මසක වැටුපෙන් භාගයක් නොව සම්පූර්ණ මාසික වැටුපම මා පරිත්‍යාග කරනවා..
June 1, 2017 at 1:20 pm | lanka C news
ගංවතුරින් සහ නාය යැම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් තම මාසික වැටුප මුලින්ම පරිත්‍යාග කිරීමට සූදානම් යෑයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා කොළඹ 03 සංචාරක මණ්ඩලයේ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
තමා මසක වැටුපෙන් භාගයක් නොව සම්පූර්ණ මාසික වැටුපම පරිත්‍යාග කරන බවත් එය අනෙකුත් මැති ඇමැතිවරුන් ද ඒ අනුව වැටුපෙන් කොටසක් හෝ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
මෙය කාටවත් බල කළ හැකි දෙයක් නොවන බවත් මැති ඇමැතිවරුන් කැමැත්තෙන් මීට ඉදිරිපත් විය යුතු බවත් ඇමැතිවරයා මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
කළුතර ප්‍රාදේශීය ලේකම්වරයා එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් ඉල්ලා ඇති ද්‍රව්‍ය සැපයීම සඳහා රු. ලක්ෂ 20 ක් වැය කිරීමට තමා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලින් දායකත්වය ලබාදෙන බවද මෙම පරිත්‍යාග සැපයීමට ආර්පිකෝ සමාගම සහ ඇක්සන් සමාගම ඉදිරිපත්ව ඇති බැව් ඇමැති ජෝන් අමරතුංග මහතා කීවේය.
ගංවතුර හා නාය යැම්වලින් ශ්‍රී ලංකාවේ සිටින විදේශ සංචාරකයන්ට හෝ සංචාරක හෝටල්වලට කිසිම බලපෑමක් සිදුව නැති බවද දැන් ගංවතුර තත්ත්වය සමනය වෙමින් පවතින නිසා ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කිසිදු ප්‍රශ්නයක් නැති බවද සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතා කීවේය.
මෙහිදී ආර්පිකෝ සමාගම මදුරු දැල් 500 ක් සහ තාවකාලික නිදාගන්නා ෂීට් 500 ක් සැපයීමට ඉදිරිපත්ව ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.
මේ ප්රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති පැඩී විතාන මහතා සහ එහි අධ්යක්ෂ ජනරාල් මල්රාඡ් කිරිඇල්ල මහතා ඇතුළු සංචාරක ක්ෂේත්රයේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
– දිවයින