මන්නාරම් සමූහ මිණී වලෙන් මිනිස් සිරුරු 66ක් හමුවෙයි..

August 22, 2018 at 5:30 pm | lanka C news
මන්නාරම් සමූහ මිණී වලෙන් මිනිස් සිරුරු 66ක් හමුවෙයි..

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු මේ වන විට නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව පසුගිය 10 වැනිදා නවතා දැමූ අතර, 56 වන දිනට ඊයේ(21) නැවත කැනීම් කටයුතු ආරම්භ කොට ඇත.

අදාළ සමූහ මිනිවළ කැනීම තුළින් මේ වන විට මිනිස් සිරුරු 66 කට අදාළ අස්ථි කොටස් හමුවි ඇති බවත් සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 40 කට අදාළ කොටස් කැනීම් මඟින් ඉවත් කර ගැනීමට හැකිවි  ඇති අතර කැනීම් මඟින් ඉවත් කළ සිරුරු කොටස් මුද්‍රා තබා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තැන්පත් කොට ඇති බවද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු පළමුව ආරම්භ කරනු ලැබීය.

පුරාවිද්‍ය නිළධාරීන්,රජයේ රස පරීක්ෂක නිළධාරීන්,අධිකරණ වෛද්‍ය නිළධාරීන්ගේ මෙහෙයවීම යටතේ වර්තමානයේ දින 56 ක කාලයක් අදාළ ස්ථානයේ මේ වන විට පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදි මිනිස් සිරුරු 66 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බවද මන්නාරම පොලිස් නිළධාරීන් පැවසීය.

වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.ජි.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.

මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවු අතර, එහිදිද මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවිණ.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කළේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

118 views