මටවත් ඇමති මණ්ඩලේටවත් අපි කාටවත් මේක කරන්න බෑ..

September 27, 2016 at 8:02 am | lanka C news
මටවත් ඇමති මණ්ඩලේටවත් අපි කාටවත් මේක කරන්න බෑ..

කුස ගින්නේ සිටින්නෙකුට මාළුවෙක් වෙනුවට බිලී පිත්තක් ලබා දීමේ ප්‍රතිපත්තිය අරමුණ කර ගනිමින් ‘ධන සවිය ගම්මාන‘ වැඩසටහනේ අරමුණ බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව දියත් කරන ධන සවිය ගම්මාන වැඩසටහනේ පළමු ගම්මානය ගාල්ල හබරාදූව ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දී ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යතුමා තවදුරටත් කියා සිටියේ මෙම වැඩසටහන මගින් දිවයින පුරා පවුල් ඒකක දස ලක්ෂයක ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණ බවයි.

ඒ අනුව, පවුල් ඒකක දස ලක්ෂයක කාන්තාවන් දස ලක්ෂයක් හදුනාගෙන, ඔවුහු මූලික කරගත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ධන සවිය වැඩසටහන මගින් එක් කාන්තාවකගේ ආදායම රුපියල් ලක්ෂයකින් පමණ ඉහළ නැංවීමට අරමුණු කෙරේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,

“අද මෙතන පක්ෂ බේදයක් නෑ. මොතන තියනවා කොළ කොඩි නිල් කොඩි දෙකම. රතු කොඩිත් දාන්න ඕනි. මොකද අද ජනතා විමුක්ති පෙරමුණටත් පාර්ලිමේන්තුවේ විශාල කාර්යභාරයක් අගමැතිතුමා පවරලා තියනවා. අද රටට ආදරය කරන අය ඔක්කෝම අය එකට එකතු වෙලා ඉන්නවා. අගමැතිතුමා බොහොම පැහැදිලිව කීවා අපි එකතු වෙලා රට සංවර්ධනය කරමු- ඡන්දෙදි අපි පක්ෂ පාට වලට වෙන් වෙලා ඡන්දෙ ඉල්ලමු කියලා. ඡන්දෙ ඉවර වෙලා ආයේ අපිට එකට වැඩ කරන්න පුළුවන්. වෙනදා පක්ෂ ආණ්ඩු මාරු වුණාම එක එක්කෙනා අනිත් අයට කරදර කළා. මේ පාර එහෙම දෙයක් වුණේ නෑ. අද මෙතන පක්ෂ බේදයකින් තොරව, තමුන්නාන්සේලාට කතා කරලා තියනවා. අපිට ඕන කරන්නේ රට සංවර්ධනය කරන්න.“

“එදා එක්සත් ජාතික පක්ෂය මට මතකයි තරුණයෙක් හැටියට 1977 ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා රට භාර අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්නා කර්මාන්ත අමාත්‍යාංශය. එතුමා බියගම, කටුනායක අපනයන සැලසුම් කලාප දාලා- තරුණ තරුණියන්ට රැකියා දීලා දේවල් නිෂ්පාදනය කරලා ඩොලර් බිලියන ගණන් වලිං විදේශ විනිමය අපේ රටට ගෙනාවා. ඒ සංවර්ධන යුගය අපි නැතව ඇති කරන්න ඕනි.“

“2005 අපි මහින්ද රාජපක්ෂ මහත්තයට ආන්ඩුව භාර දෙනකොට දේශීය ආදායමෙන් 36%ක් තිබුණු අපනයන ආදායම සියයට දහතුන හමාරකට වැට්ටුවා. ලේ කිරි කරලා පොවන අම්මලාව මැදපෙරදිග පැටෙව්වා. ඊට පස්සේ අපේ රට දිව්වේ ලේ ඩොලර් කරලා අපේ රටට එවන සල්ලි වලිං. ඒවගෙනුත් නයිට් රේස් පැදලා ඒවා විනාස කළා. ඒ යුගය අපි අවසන් කළා.“

“අපිට අවශ්‍ය කරන්නේ තමුන්නාන්සේලාගේ ගෙවල් වල ආදායම වැඩි කරන්න. මේ ධන සවියේ එක ව්‍යාපෘතියක් තමයි ලංකාවේම ඉන්න කාන්තාවන් ලක්ෂ දහයකගේ ආදායම අඩුම වශයෙන් රුපියල් ලක්ෂයකින් වැඩි කරන්න. ගම්මිරිස් පැළයක් අපි හරියට හිටවලා නඩත්තු කළොත් අපිට පුළුවන් ගම්මිරිස් කිලෝ පහක් ගන්න. ගම්මිරිස් කිලෝ එකක් රුපියල් දාහකට විකිණෙනකොට පොල් ගහකට වැල් දෙකක් යවලා රුපියල් දහදාහක ආදායමක් ගන්න පුළුවන්. අපි ඒක පන්දාහක් කියමු. ගෙදර පොල් ගස් විස්සක් තියනවානම්, පහසුවෙන්ම මේ විදිහට රුපියල් ලක්ෂයක ආදායමක් හොයාගන්න පුළුවන්.

කප්රුකට ගම්මිරිස් කියන වැඩසටහනින් පමණක් ලබාපොරොත්තු වෙනවා ලංකාවේ තියන පොල් ගස් සියයට 30-40ක මේක කර ගත්තොත් දැනට අපේ රටේ තියන ටොන් 17,000ක ගම්මිරිස් නිෂ්පාදනය ටොන් 60,000 වෙනකල් වැඩි කරන්න පුළුවන්.“

“කුරුදුවලට මේ ප්‍රදේශය ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේයක්. අපේ කුරුදු තමයි ලෝකේ තියන හොදම කුරුදු. නමුත්, අපේ කුරුදු වල තියන ඖෂධීය ගුණය ලෝකෙට විකුණන්න බැරි වෙලා තියනවා. කුරුදු වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන්. ඒකයි මම කීවේ අපේ කුරුදු වල තියන ඖෂධීය ගුණව ප්‍රචලිත කරන්න පුළුවන් නම්, අපිට පුළුවන් ඉහළ ඉල්ලුමක් ඇති කරලා වැඩි මුදලකට අපේ කුරුදු විකුණන්න.“

“රට වටේම මුහුද. හැබැයි අපි මාළුත් පිටරටින් ගේන රටක්. මම බලාපොරොත්තු වෙනවා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් අපේ මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන්න. අද අපි මේ ප්‍රදේශයේත් ඒ සදහා වැඩසටහනක් ආරම්භ කරනවා. දැනටත් අපි ගත්තොත්, තමුන්නාන්සේලාගේ ප්‍රදේශයේ හෝටල් තියනවා 422ක්. සංචාරකයෝ වැඩිපුර එනකොට හෝටල් වලට අවශ්‍ය එළවළු-මාළු අවශ්‍යතාව වැඩි වෙනවා. අවශ්‍යතා වැඩිවෙනකොට අපේ වෙළදපොළ අපේ රටතුළ නිර්මාණය වෙනවා. අපි ඒ වෙළදපොල ජයගන්න ඕනි.“

“අපි අක්කර 25,000ක කඩිනම් අන්නාසි වගා ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මේක මම තෝරා ගත්තේ කුරුණෑගල, පුත්තලම හා ගම්පහ දිස්ත්‍රික්ක තුක කේන්ද්‍ර කර ගනිමින්. පොත් ගස්වල ගම්මිරිස් වැල යනවනා වගේම ඒ අතරේ අන්නාසි වවන්න පුළුවන්. අපිට මේ වෙනුවෙන් අවශ්‍ය කරනවා අන්නාසි තවාන් 750ක්. අපි කුරුදු අක්කර 25,000ක් අලුතින් වවන්න බලාපොරොත්තු වෙනවා. මේකට අපි අවශ්‍යයි තවත් තවාන් 5,000ක්. අපි මේ තවාන් ඇති කරන අයට ආධාර කරනවා. රුපියල් 150,000ක් මම ඒ අයට ලබා දෙනවා, ඒකෙන් 75,000ක් පැළ දෙනකොට අඩු කරගන්නවා. ඉතිරි 75,000 ආධාරයක් හැටියට දෙනවා. තවාන්කරුවන් අවශ්‍යයි. වතුර තියන, උනන්දුවක් තියන, මේ වැඩේ කැපකිරීමෙන් කරන්න පුළුවන් අය මේකට එකතු වෙන්න. හොද ආදායමක් ලබා ගන්න පුළුවන්. පක්ෂ බේදයක් නෑ. ජාති බේදයක් නෑ. අපිට අවශ්‍ය කරන්නේ ව්‍යවසායකයින් නිර්මාණය කරන්න.“

“පහුගිය ආණ්ඩුවට අපනයන දෙගුණයක් කරන්න අවුරුදු 15 ක් ගියා. අවුරුදු පහකින් කොහොමද අපනයනය දෙගුණයක් කරන්නේ. තායිලන්තයට පුළුවන් වෙලා තියනවා. බංග්ලාදේශයට පුළුවන් වෙලා තියනවා. වියට්නාමයට පුළුවන් වෙලා තියනවා. ඒ කියන්නේ පහුගිය අවුරුදු 15 දි අපනයනය හය ගුණයක් අට ගුණයක් වෙලා තියනවා. ඇයි අපිට අවුරුදු පහකින් මේක කරන්න බැරි. අපිට පුළුවන්. මටවත් ඇමතිමණ්ඩලේටවත් අපි කාටවත් ඒවා කරන්න බෑ. මේක කරන්න තමුන්නාන්සේලා එකතු වෙන්න ඕනි. ඔබතුමන්ලාගේ ආර්ථ්කය වැඩි වෙනකොට රටේ ආදායම වැඩි වෙනවා. අපි ගෙවතු වල ඇති කරන්නේ අපනයන වගාවක්.“

මෙහිදී, ධන සවිය ගම්මාන සංකල්පය යටතේ ධන සවිය ගොවතු නිර්මාණය කිරීමට අපේක්ෂිත හබරාදූව ප්‍රදේශයේ 1,500 දෙනෙකු වෙනුවෙන් රෝපණ ද්‍රව්‍ය, පොහොර හා පැළ හිමිකම් පත් ප්‍රදානය කිරීම ද සිදු විය.

මෙහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද අදහස් දැක්වීය.

“දයා ගමගේ මැතිතුමා කියන්නේ ඉතාම දක්ෂ ව්‍යාපාරිකයෙක්. රුපියල් හැත්තෑවක් පමණක් අතේ තියාගෙන අම්පාර ගිය එතුමා අද වෙනකොට හත්-අට දාහකට රැකියා දෙන මහා දැවැන්ත ව්‍යවසායකයෙක් බවට පත් වෙලා තියනවා. එතුමාගේ ඒ දක්ෂතාවයේ ප්‍රතිලාභ අද අපේ ආණ්ඩුවටත් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියනවා.

එතුමාට හම්බුණේ අලුත්ම අමාත්‍යාංශයක්. එතුමාගෙන් මම ඇහුවම මොකද්ද මේ අමාත්‍යාංශයෙන් කරන්න තියෙන්නේ කියලා, එතුමා මට කීවා- මට ටික කාලයක් දෙන්න, මම මගේ වැඩ පටන්ගන්නම් කියලා. අද වෙනකොට අපිට දකින්න පුළුවන් එතුමාගේ නිර්මාණශිලීභාවය පාවිච්චි කරලා රට වෙනුවෙන් කරන්න ආරම්භ කරලා තියන ව්‍යාපෘති මොනවද කියලා. ඔබතුමන්ලාගේ ආර්ථිකය දියුණු කරන මේ ධන සවිය වැඩසටහනත් එතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක දැවැන්ත ජාතික ව්‍යාපෘතියක් බව කියන්න කැමතියි.“

මෙම අවස්ථාවට ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ, හබරාදූව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මේ අතර, මීට සමගාමීව ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දී ආදර්ශ ධන සවිය ගෙවත්තක් ඇති කිරීම වෙනුවෙන් අමාත්‍ය දයා ගමගේ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අපනයන කෘෂි බෝග පැළ රෝපණය කිරීම ද මෙහිදී සිදු විය.

එසේම, ධන සවිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගෘහස්ථ එළ කිරි නිෂ්පාදන මධ්‍යස්ථානයක් හා ගව සිංචන මධ්‍යස්ථානයක් වෙනුවෙන් ද මෙහිදී මුල් ගල් තැබීය.

ධීවර කර්මාන්තය නගා සිටුවීම ද ධන සවිය වැඩසටහනේ මූලික අරමුණකි. ඒ අනුව, මේ යටතේ ධීවර කර්මාන්තයේ නිරත කාර්මිකයින් වෙත මත්ස්‍ය හා ඉස්සන් වගා කොටු සදහා සුදුසු දැල් හා උපකරණ ප්‍රදානයක් ද සිදු විය. ධීවර කාර්මිකයින් හමුවෙමින් එම උපකරණ බෙදා දුන් අවස්ථාවේ දී අමාත්‍ය දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, ඔවුනගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සදහා අවශ්‍ය සහාය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බවයි.

– භාරත තෙන්නකෝන්

23 views

3 Comments to “මටවත් ඇමති මණ්ඩලේටවත් අපි කාටවත් මේක කරන්න බෑ..”

  1. Notthischange says:

    Thank you Daya for revealing that Rathu ali patiya is working for unP…

  2. Nareen says:

    Janathaavata nopenena suralokayak mavaa penva rate siyalu sampath hooragena kana kenek.

  3. Unp nari rela says:

    මම දන්න සහ මාධ්යවල දෑක්ක විදියටනම් දයා ගමගේ මහත්තය ඈමතිකම ලෑබු වහාම අගමෑතිගෙන් මෙකෙන් කරන්න පුලුවන් මොකක්ද කියල තමයි අහලා තියෙන්නෙ. ඒ වගෙ කෙනෙකුගෙන් මේ වගේ පුරසාරමක් මිසක් වෙනදෙයක් බලාපොරොත්තු වෙන්න බෑහෑ

Main News