මහකන්නයේ වී අස්වැන්න හෙකටයාර් 10,000 ක් අවධානමේ.. ගොවීන් කබලෙන් ලිපට..

March 2, 2018 at 2:08 am | lanka C news
මහකන්නයේ වී අස්වැන්න හෙකටයාර් 10,000 ක් අවධානමේ.. ගොවීන් කබලෙන් ලිපට..

මෙවර මහක්නනයේ වී අස්වැන්න නෙලීමේ කටයුතු සිදු වුවද පවතින වර්ෂා සහිත කාල ගුණය හේතුවෙන් මහකන්නයේ ගොවිතැන් කරන ලද වී අස්වැන්න හෙක්ටයාර 10,000 කට ආසන්න ප්‍රමාණයක් දැඩි අවධානම් තත්වයක පැවතීම හේතුවෙන් වවුනියාවේ ගොවීහු දැඩි සේ අසරණව සිටිති.

පසුගිය කාලයේ පැවති නියං තත්වය හේතුවෙන් වව්නියාවේ බොහෝ කුඹුරුවල ගොවිතැන් කටයුතු අතහැර දැමීමට ගොවීන්ට සිදු වූ අතර මෙවර මහක්නයේදී වව්නියාවේ කුඹුරු හෙක්ටයාර් 12,080 ක් ගොවිතැන් සිදු කර ඇති බවට වව්නියාව දිසාපති සෝමරත්න විධාන පතිරන මහතා කියා සිටියේය.

නමුත් වී අස්වැන්න නෙලීමේ අවසන් කාලය වන විට බොහෝ කුඹුරු වලට ජලය නොමැති වීමෙන් වී ගොයම විනාශ වූ අවස්ථාද වාර්ථා වූ අතරම නියගයෙන් බේරාගත් ගොවීන්ගේ වී අස්වැන්න නෙලීමේ කටයුතු මේ දින වල සිදුවුවද බලාපොරොත්තු නොවූ අයුරින් ඇදහැලෙන වර්ෂාවන් හේතුවෙන් වී අස්වැන්න විනාශ වී යාමේ අවධානමකට මෙසේ ලක්ව ඇත.

නියගයෙන් බේරා ගත් වී අස්වැන්න නෙලීමට ආසන්න අවස්ථාවේදී ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වී හැලීම සිදු වී නැවත වී පැැලවීමේ අවධානමක් පවතින හෙයින් පවතින වර්ෂාව ඉදිරියටත් පැවතියහාත් වව්නියාවේ මහකන්නයේ වී අස්වැන්න 80% ක් විනාශ වී යාමේ අවධානමක් පවතින බවටද ගොවීහු කියා සිටියහ.

විවිධ බාධක හමුවේ වී අස්වැන්න නෙලීමට ඇති ආසන්න අවස්ථාවක වර්ෂාවෙන් වී අස්වැන්න විනාශ වුවහොත් තමන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වන බවටද වව්නියාවේ ගොවීහු වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

78 views
Main News