සේවය ලබාදේන්නේ කොහොම ද කියන එක තමයි අද මේ සාකච්චාවේ අරමුණ වෙන්නේ.

මෙම සමුළුව සඳහා සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා, දකුණු පළාත් සමූපකාර අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා, බස්නාහිර පළාත් සමූපකාර අමාත්‍ය ලලිත් වනිගරත්න මහතා, වයඹ පළාත් සමූපකාර අමාත්‍ය ආර්.පී.ඩී.ගුණදාස දෙහිගම මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය දුරෙයි රාජසිංහම් මහතා සහභාගී වී සිටියහ.

– සජීව විජේවීර

12 views
Main News