මහජන බැංකුවට 56 වසරයි

July 1, 2017 at 2:30 am | lanka C news
මහජන බැංකුවට 56 වසරයි

මෙරට බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ මහත් පෙරළියක් ඇති කරමින් ඇරඹි මහජන බැංකුව පිහිටුවා අද (ජූලි 01) වන දිනට පනස් හය වසරක් සපිරෙයි. එවකට සාමාන්‍ය පොදු ජනතාවට දුරස්ථ වූ බැංකු කටයුතු ඔවුන්ට වඩාත් සමීප අත්දැකීම් වූයේ මහජන බැංකුවේ ආරම්භයත් සමගය.

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා ගැමි ජනතාව නගා සිටුවීම අරමුණු කරගනිමින් 1961 අංක 29 දරණ පනත යටතේ මහජන බැංකුව පිහිටුවීය. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට පැවැති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වෙළෙඳ, ආහාර සමූපකාර හා නාවික කටයුතු අමාත්‍යවරයා වූ ගරු ටී.බී.ඉලංගරත්න ශ්‍රීමතාණන්ය. මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූයේ එවකට සමූපකාර ක්ෂේත්‍රයේ විසල් මෙහෙයක් සිදුකරමින් සිටි වින්සන්ට් සුබසිංහ මහතාය.

මේ වන විට මහජන බැංකුව රුපියල් ටි්‍රලියනයකට අධික වත්කම් ප්‍රමාණයකින් යුතු ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතනයකි. දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය. දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay සේවාව සමග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,000 කට ආසන්නය. සමස්ත ගනුදෙනුකාර ප්‍රජාව මිලියන 14 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ.

එමෙන්ම මහජන බැංකුව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර, මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණය වෙතද පිවිස තිබේ. එමෙන්ම වගකිව යුතු මූල්‍ය ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළගාවීමේ මාර්ගය සකස් කරමින් “ Peoples Green Pulse”නමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද කි්‍රයාවට නංවයි.

– භාරත ප‍්‍රභාෂණ

333 views
Main News