මවු රටේදී සැත්කම් තහනම් බ්‍රිතාන්‍ය දොස්තර කරාපිටියේ බයිපාස් කරද්දී ශල්‍ය මේසය රෝගියෙක් මිය යයි..

May 21, 2018 at 3:50 pm | lanka C news
මවු රටේදී සැත්කම් තහනම් බ්‍රිතාන්‍ය දොස්තර කරාපිටියේ බයිපාස් කරද්දී ශල්‍ය මේසය රෝගියෙක් මිය යයි..

සිය මව්රට වන බ්‍රිතාන්‍ය තුල හෝ සැත්කම් කිරීමට අනුමැතිය නැති බ්‍රිතාන්‍ය වෛද්‍ය වරයෙකුට ගාල්ල කරාපිටිය රෝහල තුල හෘද සැත්කම් සිදුකිරීම ඉඩදීම තුල අවාසනාවන්ත මරණයක් සිදුව තිබෙන බව ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදුකරන බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය ආර් කේ ෆර්මින් නැමැති වෛද්‍ය වරයා අතින් පසුගිය 18 දින ශල්‍යාගාරය තුල ශල්‍ය මේසය මත දීම 69 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබෙන බවත් එය වෛද්‍ය ආචාර ධර්මයන් වලට ඉදුරාම පටහැනි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. මිය ගිය කාන්තාවට බයිපාස් සැත්කමක් සිදු කරමින් සිටින අවස්ථාවේ දී ඇය මෙසේ ශල්යා මේසය තුලදීම මියගොස් තිබෙන බවද එම නිවේදනයේ සදහන් වේ.

මෙම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය ආර් කේ ෆර්මින් හා වෛද්‍ය හරිස්චන්ද්‍ර යන වෛද්‍ය වරුන් දෙදෙනා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන අතර ඒවා විභාග කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් විසින් රෝහල් අධ්‍යක්ෂවරයාට දන්වා ඇත. ඔහුගේ සුදුසුකම් ඉදිරිපත් කිරීමටද සහන කාලයක් ලබා දී ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ පසුගිය 18 දින 69 වියැති කාන්තාවක් බයිපාස් සැත්කමක් සිදුකරමින් සිටින විට ශල්‍යාගාරය තුල ශල්‍ය මේසය මත දීම  මියගොස් තිබීම තුල මෙම වෛද්‍යවරයාගේ සුදුසුකම් තහවුරු කිරීමට සහන කාලයක් ලබා දීම රෝගී ජීවිත අනතුරේ හෙලීමක් බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

මෙම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට තම මව් රට තුලද සැත්කම් කිරීමට කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තියේ යෙදීමට හෝ අවසර නැතිව තිබියදී ගාල්ල කරාපිටිය රෝහල තුල හෘද සැත්කම් සිදුකිරීම නිසා සිදු වු අවාසනාවන්ත මරණයන් පිළිබදව මීට පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාල වෛද්‍යවරයාට වෛද්‍ය වෘත්තියේ  යෙදීම සදහා වූ යෝග්‍යතා සහතිකය මාස තුනක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසත් දන්වා ඇතැයිද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනයේ සදහන් වේ. රෝගී ජීවිත ආරක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් එසේ නොවන්නේ නම් අහිමි වන රෝගී ජීවිත වල වගකීම රෝහල් අධ්‍යක්ෂවරයා විසින් බාරගත යුතු බවත් නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.

මේ සම්බන්ධයෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

මේ පරීක්ෂණය කරන්න භාර දීලා තියෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාට. ඔහු මේ දින වල ලංකාවේ නැහැ. කොහම වුනත් ඔහු 21 සදුදා සිට රාජකාරියට පැමිණීමට නියමිතයි. පසුගිය 18 වනදා මියගිය අයගේ සහ ඊට පෙර මියගිය අය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර ඔහු වාර්තාවක් දේවි.

කොහොම වුණත් බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය ආර් කේ ෆර්මින් මහතාට සැත්කම් කරන්න අවසරය දීලා තියෙන්නේ මම නොවෙයි, සෞඛ්ය්‍ය අමාත්‍යාංශයයි. මොනවා වුනත් ඔහුගේ වාර්තා ඉදිරිපත් කිරීමට ඔහුට මාස තුනක කාලයක් ලබා දී තියනවා. ඒ කාලය තුල සැත්කම් නවත්වන්න කියලා අමාත්‍යාංශයෙන් උපදෙස් දීල කියලා නැහැ.

– ජයකාන්ත ලියනගේ

255 views
Main News