මගනැගුමට නව පර්යේෂණාගාරයක්.. යන්ත‍්‍රාගාරයක්..

March 22, 2017 at 2:09 am | lanka C news
මගනැගුමට නව පර්යේෂණාගාරයක්.. යන්ත‍්‍රාගාරයක්..

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක මගනැගුම උපදේශන හා ව්‍යාපෘති කළමනාකරණ සේවා පුද්ගලික සමාගමේ කොත්මලේ යන්ත‍්‍රාගාර පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද පර්යේෂණාගාරය සහ නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය විවෘත කිරීම ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ගම්පොළ , අටබාගේ , නවදෙවිට හිදී සිදු කෙරිණ.

අලූතින් ආරම්භ කරන ලද පර්යේෂණාගාරය තුලින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය වල තත්ව පරීක්ෂණ කිරීමේ පහසුකම් ඇත. මෙම අමුද්‍රව්‍ය රසායනාගාරය තුලින් මහාමාර්ග , පාලම් ඇතුළු සියළු ඉදිකිරීම් කටයුතු වලට භාවිතා කරන අමුද්‍රව්‍ය පරීක්ෂා කර ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමට හැකියාව ඇත.

මීට සමගාමීව නවීකරණය කරන ලද යන්ත‍්‍රාගාරය මඟින් මාර්ග නඩත්තු කටයුතු සිදු කිරීමට උපයෝගී කරගනු ලබන සිසිල් පෙරමුසු ගල්තාර මිශ‍්‍රණය හෙවත් පෙරමුසු තාර මාසයකට ටොන් 1500 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. මේ තුලින් මධ්‍යම පළාතේ සියළුම මාර්ග ඉදිකිරීම් වැඩ ඒකක වෙත සිසිල් පෙරමුසු නිෂ්පාදන ප‍්‍රමාදයකින් තොරව ලබා දීමේ පහසුකම් ඉදිරියේ දී සැලසෙනු ඇත.

– රජිත සමරසූරිය

2 views
Main News