මඩ නෑ.. වැඩ විතරයි.. තරුණ දෑතින් ඩොලර් බිලියන ගණන් උපයන සැලැස්ම ගෝටා හෙලි කරයි..

September 27, 2019 at 12:40 pm | lanka C news
මඩ නෑ.. වැඩ විතරයි.. තරුණ දෑතින් ඩොලර් බිලියන ගණන් උපයන සැලැස්ම ගෝටා හෙලි කරයි..

දහම් පාසල් හා පිරිවෙන් ගුරු සම්මේලනය කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා දහම්පාසල් සහ පිරිවෙන් ගුරුවරු රැසක් සහභාගි වූහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා

ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය හැදුනේ බෞද්ධ දර්ශනය හරහායි. ශීෂ්‍යාගේ මනස තේරුම් ගෙන අධ්‍යාපන ක්‍රමය සකස් කිරීම ඇති වුනේ බෞද්ධ අධ්‍යාපනය හරහායි. විශේෂයෙන්ම අපේ රටේ සංස්කෘතිය හා බුද්ධාගම අතර සබැදියාවත් සමඟ අපේ අධ්‍යාපනය දියුණු කිරිම ඉතා වැදගත්. ලංකාවේ සමස්ත දහම් පාසල් සංඛ්‍යාවක් 10000ට වැඩියි. මුළු දහම් පාසල් දරුවන් ගණන – 2,233,804ක්. සමස්ථ දහම්පාසල් ගුරුවරු ගණන – 128,247ක් පමණ වෙනවා.

අපේ දරුවන් බෞද්ධ ධර්මය හා බුද්ධ දර්ශනය පිළිබඳ දැනුමින් පෝෂණය කිරීම සහ මනා අවබෝධයක් ලබා දීම වැදගත්. රට ජාතිය ආගම භාෂාව ඉගැනීමේ වැදගත්කම සහ ඒවා රැකගැනීමේ වැදගත්කම පිළිබඳ හැඟීමක් ඇති කිරීම ඉතාම වැදගත්. බෞද්ධයෙක් ලෙස අනෙකාට ගරු කිරීම සහ නීතිගරුකව ජීවත් වෙමින් ගෞරවණීය පුරවැසියෙක් වීම සඳහා වූ ආකල්පමය සංවර්ධනය සිදුකරන මධ්‍යස්ථානයක් බවට දහම් පාසල පත් කිරීම අවශ්‍යයි.

එදා බෞද්ධ සංවිධානවලින් බිහිවුනු පාසල් මේ රටේ තිබුණා. මම අධ්‍යාපනය ලැබුවේ මේ රටේ ප්‍රධාන බෞද්ධ පාසලක් වන ආනන්ද විද්‍යාලයේ. ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ වැනි පාසල් රජයට පවරා ගැනීමෙන් පසුව වූ අධ්‍යාපනයේ වෙනස්කම් නිසා දහම් පාසල්වල අධ්‍යාපනයේ වැදගත්කම තවත් වැදගත් වුනා. වෙනස් වන ලෝකයත් සමග අද ළමයින්ට ලැබී තිබෙන නිදහසත් සමඟ විද්‍යාවේ දියුණුවත් සමග අන්තර්ජාලයේ දියුණුවත් සමග, හරි දේ වැරදි දේ ගැන අවබෝධ කර ගැනීමට තමන්ගේ ආගම සමඟ අධ්‍යාපනයක් ලබා දීම වැදගත්ව තිබෙනවා.

දහම් පාසල් ගුරුවරුන්ට මේ නිසා විශාල වගකීමක් තිබෙනවා. විශේෂයෙනන් අපේ රටේ විවිධ දේශපාලනික මතවාද සමග, අපේ තිබුණු සංස්ථා ව්‍යුහයන් කැඩී යන කොට, පවුල් සංස්ථාව කැඩී පුද්ගල නිදහස ඉදිරියට එන විට, ගමක තිබුණු සංස්ථාව කැඩිලා පුද්ගලයින් ගැන කතා කරන විට, රටක ජාතිකත්වයට අඩු ප්‍රමුඛත්වය දෙන කොට අපේ සංස්කෘතිය ආගම එකට කැටි කර ඒ පිළීබද දැනුම හා අවබෝධය ලබා දෙන්නේ දහම් පාසල හරහායි. ලාබාල අවදියේ මේ සම්බන්ධයෙන් දරුවන් දැනම්වත් කරන්නේ දහම් පාසලයි.

රජයක් ලෙස දහම් පාසලට, පිරිවෙන් අධ්‍යාපනයට රජයේ අනුග්‍රහය ලබා දීම වැදගත්. දහම් පාසල්වල සහ පිරිවෙන්වල යටිතල පහසුකම් සංවර්ධනය සදහා වැඩපිළිවෙලක් කීයාත්මක කිරීම ඉදිරි රජයකින් සිදුවිය යුතු දෙයක්.

අපි යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමෙන් පස්සේ අපේ හමුදාවන් පන්සල්වල තිබෙන යටිතල පහසුකම් සංවර්ධනය කරන්න සම්බන්ධ වුනා. ඒ අතරතුරු පිරිවෙන් කිහිපයක නව ගොඩනැගිලි හදන්නත් අපි රණ විරුවන්ව යොමු කළා. ඔවුන් ඉතා ආසාවෙන් ඒ පන්සල් පරිසරය සමග රාජකාරි කළා. වසර ගණනාවක් යුද පිටියේ ඉදලා තමන්ගේ මිත්‍රයන් මැරෙනවා දැකලා තිබුණූ මනස සංසිදවා ගැනීමේ හැකියාව එමගින් රණ විරුවන්ට ලැබුණා. මේ හරහා අපිට පුලුවන් වුනා පන්සල්වල දහම් පාසල් ගොඩනැගිලි පිරිවෙන් ගොඩනැගිලි අලුතින් හදන්නත් පුනරුත්තාපනය කරන්නත්.

දහම් පාසල් දියුණු කිරීමේ අවශ්‍යතාවයන් හඳුනාගෙන අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ට නිල ඇදුම් ලබාදීම, දහම් පාසල්වලට එන දරුවන්ගේ ගුණාත්මකභාවය වගේම දරුවන්ගේ දැනුම ප්‍රවර්ධනය කරන්න පුලුවන් ගුරුවරුන්ගේ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් රජයේ අනුග්‍රහය අවශ්‍යයි.

ඒ වගේම දහම් පාසල් දරුවන්ගේ ආධ්‍යාත්මික වර්ධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර අධ්‍යාපනික රටාවේ වෙනස්කම් කිරීමත් වැදගත්. අද දරුවන් පහළ බාලාංශයේ සිට උසස්පෙල දක්වා මානසික පීඩාවකට පත්ව තිබෙනවා. ඊට හේතුව අධ්‍යාපන ක්‍රමයේ තරගකාරිත්වයයි. ළමයින් පහළ බාලාංශයට ඇතුළත් කළ දින සිටම දෙමව්පියන් ළමයින්ට විශාල පීඩනයක් දෙනවා. ටියුෂන් ක්ලාස් ගෙනියන්න, ශීෂ්‍යත්ව විභාගය සමත් කර ගන්න සාමාන්‍ය පෙලට ගෙනියන්න මේ විදියට වෙහෙසවලා අවසානයේ විශ්ව විද්‍යාල හෝ තෘතීය අධ්‍යාපනයෙන් පසුව දරුවෝ අතරමං වුනාම මොකද වෙන්නේ.

දරුවෝ ලක්ෂ 5ක් පමණ උසස් පෙලට පෙනී සිටියාම ලක්ෂ 2ක් විතර සමත් වෙනවා. ඉන් 35000ට වගේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකියාව ලැබෙනවා. මේ දරුවෝ රටේ අනාගතයයි. අතරමං වෙන්න ඉඩ නොතබා ඉදිරියට යන්න හැකියාව ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කර ගත යුතුයි.  අපේ අධ්‍යාපන ක්‍රමය කිසිසේත්ම රටේ ආර්ථිකයට අවශ්‍ය ආර්ථිකයට දායක විය හැකි නිපුණත්වයක් සහිත දරුවන් බිහි කරන එකක් නෙවෙයි. මේ නිසා දරුවෝ අතරමං වෙයි කියන බයට දෙමව්පියෝ කුඩා කාලයේ සිට දරුවන්ව පීඩාවට ලක්කරනවා.

ඉදිරියේදී එන රජයක් තුළ මේ ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුයි. තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා දීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍යයි. විශ්ව විද්‍යාලයකට ඇතුල් වීම හෝ කාර්මික විද්‍යාලයකට ඇතුලවීම මගින් හොඳ වේතනයක් ලැබෙන රැකියාවකට සුදුසු නිපුණත්වයක් සහිත ක්‍රමවේදයකට අපේ අධ්‍යාපනය සකස් කිරම මගින් දරුවන්ට තිබෙන පීඩනය ඉවත් කළ යුතුයි.

අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් ආයෝජනය කර සුදුසු නිපුණත්වයකින් යුතු දරුවන් බිහි කළ යුතුයි. එවැනි දරුවන් සදහා හොද අවස්ථා ලෝකය පුරාම තිබෙනවා. මේ නිසා විදේශගත වුනත් නුපුහුණු රැකියා සදහායි යන්න වෙන්නේ. මේ තත්ත්වයන් වෙනස් විය යුතුයි.

දරුවෝ පාසලේ හතේ අටේ පන්තියේ සිට රැකියා ලැබිය හැකි නිපුණත්වයක් සහිත වැඩ පිළීවෙලකට යොමු විය යුතුයි. කෙටි කාලීනව අද විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩ කර ඒවාට බඳවා ගන්නා ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කළ යුතුයි. එය කළ හැකියි. අන්තර්ජාලය භාවිතා කර දුරස්ථ අධ්‍යාපනය සදහා අවස්ථා ලබා දිය හැකියි. හරිත සංකල්පය සහිත විශ්ව විද්‍යාල තව තවත් ඇරඹිය යුතුයි.

මේ සමඟ පාඨමාලා වෙනස් කර තාක්ෂණික අංශයේ රැකියා සදහා ළමයින් පුහුණුකළ යුතුයි. තොරතුරු තාක්ෂණයේ කළා අංශයෙන් ඉගෙනගත් ළමයින්ට පවා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා.

ඉන්දියාවේ නවෝත්පාදන විශ්ව විද්‍යාලයක් මඟින් ගම්වලට ගිහින් විශ්ව විද්‍යාලයට නොයන ළමයින්ව හොද වේතනයක් ලැබිය හැකි රැකියා සදහා පුහුණු කරනවා. මෙවැනි ක්‍රම කෙටි කාලීනව දරුවන් අතරංමං වීම වැලැක්වීම සදහා යොදා ගත හැකියි. අද ලෝකයේ දියුණු රටවල ඉංග්‍රිසි සහ තාක්ෂණය වෙනුවෙන් විශාල අවධානයක් යොමුව තිබෙනවා. අපි මේ දේවල් වලට අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම හෙදියන් සදහා ජර්මනියේ පමණක් ලක්ෂ 2ක ඇබැර්තු තිබෙනවා. රටවල් සෑහෙන ප්‍රමාණයක හෙදියන්ට අවස්ථාව තිබෙනවා. නමුත් වැදගත් වන්නේ පිළීගත් පාඨමාලාවක්  වසර 4ක් අධ්‍යනය කර ඇති බවට සහතිකයක්. ඇයි අපි මේ සදහා හෙදියන් පුහුණූ නොකරන්නේ. සංචාරක කර්මාන්තයත් ඒ වගේම වැදගත්. සංචාරක කර්මාන්තයට කළා හා කළමණාකරණ විෂයයන් ඉගෙන ගන්නා දරුවන් පුහුණු කළ හැකියි.

තොරතුරු තාක්ෂණය ආශ්‍රීත රැකියා මඟින් ඩොලර් බිලියනයක පමණ විදේශ විනිමයක් මේ ක්ෂේත්‍රයෙන් අපේ රටට ගේනවා. එය ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළ නැංවීමේ හැකියාව තබෙනවා. ඒ සදහා තොරතුරු තාක්ෂණය පුහුණු වූ අය සිටිය යුතුයි. මේ නිසා අපේ රජයක් තුළින් තරුණ තරුනියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට අපි පියවර ගන්නවා.

මේ තරගකාරී සමාජයක් තුළ ඇති වන පීඩනකාරී අසහනයට මානසිකව සහනයක් ලබා දෙමින් දහම් පාසල්වලින් කරන සේවය මා අගය කරනවා.

– GR media

695 views
Main News