මත් උවදුර නතර කරන්න කතා කරන අයම බාර් ලයිෂන් බෙදනවා..

September 17, 2019 at 8:02 am | lanka C news
මත් උවදුර නතර කරන්න කතා කරන අයම බාර් ලයිෂන් බෙදනවා..

දරුවන් ඉගෙන ගත් දේ රට වෙනුවෙන් පාවිච්චි කළ හැකි සමාජයක් බිහි විය යුතු ව ඇති බවත් ,ඒ සඳහා දැක්මක් සහිත රටට – දැයට ආදරය ඇති නායකයන් අවශ්‍ය වී ඇති බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

පරමාදර්ශී පුද්ගලයින්ගේ අඩුව අද අප සමාජයට බරපතල ලෙස බල පා ඇති බව කී ඒ මහතා ,මේ තරමට හෝ අප සමාජය පවතින්නේ බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ පරිසරයක් පැවතීම නිසා යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,දෙනියාය – කළුගල හේන ශ්‍රී ඉන්ද්‍රසාර දහම් පාසලේ දරුවන්ගේ දහම් දැනුම වැඩි දියුණු කිරීම සඳහා පැවති විශේෂ වැඩ සටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි .එම දහම් පාසලේ ගුරු භවතුන් ,සිසු දරු දැරියන් මෙන්ම දෙමාපියන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” අද සමාජය වේගයෙන් පිරිහී යනවා .පාලකයන් මේ තත්වයට වග කියන්න ඕනෑ .දරුවන්ට නිසි පරිදි හැඩ ගැසෙන්නට සුදුසු වට පිටාවක් අද නෑ .ඒ සඳහා පරමාදර්ශී චරිත අවශ්‍යයි .එවැනි චරිත අද අපට දක්නට ලැබෙන්නේ කලාතුරකින් .වගකිව යුතු බොහෝ දෙනා තමන් විසින්ම තමන්ගේ විශ්වාසය හා කීර්තිය විනාශ කර ගන්නවා .බොහෝ දේහපාලනඥයන්ට ද අද ඒ තත්වය උදා වෙලා .දහම් පාසල් සිසු දරු දැරියන්ගෙන් ආදර්ශ ගත යුතු තැනට ඒ අය පත් වෙලා .රටේ මත් උවදුර නතර කරන්න ඇතැම් නායකයන් කතා කරන අතර ඇතැම් නායකයන් මත් වතුර විකිනීමට බල පත්‍ර දෙනවා .රට කරවන සමහර නායකයන්ට වඩා දහම් පාසල් සිසු දරු දැරියන් චරිතවත් .ඔවුන් රටට ආදරය කරනවා ;මව් පියන්ට ආදරය කරනවා .මෙවැනි දරු පිරිසක් නිර්මාණය කර ගන්න කැපවීමෙන් ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා ,හා දහම් පාසල් ගුරු භවතුන්ට අපේ ගෞරවය හිමි විය යුතුයි .දහම් පාසල් පවත්වා ගෙන යන්නේ බොහෝ දුෂ්කරතා මැද බව පාලකයන් තේරුම් ගත යුතුයි .

ලස්සන රටක් හදා ගන්න ඕනෑ නම් මානව දයාවෙන් යුත් මිනිසුන් ද අවශ්‍යයි .අද සමාජය තුළ වැඩියෙන් දක්නට ලැබෙන්නේ ආත්මාර්ථකාමී හැඟීම් ඇති අයයි .තමන් ගැන පමණක් සිතා ක්‍රියා කිරීමෙන් තමන්ට මෙන් ම අන් අයට ද සිදු වන්නේ හානියක් .මේ නිසා අප සිතන සමාජය හදා ගන්න එතරම් පහසුත් නෑ .මිනිසුන් විවිධයි ; විෂමයි .සමාජයට අවශ්‍ය වන්නේ තමන් යහපතෙහි පිහිටා ජීවත් වන අතර ,අන් අයද යහපතට යොමු කර ගන්නා උතුම් මිනිසුන් .එවන් මිනිසුන්ගේ වටිනාකම බුදුන් වහන්සේ පෙන්වා දුන්නා .

ආර්ථිකය දුර්වල නම් පුද්ගලයන්ට වගේම රටකට ඉදිරියට යන්න බැහැ .අද රටත් වැටිලා .ජනතාවත් දුකට පත් වෙලා .මේ නිසා මිනිසුන් තුළින් සතුට ද පලා ගිහින් .මෙයින් අප ඉක්මනින් ගොඩ එන්න ඕනෑ .බුදු දහම පදනම් කර ගත් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේ නම් අපේ රට යහපත් තැනකට ගෙන එන්න පුළුවන් .ඒ සඳහා අප සියලු දෙනා කැප වෙන්නට ඕනෑ .” යැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– KH media

42 views

One Comment to “මත් උවදුර නතර කරන්න කතා කරන අයම බාර් ලයිෂන් බෙදනවා..”

  1. Rathgama MC says:

    මහත්තයෝ ඔය රට හදනවයි කියන,රටේ විනය හදනවයි කියන,මත උවදුර නැති කරනවා කියන ගොටාභය ආරක්ෂක ලේකම් ලෙස සිටියදී,ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස හිටියේ ලෝකප්‍රසිද්ධ කුඩු මුදලාලි කෙනෙක් නේද?ඇයි ? ඔබ කනතාව නොමග යවන්න ජනතාවට පච වපුරන්නේ.උගත්මම විකුනන්න එපා මහත්තයෝ.කඩේ යනවා නම් හරි කෙනෙකුට කඩේ යන්න.රාජපක්ෂලා තරම් පට්ට හොරු,දුශිතයෝ,මැරයෝ තවත් මේ රටේ නැති බව මේ මුළු රටම දන්නවා.