‘මගේ ඥාතීන්, මිත‍්‍රයින්, හිතවතුන්, ඕනෑම කෙනෙක් මගේ කඩුවෙන් කපා දානවා..’- බැදුම්කර වාර්තාව අතට ගන්නට පෙර ජනපති බරපතල කතාවක් කියයි..

December 28, 2017 at 11:09 pm | lanka C news
‘මගේ ඥාතීන්, මිත‍්‍රයින්, හිතවතුන්, ඕනෑම කෙනෙක් මගේ කඩුවෙන් කපා දානවා..’- බැදුම්කර වාර්තාව අතට ගන්නට පෙර ජනපති බරපතල කතාවක් කියයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් (28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.

වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් සඳහා වන “නිදහසේ සම්මුතිය” මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජාතියේ අනාගතය වෙනුවෙන් පිරිසිදු සහ නිර්මල දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබඳතාවයක් නොසලකන බවයි.

රටට, ජනතාවට ආදරය කරන දූෂණයට, වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන, අවංක, සෘජු දේශපාලන නවකයින් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අපේ්ක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා අවංක, පිරිසිදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගනිමින් අනාගතයේ දී යහපත් ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වන ප‍්‍රවේශය මෙම මැතිවරණය තුළින් සනිටුහන් කළ යුතු බව ද කියා සිටියේය.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයෙකුට පුද්ගලික න්‍යාය පත‍්‍රයක් තිබිය නොහැකි අතර, ඒ සෑම කෙනෙකුටම තිබිය යුත්තේ රටේ, ජාතියේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වූ පොදු න්‍යාය පත‍්‍රයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක‍්‍රමයට පැවැත්වීමට හැකීවීම විශාල ජයග‍්‍රහණයක් බවත්, යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ප‍්‍රවේශය ඒ තුළින් සිදුවන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා, පසුගිය වසර දෙකේ ආණ්ඩුව තුළත්, විපක්ෂය තුළත් ඒ වෙනුවෙන් විශාල සටනක් කිරීමට සිදුවූ ආකාරය ද සිහිපත් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප‍්‍රකාශයට පත් කරන නිදහසේ සම්මුතිය රටේත්, ජාතියේත් මෙන්ම අද සිටින සහ හෙට උපදින දරු පරපුරේ අනාගතය වෙනුවෙන් වූ සම්මුතියක් බව සඳහන් කළ ජනාධිපතිතුමා එම සම්මුතිය තුළ යහපත් අනාගත දේශපාලන දැක්මක් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසක් රට තුළ ගොඩනැගෙනු ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම විනයෙන්, හික්මීමෙන් හා මැතිවරණ නීතිරිතීවලට අනුකූලව ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරයක් සදහා සියලුදෙනාගේ කැපවීම ද මෙහිදී අවධාරණය කළ ජනාධිතිතුමා යහපත් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ජනතාවට ලබාදෙන පණිවිඩය එය බවද සඳහන් කළේය.

නිදහසේ සම්මුතිය පිළිබඳ ප‍්‍රතිඥාව ඉදිරිපත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකළ අතර සියලුදෙනා එක්ව නිදහසේ සම්මුති ප‍්‍රතිඥාව සහ දිවුරුම්දීම සිදු කළහ.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව සිටින පක්ෂ 31 ක සහභාගිත්වයෙන් ‘නිදහසේ සම්මුතිය’ ප‍්‍රකාශයට පත්කිරීමේ උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කල කතාව

මේ සුන්දර උදැසන භාග්‍යවන්තවූත්, වාසනාවන්තවූත් ඔබ වැනි පිරිසක් සමග ඔබේත් මගේත් මාතෘ භූමියේ අනාගතය සඳහා ඉතාමත් වැදගත් තීරණාත්මකවූ කාර්යයකට එක්වන අවස්ථාවක ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

අපි අද මෙහිදී ප‍්‍රකාශයට පත්කළ නිදහසේ සම්මුතිය. මේ නිදහසේ සම්මුතිය කුමක් සඳහා ද? නිදහසේ සම්මුතිය ප‍්‍රකාශ කළේ කුමන කරුණක් අරබයාද? නිදහසේ සම්මුතිය තුළ බලාපොරොත්තු වෙන්නේ කුමන අරමුණක්ද? අපේ රටේ දේශපාලන ඉතිහාසය, ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් ඇතිවන විවිධ දේශපාලන තත්ත්වයන්, ආර්ථික තත්ත්වයන් මෙන්ම විවිධ සමාජ තත්ත්වයන් පිළිබඳව පුළුල් අවබෝධයක් ඔබ සියලුදෙනාටම තිබෙනවා. ඒ අනුව අනාගතය සඳහා අපේ දැක්ම, අනාගතය සඳහා අපේ පිළිවෙත් අනාගතය සඳහා අප විසින් අනුගමනය කළ යුතු අපේ වගකීම් සහ යුතුකම් මේ සියලු කරුණු පිළිබඳව අපි සෑම කෙනෙක්ටම යම් අවබෝධයක් තිබෙනවා. සම්මුතියක් යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද කියන කාරණයේදී, සමාජය තුළ පුද්ගලයින්, සංවිධාන, දේශපාලන පක්ෂ, ආයතන විවිධ අදහස් සහ මත දරනවා. එම විවිධ අදහස් සහ මත සමග නිවැරදි මතයක්, නිවැරදි වැඩපිළිවෙළක් නිවැරදි, සැලැස්මක් තුළ ඔබේත් මගේත් ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් සියලුදෙනාට එකඟ විය හැකි වැඩපිළිවෙළක් සම්මුතියක් ඇති වෙනවා.

අපේ රටේ දේශපාලනයේ අතීතයට ගිය විට නිදහසින් පසු ලංකාවේ බිහිවූ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති, සම්මුති, ප‍්‍රකාශනයන්, සැලසුම් ඒවා ක‍්‍රියාත්මක කිරීම මෙන්ම ඒවා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඇතිවූ අභියෝග සහ ගැටලු මොනවාද කියලා අපිට අවබෝධයක් තිබෙනවා. 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා මේ රටේ පිහිටුවන ලද පළමුවැනි සම්මුතිවාදී ආණ්ඩුව වූ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව තුළ දේශපාලන පක්ෂ වාම ප‍්‍රගතිශීලී පක්ෂ රාශියක් එක්ව සෑදු සන්ධානයක් තුළින් ඇති කරගත් සම්මුතීන්, ගිවිසුම්, එකඟතාවයන් තිබුණා. අපේ පක්ෂ ඉතිහාසය තුළ මේ රටේ අපේකම්, දේශීයත්වය, අපේ සංස්කෘතිය, අපේ කියන සියල්ල ඉස්මතු කරමින් අපේම කියන රටක, අපේම කියන දේශයක, අපේම කියන හැඟීමෙන් කටයුතු කිරීමට අපට හැකියාව ලැබුණා. යටත් විජිතවාදයේ සෙවණැළි මකා දමන්නට හැකි වුණා.

ගෙවීගිය දශක කිහිපයේ මේ රටේ බලයට පත්වූ ආණ්ඩු, එක් එක් යුග තුළ අපේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉතාමත් වැදගත් කාර්යයන් රාශියක් ඉටු කරනු ලැබුවා. කොතෙක් එම කාර්යයන් ඉටු කරනු ලැබුවත් අප සෑම කෙනෙක්ම දන්නවා ලෝකයේ දියුණු රටවල් අපිට වඩා අඩු දියුණුවක් තිබූ රටවල්වල, අපි 1948 බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ගන්නා විට අපි සිටි තැනට වඩා ආර්ථික වශයෙන් සමාජයීය වශයෙන් ඉතා අඩු තැන්වල සිටි රටවල් අපිට වඩා අද ඉදිරියෙන් සිටිනවා.

එසේ ඔවුන් ඉදිරියෙන් සිටීමටත් අපි තිබුණු තැනින් පස්සට ඒමටත් ආර්ථික සහ විවිධ සමාජයීය ප‍්‍රශ්න, ගැටලු සහ අභියෝග මතු වූයේ කුමක් නිසාද? මෙහිදී ඉතා පැහැදිලිව මට කිවහැකි දේ වන්නේ, අපිට උගතුන්ගෙන් කිසි අඩුවක් නැහැ. රටක් වශයෙන් බුද්ධිමතුන්ගෙන් කිසිදු අඩුවක් නැහැ. අපිට විද්‍යාඥයින්ගෙන් අඩුවක් නැහැ. අපේ කියන දේ ඇගයීමට ලක් කිරීමට හැකි පිරිසගෙන් කිසිදු අඩුවක් නැහැ. එහෙත් බරපතළ ප‍්‍රශ්නයක් තිබිලා තියෙනවා. මෑත අතීතයට අදාළව සලකා බැලීමේදී දක්නට ඇති බරපතළම ප‍්‍රශ්නය නම් දේශපාලන ක්ෂේත‍්‍රයේ චරිතවල දක්නට ඇති බරපතළ පිරිහීමයි.

අපේ රට දියුණු කරන්න, යහපත් දේශපාලන චරිතවල අවශ්‍යතාවයක් ඇතිවී තිබෙනවා. සිටින පිරිසෙන් යම් ප‍්‍රමාණයක් ඒ අවංකභාවය, පාරිශුද්ධභාවය දේශපාලනයේදී තිබිය යුතු නිර්මලභාවය, කැපවීම, රටට ආදරය කිරීම, ජනතාවට ආදරය කිරීම, ජනතාවට තිබෙන සමීපභාවය ඒ සියල්ල තුළ කටයුතු කරනවා වගේම එයට විකල්ප වූ රටට ආදරය නොකරන රට ගැන නොහිතන, දූෂණය, වංචාව, නාස්තිය සිදුකරන ඇතැම් පිරිසක් තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරනවා.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයෙකුට පුද්ගලික න්‍යාය පත‍්‍රයක් නොතිබිය යුතුයි. දේශපාලනය කරන සෑම කෙනෙකුටම තිබිය යුත්තේ රට, රටේ අනාගතය, ජාතියේ අනාගතය සහ ජනතාවගේ අනාගතය සඳහා වූ පොදු ජාතික දේශපාලන න්‍යාය පත‍්‍රයක් පමණයි. ඒ තුළ අපි අපේ මේ සම්මුතීන් ඇති කර ගත යුතු වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් බොහෝ සමාජ ප‍්‍රශ්නවලදි, උදාහරණයක් විදියට මත්ද්‍රව්‍ය වැනි ප‍්‍රශ්නයක් ගත්තොත් අපි කියනවා අපිට දැන් වැඩිහිටියෝ හදන්න අමාරුයි. ඒ නිසා පොඩි ළමයි ටිකවත් හදාගමු කියලා. ඒ නිසා අපි පාසල් දරුවන්ගෙන් එවැනි දේවල් පටන් ගන්නවා. වැඩිහිටි අය කරන වැරදි හදන්න අමාරු නිසා රටේ අනාගතය සඳහා දරුවන් හදන්න අපි මූලික වශයෙන්ම යොමු වෙනවා. ඒවගේම තමයි දේශපාලන වශයෙන් රාජ්‍ය පාලනය තුළ අද අපේ රට ගත්තොත් ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන කොටස් 04 ක් තිබෙනවා. ඒ නිසා අද විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ තිබෙන දේශපාලන පසුබිම් සැලකිල්ලට අරගෙන පුංචි තැනින් රට හදන්න, ඒ නිසා පොඩි තැනින් පටන් ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ඒ නිසා පළාත් පාලන ආයතන තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන,  දූෂණයට, වංචාවට, නාස්තියට කිසිසේත් හිස නමන්නේ නැති අවංක, සෘජු මේ රටේ අනාගතය වෙනුවෙන් යහපත් සුබවාදී ගමනක් සඳහා දේශපාලන නවකයින් පිරිසක් ගොඩනගාගැනීමයි.

කොට්ඨාස ඡන්ද ක‍්‍රමය ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු දෙකේ කාලය ගතහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ආණ්ඩුව තුළත් විපක්ෂය තුළත් ලොකු සටනක් කරන්න අපට සිදු වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනික් සියලුදෙනාම කියා සිටියේ අපි ආපසු සිටි තැනට හිටපු මැතිවරණ ක‍්‍රමයට යා යුතුයි කියලා. නමුත් අපි පැහැදිලිව කිව්වා නැහැ ජනතාවගේ ඉල්ලීම කොට්ඨාස ඡන්ද ක‍්‍රමයක්. තමන්ට කියලා මන්ත‍්‍රීවරයෙක්. ඒ නිසා අපි ඒ ප‍්‍රතිපත්තියෙන් බැහැර වෙන්නේ නැහැ කියලා. අවසානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට, එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට අපිට ආණ්ඩුව තුළත් විපක්ෂය තුළත් ඒ තිබුණු මතය පරාජය කරලා කොට්ඨාස ඡන්ද ක‍්‍රමය මේ රටේ ස්ථාපිත කරන්න පුළුවන්කම ලැබුණා. මෙය මේ රටේ අනාගත දේශපාලනය සඳහා යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ආරම්භයක්.

භෞතික වශයෙන් රටක් කොතරම් සංවර්ධනය වුණත් ඒ රටේ මිනිස්සු තුළ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ ගුණවගාවක් ගොඩනැගිලා නැත්නම් ඒ රට යහපත් රටක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපේ රටේ භෞතික සම්පත් සංවර්ධනය තුළ ඒ ගෙනියන වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි වගේම අපේ රටට දේශපාලන වශයෙන් ආධ්‍යාත්මිකව සිතන යහපත් සිතුවිලි සමග මිනිස්සු ගැන හිතන මිනිස්සුන්ට ආදරය කරන අවංක පිරිසකගේ අවශ්‍යතාවය අද එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ඩී.එස්. සේනානායක මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා ඒ යුගයන් තුළ ඒ නායකයින් මොනතරම් පිරිසිදු දේශපාලනයක් කළාද? එදා අපේ මේ දේශපාලන පක්ෂවල ප‍්‍රතිපත්ති සහ දර්ශනයන් සමග සමාජය මොනතරම් පිරිසිදු වූවාද?. ඩී.එස්. සේනානායක මැතිතුමා, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.  බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, ඩඩ්ලි සේනානායක මැතිතුමා ඒ යුගයන් වල මේ රට ඉදිරියට ගෙනියන්න ඉතාමත් අවංකව කැපවුණ දේශපාලන නායකයින්ගෙන් සැදුණු දේශපාලන ව්‍යාපාර ගොඩනැගිලා තිබුණා. නමුත් පසුකාලීනව අපේ දේශපාලන ක්ෂේත‍්‍රයන් අපිරිසිදු වුණා. මනාප ඡන්ද ක‍්‍රමය අපේ රටේ ප‍්‍රතිපත්ති දේශපාලනය වළ දැම්මා. මූලික වශයෙන්ම ප‍්‍රතිපත්ති දේශපාලනය බැහැර වීම විශාල ප‍්‍රශ්නයක් වුණා. පුද්ගලයින් ගොඩනැගීම, පුද්ගලයින් නගාසිටුවීම, පුද්ගලයින් පිළිබඳව කතා කිරීම, ඒ තුළ දේශපාලන දර්ශන, ප‍්‍රතිපත්ති දැක්ම යටපත් වුණා. එයින් තමයි බරපතළ ලෙස සමාජ පිරිහීම් ඇති වුණේ. ඒ තුළ තමයි අපේ දේශපාලන සංස්කෘතිය විශාල වශයෙන් අගාධයට පත් වුණේ.

යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය අපිට අද ඇති වෙලා තිබෙනවා. ඒ තුළ තමයි රටේ අනාගත පැවැත්ම තිබෙන්නේ. ඒ නිසා මෙම පළාත් පාලන ආයතන තුළින් අපේ ගෞරවනීය හාමුදුරුවනේ, අනිකුත් ගෞරවනීය පූජකතුමන්ලා විශේෂයෙන්ම ඔබ වහන්සේලාට මම සඳහන් කරන්නට ඕනෑ මේ පුංචි ආයතන, මේවා ගමේ ආණ්ඩු. නගරයේ ආණ්ඩු. පළමුවෙන් අපි ඒවා හදා ගන්න ඕනෑ. මම ඒකයි කිව්වේ ඉහළ හදන්න අමාරුයි. ඒ නිසා පහළවත් හදාගන්න ඕනෑ කියලා. ඒ නිසා පහළින් අපි වැඩේ පටන් ගමු. රටක් විදියට අපිට කාලය තිබෙනවා. රටක් විදියට අපි පසුතැවිලි වෙන්න හොඳ නැහැ. අපි අභියෝග භාර ගන්න ඕනෑ. අපි අවදානම භාර ගන්න ඕනෑ.

මේ රටේ පළාත් පාලන ක්ෂේත‍්‍රය තුළ නවක දේශපාලන පිරිසක් එක්ක ඒ තුළ සිටින යහපත් අත්දැකීම් තිබෙන දේශපාලන පිරිසක් එක්ක අනාගතය ගොඩනගාගන්න අපි සෑම කෙනෙක්ම කැප විය යුතු වෙනවා. ඒ නිසා මේ ඇතිකර ගන්නා සම්මුතියේ ඇතුළත් වී තිබෙන කරුණු මේ තුළ අපේ ආයතන ක‍්‍රියාත්මක වීම අවශ්‍ය වෙනවා.

මෑත ඉතිහාසය ගත්තොත් මෙවැනි සම්මුති, මෙවැනි ප‍්‍රකාශ බොහොමයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් ප‍්‍රශ්නය ඒ සම්මුතීන් කොතෙක් දුරට ක‍්‍රියාත්මක වුණාද කියන ප‍්‍රශ්නයයි. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගත්තොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ආකාරයට එහි සඳහන් වන්නේ ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය කියලයි. නමුත් ඒ කාර්යයන් ක‍්‍රියාත්මක කරන පුද්ගලයින් එක් එක් කාල පරිච්ඡේද, එක් එක් යුග ගත්තොත් කොතරම් වෙනස්කම් තිබෙනවාද? නීතිය, ව්‍යවස්ථාව ඒ සියල්ලෙහි තිබෙන පාරිශුද්ධභාවය කොතෙක් දුරට ඒ වගකීම් ඉෂ්ට කරන පුද්ගලයින් අතින් ක‍්‍රියාත්මක කරනවාද?

ව්‍යවස්ථාව නීතිය කෙසේ තිබුණත් ඒ තුළ වඩාත් යහපත් වෙන්නේ ඒවා ක‍්‍රියාත්මක කරන පුද්ගලයින් තුළ තිබෙන චරිත ලක්ෂණයි කියන එක ඉතාම පැහැදිලිවම පෙන්නුම් කරන දෙයක්. ඒ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා මේ සම්මුතිය ප‍්‍රකාශයට පත් කළේ මේ සම්මුතිය ඉදිරිපත් කළේ යහපත් අනාගත දේශපාලන දැක්මක් සඳහා. යහපත් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසිදු නිර්මල දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසක් ගොඩනගාගැනීම සඳහා. ඒ පිරිස ගොඩනැගෙන්නේ නැතිව අපි බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ පිරිස ගොඩනගන්නේ නැතිව මේ රට යහපත් ආර්ථිකයක් ඇති සමෘද්ධිමත් රටක් විදියට ලෝකයේ ප‍්‍රබුද්ධ රටක් විදියට ගොඩනැගීමේ අභියෝගයට සැමවිටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ අභියෝගය අපි ජයගත යුතු වෙනවා. ඒ අභියෝගය අපිට ජයගන්න පුළුවන්කම තිබෙනවා.

ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය සන්ධාන ඉතිහාසයක්. ඒ ගැනත් මම කියන්නට ඕනෑ. ඒ මොකද 56 බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුවක්. ඒ වගේම මේ රටේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තනියම ආණ්ඩුවක් කරන්න පුළුවන් වුණේ 1960 ජූලි මැතිවරණයෙන් පසුව කළ ආණ්ඩුව විතරයි. මේ රටේ අනික් සියලුම ආණ්ඩු පෙරමුණු ආණ්ඩු. අනෙක් සියලු ආණ්ඩු සන්ධාන ආණ්ඩු. පෙරමුණු ආණ්ඩු. සන්ධානගත වීම, සම්මුතිවාදීවීම පැහැදිලි ලෙස පෙන්නුම් කරන්නේ විවිධ මතයන් එක තැනකට අරගෙන වඩා යහපත් මතයක්, අදහසක් ගොඩ නගා ගැනීම වගේම ඒ අදහස කි‍්‍රයාත්මක කිරීම සඳහා ජනතාවගේ සහයෝගය අරගෙන ඒ සඳහා අවශ්‍ය පෙරමුණ අරගෙන කටයුතු කිරීමයි. ඒ නිසා අපි බලාපොරොත්තු වන ‘නිදහසේ සම්මුතිය’ රටේ අනාගතය සඳහා ජාතියේ අනාගතය සඳහා අද ජීවත් වන ජනතාවට වගේම හෙට උපදින දරුවන් සඳහාය කියන ඉතා පැහැදිලිව කිව යුතුයි.

පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛව එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ සහෝදර දේශපාලන පක්ෂ සියල්ල ඉතාමත් විනයකින්, හික්මීමකින් ආදර්ශවත් ලෙස මැතිවරණ නීති රිතිවලට එකඟ වෙමින්, ඒවා අනුගමනය කරමින්, එම නීතිරීති කඩ කරන්නේ නැතුව, ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරයක් සඳහා කැප විය යුතු වෙනවා. ඒ ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරය තුළින් ජනතාවට ලැබෙන පණිවිඩය තමයි අපි මේ ආයතන භාර ගත්තොත් මේ විදියට තමයි කටයුතු කරන්නේ කියන කාරණාව.

මැතිවරණ ව්‍යාපාරය ප‍්‍රචණ්ඩත්වයට ගියොත්, මැතිවරණ ව්‍යාපාරය තුළ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති වුණොත් ඒ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන් මැතිවරණ ව්‍යාපාරයක් තුළ කරන අය කිසි විටෙකත් ආයතන භාර ගැනීමෙන් පසුව හොඳ මිනිසුන් වෙන්නේ නැහැ. ඔවුන් ප‍්‍රචණ්ඩත්වය තුළ තමයි ආයතන ගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරය තුළින් මේ ආදර්ශය ලබාදීම වැදගත් වෙනවා.

යහපත් චරිත, ආදර්ශය, හික්මීම, නීතිගරුකවීම, මැතිවරණ නීතිවලට එකඟව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මේ සම්මුතිය තුළින් ප‍්‍රකාශයට පත්කළ කරුණු සමගම ඉතාමත් සුබවාදී යහපත් දැක්මක් සමග ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ කටයුතු කරමින් ජයග‍්‍රහණය ලබාගත යුතුයි.

හොඳ පළාත් පාලන ආයතන යන්නෙන් අදහස් කරන්නේ එහි තිබෙන ගුණාත්මකභාවය වැඩි කිරීම සහ ජනතාවාදීවීම. පසුගිය කාලපරිච්ජේද තුළ පළාත් පාලන ආයතන ගත්විට, සැම ආයතනයකම නෙවෙයි සියයට 90ක විතර ඇතිවුණු තත්ත්වයන් ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන 7 යි තිබුණේ. දැන් අලුතෙන් නගර සභාවක් ගැසට් කරලා දැන් 8 ක් තියෙනවා. කලින් තිබුණු පළාත් පාලන ආයතන 7හි හිටපු සභාපතිවරුන්ගෙන් 4 දෙනෙකුට මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. ඒ 4 දෙනාම අධිකරණය ඉදිරියේ විවිධ චෝදනාවලට අදාළව වරදකරුවන් කර තිබෙනවා.

රට වශයෙන් ගත්තොත් ඔබ සෑම කෙනෙකුටම දැනගන්න පුළුවන් මොනතරම් පිරිසක් ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවාද කියන කාරණාව. එයිින් පෙනී යනවා එදා දීලා තිබුණු ආදර්ශය. ඒ නිසා අපි අවවාදයට වඩා , කතාවට වඩා ආදර්ශය ලබාදිය යුතු වෙනවා. ඒ ආදර්ශය දෙන්නේ අනාගත දේශපාලන දැක්මක් සඳහා, අනාගතයේ මේ රටේ පිහිටුවන ආණ්ඩුව හොඳ දැක්මක් තුළ හදන්න, අනාගතය තුළ හොඳ පළාත් සභාවක් හදන්න, මේ පුංචි ආණ්ඩුව ගමේ ආණ්ඩු දෙන ආදර්ශය ප‍්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා.

ඒ නිසා මුලික වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු ජනතාවාදී අවංක, පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක නිරතවන පුද්ගලයින් ගොඩනගන්න. එතනයි ප‍්‍රමුඛතාවය. එතන හරි ගියොත් එතනින් එහා හරි යනවා.
ලිච්ඡවි රජ දරුවන් පිළිබඳව අපි අහලා තියෙනවා, දසරාජ ධර්මය පිළිබඳව, ඉන්දියාවේ අශෝක අධිරාජයා පිළිබඳව, අශෝක අධිරාජ්‍යයාගේ ධාර්මික ප‍්‍රතිපත්ති පිළිබඳව අපි අහලා තිබෙනවා. අපේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගතහොත් රාජාවලිය ගතහොත් ඉතාමත් දැහැමි රජවරු මේ රට පාලනය කරපු යුගයන් පිළිබඳව අප අසා තිබෙනවා.

ඒ නිසා අපි අපේ රට ලෝකයේ ප‍්‍රබුද්ධ රටක් විදියට, ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ඉදිරියට ගෙනයන්න එම අභියෝග ජයග‍්‍රහණය කිරීමට ඉතාම අවශ්‍ය වන්නේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා කැපවූ පවිත‍්‍ර කිලිටි වුණේ නැති, කිලිටි වෙන්නේ නැති දේශපාලන පෙරමුණක් එක්ක පැහැදිලි දේශපාලන ව්‍යාපාරයක නායකයින් පිරිසක්. එම පිරිස ගොඩනගන්න පුළුවන් මෙතනින්. ඒ සඳහා කැපවෙමින් අපේ යුතුකම් සහ වගකීම් ඉටු කරමුයි කියා මා සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. භගවත් ගීතාවේ සඳහන් වෙන ආකාරයට,

”මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන් ද, මගේ මිත‍්‍රයින් ද, මගේ හිතවතුන් ද, කවුරුන්ද දන්නේ නැහැ. එහෙත්, ඒ ඕනෑම කෙනෙක් කැපී යයි.” භගවත් ගීතාවේ එසේ සඳහන් වෙනවා. මට කියන්න තියෙන්නෙත් මොන පක්ෂයේ, මොන වර්ණයේ ද, කාගේ ද, මගේ ඥාතීන් ද, කවුද කියන ප‍්‍රශ්නය නැහැ. පිිරිසිදු පවිත‍්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා මගේ කඩුවට කවුරු කැපෙයි ද කියන එක කියන්න බැහැ. ඕනෑම කෙනෙක් කපන්න සිද්ධ වෙනවා. එය කරන්නට වෙන්නේ ජාතියේ අනාගතය සඳහා. රටේ අනාගතය සඳහා. අද දවසේ මෙන්ම හෙට දවසේ අප සියලු දෙනාම ඒ සඳහා කැප විය යුතු වෙනවා.

මේ සුන්දර උදෑසන ඉතාමත් භාග්‍යවන්ත පිරිසක් විදියට අපේ වන්දනීය පුජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද තුළ අපේ ගෞරවනීය හින්දු, ඉස්ලාම්, කි‍්‍රස්තියානි පූජකතුමන්ලාගේ ආශිර්වාදය තුළ ජාතියේ යහපත සඳහා රටේ යහපත සඳහා අප සියලුදෙනා අවංකව කැපවෙමින් අපේ හෘද සාක්ෂිය තුළ සෑමවිටම සත්‍යයට ඉඩ දෙමින් හොඳ රටක් හදන්න, සමෘද්ධිමත් රටක් හදන්න, ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට රට ඉදිරියට යන්න අප සියලුදෙනා කැප වෙමු.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

92 views

26 Comments to “‘මගේ ඥාතීන්, මිත‍්‍රයින්, හිතවතුන්, ඕනෑම කෙනෙක් මගේ කඩුවෙන් කපා දානවා..’- බැදුම්කර වාර්තාව අතට ගන්නට පෙර ජනපති බරපතල කතාවක් කියයි..”

  1. Open mind says:

    පරිසරය ට හානි කළ පවුලේ එකෙක් මීට කලින් කවුදෝ එකෙකු විසින් නිසි දඬුවම ට ලක්කලා මගෙ හිතේ.

  2. Konde bandapu china says:

    Serama sarama ussan hitapalla hitan kaduwen kapala yanakal.

  3. Yahapaalakaya says:

    Ethakota ara teacherwa danagaswapu Sarah Kumarata Aanamaduwe sanvidayaka kama dunne apida?
    Sabithage husbandge buildimata maasekata laksha 245 k gewanne me aanduwen nemeida. SAITM ekata maasekata laksha 250 k gewanneth me aanduwen nemeida? Dannathi nisai ahawuwe.

  4. nima says:

    ekamath eka rataka monkey kenek saha king kenek hitiya, dwasak king went to sleep & monkey guard the king with kaduwa……………………………………………….???????????????????

  5. anil says:

    ඔය කඩුවට වඩා පොරෝ පහර නම් ෂුවර් ඒකනම් අපි දැක්ක

  6. ව්දිය බණ්ඩාර says:

    සිරි මගෙ කඩුව අරන් යන්න වරෙන්
    මං බලන් ඉන්නවා,

    • Pina says:

      අඩෝ, අපි බයවෙයි උඹේ කඩු වලට ….ගහන්නෙ මඩු වලිගෙන් …

  7. පොඩි නිළමේ says:

    අපිට මහින්ද ද, මෛත්‍රී ද කියල වෙනසක් නෑ, රට හරි මගට ගෙනයනවා නං එඩිතරව තීරණ ගන්න. ජාති භේදයකින් පක්ෂ භේදයකින් තොරව ජනතාව ඒකරාශී වෙයි, UNP එකට නම් බැරි බව ඔප්පු කරලා හමාරයි.
    ජනතා තීරණය පෙබරවාරි 10 බලතහැකි.

  8. vishnu says:

    නියමයි පල මහගෙදරට පොළොන්නරුවෙ
    කපපිය මුල ඉඳලම

  9. And tho kaiya keliyata ohomama korai Val paraya, drshapalana jhinganna, mmmmoooodaya.

Main News