මහනුවර කලහයේදී දේශපාලන ලකුණක් ගහගෙන බේරුණු කඩ ගැන ප්‍රචණ්‌ඩත්වය පිටුපස රහස්‌ කතාව ජනපති හෙලි කරයි..

March 11, 2018 at 10:00 am | lanka C news
මහනුවර කලහයේදී දේශපාලන ලකුණක් ගහගෙන බේරුණු කඩ ගැන ප්‍රචණ්‌ඩත්වය පිටුපස රහස්‌ කතාව ජනපති හෙලි කරයි..

රටේ ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිවයින ඉරිදා සංග්‍රහය සමග කරන සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි, මුලින්ම අම්පාරේ නොසන්සුන්තාවයක්‌ ඇතිවුණා. ඊට සතියකට පසු මහනුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවයක්‌ ඇතිවුණා. මේ සිද්ධි දෙක මේ රට යළිත් වර්ගවාදී ගින්නක දහනය කරවීම සඳහා හොඳටම ප්‍රමාණවත්. විශේෂයෙන්ම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව රැස්‌වී තිබෙන අවස්‌ථාවක මෙවැනි සිද්ධි ඇතිවීම හේතුවෙන් ජාතික වශයෙන් පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන් ද මේ රට අපකීර්තියට ලක්‌වෙනවා. රාජ්‍ය නායකයා ලෙස ඔබ මේ තත්ත්වය ඇතිවීම දකින්නේ කොහොමද…?

පිළිතුර – අම්පාර සිද්ධිය පැහැදිලිවම සැලසුම් කරලා කරපු වැඩක්‌. ඒක අහඹු සිදුවීමක්‌ හෝ හදිසියේ ඇතිවුණු තත්ත්වයක්‌ නෙවෙයි. කලින් සංවිධානය කරපු සිදුවීමක්‌.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රියෑදුරෙකුට පහරදීම කලින් සංවිධානය වෙච්ච එකක්‌ නෙවෙයි. මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක්‌ හොඳටම මත්පැන් පානය කරලා, ත්‍රීවීල් එකක යනකොට, තවත් වාහනයක ගැටුණා. මේ තරුණයන් තිදෙනා අනෙක්‌ වාහනයේ රියෑදුරුට ගැහුවා. දවස්‌ කීපයකට පස්‌සේ ගුටි කෑ තරුණයා රෝහලේදී මිය ගියා. එතන වැරැද්ද ඒගොල්ලන්ගේ.

මට පේන විදියට අම්පාර සිද්ධියත්, රියෑදුරුගේ මරණයත් යන දෙකම එකට තියලා, අවසනාවන්ත තත්ත්වයක්‌ දක්‌වා එය යම් පිරිසක්‌ විසින් එය සංවිධානය කළා. අම්පාර සිද්ධිය සංවිධානය කරපු පිරිස, මේ ප්‍රශ්නය මහනුවරටත් ගත්තා කියලයි, මම විශ්වාස කරන්නේ. එක පැත්තකින් මේකේ අන්තවාදීන්ගේ ක්‍රියාකලාප තියනවා. තවත් පැත්තකින් ආණ්‌ඩුවට විරුද්ධව දේශපාලන බලවේගවල පසුබිමකුත් තියනවා. එයට හේතු සාක්‌ෂි, සාධක බොහෝ තිබෙනවා. එක උදාහරණයක්‌ ගත්තහම පෙනෙන දෙයක්‌ තමයි තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක්‌ තියෙනවා ඡන්ද ලකුණක්‌ තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට ගහලා තියෙනවා.

කුලියාපිටියේ මුස්‌ලිම් කඩ දෙකකට පහර දුන්නා. එක්‌සත් ජාතික පක්‌ෂයෙන් තරග කරපු අපේක්‌ෂකයෙක්‌, ඔහුගේ වාහනයෙන් ගිහින් එම පහරදීම කර තිබෙන බව පරීක්‌ෂණවලදී හොයා ගෙන තිබෙනවා. සමහර දේවල් පැහැදිලිවම, දේශපාලන පසුබිම්වලින් ආණ්‌ඩුවට විරුද්ධව සිද්ධ කරපුවා බව මේ සාධක වලින් පෙනෙනවා. සමහර අය දේශපාලන පසුබිමක්‌ නැතිව අන්තවාදී විදියට හිතන අය. මේ තත්ත්වය තුළ තමයි මේ ප්‍රශ්නය වර්ධනය වුණේ…

මහනුවර ප්‍රදේශයේ කලබල කරන අයට විශාල වශයෙන් අරක්‌කු, කසිප්පු ඒ ගම්වලටම ගිහිල්ලා දෙන වැඩපිළිවෙළක්‌ තිබිලා තියෙනවා. රජයේ නිලධාරීන්, පොලීසිය, හමුදාව, ස්‌වාමීන් වහන්සේලා ඒ අය කියන්නේ මේ විදිහේ පහරදීම් කරන අයව ගිහින් හම්බ වුණාම, ඒ කවුරුත් එක්‌ක කතා කරන්න පුළුවන් හොද සිහියෙන් හිටියේ නැහැ, කියලයි.

ප්‍රශ්නය – තත්ත්වය සාමාන්‍ය කිරීම සඳහා ආණ්‌ඩුව ගත් ක්‍රියාමාර්ග අතර සමාජ මාධ්‍ය ජාලා තහනමක්‌ ද ක්‍රියාත්මක කළා. එවැනි පියවරක්‌ ගැනීමට හේතුවූ කාරණා පැහැදිලි කළහොත්…

පිළිතුර – අන්තවාදී පිරිස්‌ සමාජ වෙබ් අඩවි පාවිච්චි කෙරුවෙ ඉතාමත්ම පහත් විදියට. මේ ගැටුම වර්ධනය වෙන්න මූලික වශයෙන්ම සමාජ වෙබ් අඩවි හේතු වුණා. ඒ නිසා තමයි අපි ඒවා නියාමනය කරන්න පටන් ගත්තේ. ජාතික ආරක්‌ෂාව සම්බන්ධයෙන් තිබෙන නීති රීති යටතේ එවැනි ක්‍රියාමාගර් ගැනීමේ බලය රජයට තිබෙනවා. කැබිනට්‌ මණ්‌ඩලය සාකච්ඡා කරලා, ජාතික ආරක්‌ෂක මණ්‌ඩලය සාකච්ඡා කරලා, සමාජ වෙබ් අඩවි තාවකාලිකව වාරණය කිරීම සඳහා පියවර ගැනීමට රජයට සිදුවුණා.

ප්‍රශ්නය – මහනුවර ප්‍රශ්නෙ තිබෙන වෙලාවෙ ඔබ මහනුවරට යනවා. එවැනි අනාරක්‌ෂිත පරිසරයක රටේ රාජ්‍ය නායකයා ප්‍රශ්නය මැදට යැම අති අවදානම් කාරී කටයුත්තක්‌…

පිළිතුර – ඔබට මතක ඇති මම ගිය අවුරුද්දේ යාපනයට ගිය අවස්‌ථාව. එවිට යාපනයේ අන්තවාදී පිරිස්‌ විශාල විරෝධතාවන්වල නිරතවෙලා හිටියා. ඒ අයවත් බලාපොරොත්තු නොවුණු විදියට, ආරක්‌ෂක අංශ බලාපොරොත්තු නොවුණු විදියට, මම වාහනෙන් බැහැලා ඒ අය ළඟට ගිහින් කතා කළා. ‘ඇයි මේ විදියට හැසිරෙන්නේ. ඕන දෙයක්‌ මාත් එක්‌ක කතා කරන්න, සාකච්ඡා කරන්න පුළුවන්. මම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්‌. ඒක නිසා මෙහෙම කලබල කරන්නේ නැතිව, මාත් එක්‌ක කතා කරන්න…’ කියලා මම කිව්වා. ඒ අය ඒක පිළිගත්තා. ඊට දවස්‌ දෙකකට පස්‌සේ යාපනයේ උද්ඝෝෂණය කරපු අය, මගේ ආරාධනය අනුව කොළඹට ආවා. ඒ අයගේ ඉල්ලීමක්‌ තිබුණා. ඒ ඉල්ලීමත් මම ඉෂ්ට කළා. ජනාධිපතිතුමා අපේ ඉල්ලීම ඉෂ්ට කළා…’ කියලා ඒ අයට මා ගැන පැහැදීමෙන් ප්‍රශ්නය නිමාවුණා.

එදා මම අනුරාධපුරේ දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා කටයුතු සඳහා, අනුරාධපුරේ ඉන්න තිබුණේ. උදේ කුරුණෑගල රැස්‌වීමක්‌ යොදාගෙන තිබුණා. කුරුණෑගලදී මට ආරංචි වුණා තත්ත්වය ඉතාම නරකයි. මේ විදිහේ නොසන්සුන්තාවයක්‌ තියනවයි කියලා. ඒ නිසා, මම වැඩ සේරම නවත්තලා නුවරට ගියා. ගිහිල්ලා මහානායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේලා දැනුවත් කරලා, ෙත්‍රෙනිකායික අනුනායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේලා, ඒවගේම ඉස්‌ලාම් මව්ලවිතුමන්ලා, ක්‍රිස්‌තියානි, හින්දු පූජකතුමන්ලා ඒ සියලුදෙනා ගෙනැල්ලා, හමුදා නිලධාරීන් පොලීසිය, දේශපාලනඥයන් සේරම එකට තියලා සාකච්ඡා කරලා මේ තත්ත්වය වෙනස්‌ කරන්න, සාමය ඇති කරන්න, මේ ගැටුම් වළක්‌වන්න කටයුතු කිරීමට අවශ්‍ය දේවල් සාකච්ඡා කරලා ඒ තීන්දු තීරණ ගත්තා.

ඔය වගේ ප්‍රශ්නවලදී මම ගැන නෙවෙයි හිතන්නේ. රටේ ප්‍රශ්නය ගැනයි මම හිතන්නේ. මට වඩා මිනිස්‌සුන්ගේ ජීවිත. ගෙවල් ගිනිගන්නවා නම් වාහන ගිනි ගන්නවා නම් මිනිසුන්ගේ ජීවිත විනාශ වෙනවා නම් මම මම ගැන හිතන්නේ නැතිව ප්‍රශ්නය තියන තැනට හෝ ගිහිල්ලා විසඳුමක්‌ දීම මගේ ප්‍රතිපත්තිය. මගේ අවුරුදු 50 ක ජීවිතය ගත්තහම එවැනි සිදුවීම් ඕනතරම් තිබෙනවා. දැඩි භයානක ස්‌ථානවලට අවදානම් ස්‌ථානවලට මම එහෙම ගිහින් තිබෙනවා. මම ජනාධිපති අපේක්‌ෂකයා වුණෙත් ලොකු අවදානමක්‌ අරගෙනනේ. මහමුහුදට පැන්නා වගේනේ මම පැන්නේ.

ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන කොට මම යනවා. මට විශ්වාසයක්‌ තිබෙනවා ඒ තැනකට ගිහින් කතා කරපුවහම ඒ අයට මාත් එක්‌ක යම් එක`ගතාවයකට එන්න පුළුවන් වෙයි කියලා. ඒ පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. ඒ වගේම හැම වෙලේම ඒ දේ සිද්ධ වෙලත් තිබෙනවා. ඕනෑම බරපතළ දරුණු අදහස්‌ දරන, ප්‍රචණ්‌ඩකාරී අදහස්‌ දරන අය එක්‌ක පවා කතා කරපුවහම ඒ අය වෙනස්‌ වුණු ආකාරයන් මම දැකලා තිබෙනවා. මාව මරන්න ආපු එල්ටීටීඊ ත්‍රස්‌තවාදියා ගෙනැල්ලා මම නිදහස්‌ කෙරුවා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. මේක එක එක්‌කෙනාට එක එක විදියට පේන්න පුළුවන්.

ප්‍රශ්නය – නුවර සිද්ධියේදී පොලීසිය රාජකාරි කටයුතු කරන ලද ආකාරය ගැන රටේ විවිධ මත තිබෙනවා. පොලීසිය නිසොල්මනේ හිටියා කියලා, ජනතාවගෙන් චෝදනාවක්‌ තියෙනවා.. තවත් සමහරු කියනවා දැන් පොලීසියත් මේ වගේ දේවල්වලට අත දාන්න බයයි. මොකද රතුපස්‌වල වැනි සිද්ධි වලට පසුව මුහුණ දුන් තත්ත්වය නිසා, අධිකරණය හමුවට යැමට සිදුවෙතැයි පොලීසිය සහ ආරක්‌ෂක අංශ සැකයෙන් සිටින බව පෙනෙනනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්‌ද?

පිළිතුර – පොලීසිය හිතන විදිහත් හරි. මහජනයා හිතන විදියත් හරි. ඒ මොකද පොලීසිය පැත්තෙන් පොලිස්‌ නිලධාරීන්ගේ විශාල කැප කිරීමක්‌ තිබෙනවා, උනන්දුවක්‌ තිබෙනවා. දිවා රෑ වැඩ කරනවා, වගේම ඒ අයගේ දුක්‌ ගැනවිල්ලක්‌ තිබෙනවා… මොනවා හරි සිද්ධියක්‌ වුණාම, ඒ අය ගැන බලන්න කෙනෙක්‌ නැහැ කියන එක ඔවුන් නිතරම කියනවා. ඒ කතාව ඇත්ත. සමහර වෙලාවට රජය වෙනුවෙන් පෙනී ඉඳලා, උද්ඝෝෂණ පෙළපාලි විරෝධතා ඒවා පාලනය කරන්න ඒ අය කටයුතු කරපුවහම, අවසාන දෝෂාරෝපනයේදී ඔවුන් තනිවෙනවා. මානව හිමිකම් නීති, ඒවගේම යම් යම් අලුත් නීති රීති යටතේ මේ ප්‍රශ්න පොලීසියට ඇතිවී තිබෙනවා. සමහර වෙලාවට රජයේ නීතිපතිවරයාවත්, ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න බැහැ කියනවා. ඇත්තටම මේක ප්‍රශ්නයක්‌. ආණ්‌ඩුවක්‌ රටක්‌ එක්‌ක වැඩ කරන කොට සීමාව කොතනද කියලා, මානව හිමිකම් කොමිෂන් සභාව දැනගන්න ඕනෑ. ඒ සීමාවලින් එහා ගියාම රටකට ආණ්‌ඩු කරන්න බැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේක යුරෝපය නෙවෙයි. යුරෝපයේ තත්ත්වයට මේ රටේ ආර්ථිකය සංවර්ධනය වෙලත් නැහැ. ඒ තත්ත්වයට අධ්‍යාපනය දියුණු වෙලත් නැහැ. ඒ තත්ත්වයට හැදියාව ඇවිල්ලත් නැහැ.

ලාංකික ජනතාව වගේම සිංහල බෞද්ධයෝ කියන්නේ විශාල හැදියාවක්‌ තිබුණු, විනයගරුක, ඉතාම ගෞරවනීය ජාතියක්‌…. නමුත් අද ඇතිවෙලා තියෙන්නේ, විෂම තත්ත්වයක්‌… ඔවුන් අන්තර්ජාලය සමග හැසිරෙන විදිහ, පෞද්ගලිකව මුදල් හම්බ කරන්න වෙහෙසෙන විදිය. රට ගැන සහ මහජනයා ගැන නොසිතා තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර පිළිබඳව හැසිරෙන ආකාරය. මේ තත්ත්වයන් ගත්තහම රටේ සමාජය දරුණු පරිහානියකට ලක්‌වෙලා. දර්ශනයක්‌, ප්‍රතිපත්තියක්‌ නැති දේශපාලනඥයෝ තමයි මේ තත්ත්වයට වඩාත් වගකිව යුත්තේ. හිස්‌, පුහු දේවල්, අන්තවාදී අදහස්‌ එක්‌ක මහජනයාගේ ඔළුවට දාලා, නිවැරදි දේ කියන්නේ නැතිව දැඩි විදියට ජාතිවාදී හැ`ගීම් අවුස්‌සලා, මහජනතාවගේ ගුණාත්මකභාවය විනාශ කරලා තියෙන්නේ ඒ උදවිය.

පසුගිය අවුරුදු දහයක දොළහක කාලය තුළ, තොරතුරු තාක්‌ෂණය සමග බද්ධවීමත් සමග මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් විශාල පිරිහීමකට ලක්‌වෙලා තිබෙනවා. අපි ඇත්ත කතා කරන්න ඕන. රටේ එක පිරිසක්‌ වඩාත් අධ්‍යාත්මික නැඹුරුවට ලක්‌වෙලා තිබෙනවා. පන්සල, පල්ලිය. සිල් ගැනීම ආදීය එක පැත්තකින් විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. තවත් පැත්තකින් ගත්විට බරපතළ ලෙස සමාජ පිරිහීමක්‌ තිබෙනවා. ඒ සමාජ පිරිහීම ඇතැම් අය වැරදි විදියට කළමනාකරණය කරනවා.

මේ තත්ත්වයන් වලදී මහජනයා කියනවා නම් පොලිසිය කටයුතු කරන ආකාරයේ දුර්වලකම් තිබෙනවා කියා එහි සත්‍යයක්‌ තිබෙනවා. පොලිසියේ දුක්‌ගැනවිල්ල ගැනත් අපි සිතිය යුතුයි. ඇයි එහෙම පොලිසියට සිදුවුණේ කියන කාරණාව. කවුරු මොනවා කතා කළත් රජයක්‌ පොලිසිය රැකගත යුතුයි. පොලිසිය රැකගන්නේ නැතුව රජයක්‌ කරන්න බැහැ. මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කරන අය ඉන්නවා තමයි. නමුත් රටක්‌ ගෙනයාමට රජය සමග පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, රාජ්‍යයේ හිතවත්භාවය තියෙන්න ඕන. රාජ්‍යය සමග විශ්වාසය තියෙන්න ඕන. විශ්වාසය සහ හිතවත්භාවය පළුදු වුණොත් රාජ්‍යයක කටයුතු කිරීමට ප්‍රශ්න ඇති වෙනවා. මේ තත්ත්වයන් ඇතිවී තිබෙන්නේ වැරදි දේශපාලන හැසිරීම්, වැරදි තීන්දු තීරණ සමගයි.

ප්‍රශ්නය – මේ වන විට ආණ්‌ඩුවට යම් රතු නිවේදනයක්‌ මැතිවරණ ප්‍රතිඵල හරහා මහජනතාව නිකුත්කර තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ තක්‌සේරුව කුමක්‌ද…?

පිළිතුර – මැතිවරණ ප්‍රතිඵලය, රජයට විරුද්ධව දුන්න පමණින්ම, ජයග්‍රහණය භුක්‌ති විඳින අය නිවැරදි යෑයි ජනතාව කියන්නේ නැහැ. ජයග්‍රහණය ලබාගත් පාර්ශව අතීතයේ කළ වැරදි පිළිබඳව අද වන තෙක්‌ සමාලෝචනයක්‌ කර නැහැ. ඒ වැරදි හරිගස්‌ස ගන්නවා කියා අපිට පේන්නෙත් නැහැ. මේ ජයග්‍රහණය තුළ ජයග්‍රහණ උන්මාදයකින් ද`ගලනවා මිසක්‌, ඔවුන් කොතනටද යන්නේ කියා මම දකින්නේ නැහැ. ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්විට, මැතිවරණ පරාජය ලැබූ රජය ලෙස අපේ පාර්ශවයත්, එමෙන්ම ජයග්‍රහණය ලබපු විරුද්ධ පක්‌ෂයේ පාර්ශ්වත් මීට ඒ ප්‍රතිඵලය පිළිබඳව කල්පනා කළ යුතුයි.

මේ මැතිවරණ ජයග්‍රහණය කාගෙවත් ජයග්‍රහණයක්‌ නොවෙයි. ජනතාව පෙන්නවලා තිබෙනවා මේ තිබෙන ගමන් මාර්ගය නිවැරදි කර ගත යුතුයි කියා. ඒ නිවැරදි කරගැනීම රජය පමණක්‌ කළ යුත්තක්‌ නොවෙයි. අපේක්‌ෂකයා කවුද කියලා දන්නේවත් නැතුව, මැරිච්ච මිනිස්‌සු පවා ජයග්‍රහණය කරපු මැතිවරණයක්‌ මේක… මිනිසකුගේ අතක්‌ කපලා මල්ලක දා ගෙන ගිය, මහනුවර දිස්‌ත්‍රික්‌කයේ අපේක්‌ෂකයෙකුත් මේ ඡන්දයෙන් මන්ත්‍රීවරයෙක්‌ වෙලා තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය පුද්ගලයෙක්‌ දිහා බලා දුන් එකක්‌ නෙවේ. මෙය කාටත් පාඩමක්‌ ලෙසයි දී තිබෙන්නේ. මේ ප්‍රතිඵලය දිහා බලලා, තමන්ට හෙට අනිද්දා ආණ්‌ඩුවක්‌ එනවා කියා, විපක්‌ෂය හිතනවා නම්, ඔවුන් වරද්ද ගන්නේ, එතැන. මගේ අවුරුදු පනහක දේශපාලන අත්දැකීම් වගේම, ජනාධිපතිවරයා විදියට මෙහි වටපිට, උඩ යට, කළු සුදු සියල්ල මට පේනවා. මැතිවරණයෙන් පරාදවූ අයට සේම ජයග්‍රහණය කළ අයටත් බොහෝ දේ සිතන්න තිබෙනවා.

ප්‍රශ්නය(- ඔබතුමා රටේ නායකයා ලෙස මුහුණ දී සිටින්නේ අර්බුදකාරී සමයකට… දේශපාලන අස්‌ථාවරත්වය හේතුවෙන් රටේ දෛනික කටයුතු පවා ඇනහිටින තත්ත්වයක්‌ ඇතිවෙලා තිබෙනවා. මේ අස්‌ථාවරභාවය පිළිබඳව රාජ්‍ය නායකයා ලෙස ඔබ හිතන්නේ කුමක්‌ද…?

පිළිතුර – දේශපාලනඥයෙක්‌ විදියට මේක මට හොඳ අත්දැකීමක්‌… මේ රටේ බලයට පත්වුණ නායකයන්, වැඩිපුර පිරිසක්‌ බරපතළ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ඩී.එස්‌ සේනානායක මහතා අශ්වයා පිටින් වැටිලා මැරුණා. බණ්‌ඩාරනායක මහතාව ඝාතනය කළා. සිරිමාවෝ මැතිණියගේ කාලයේ හමුදා කුමන්ත්‍රණ, පොලිස්‌ කුමන්ත්‍රණ, ප්‍රජා අයිතිය අහෝසි කිරීම් තිබුණා. ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ හාල් සේරුව පිළිබඳ ප්‍රශ්න වෙලා, නැව් නැගලා හැංගිලා ඉඳලා තියෙනවා. එතකොට ඡේ.ආර්. ජයවර්ධන මහතාත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා… යුද්ධය ආරම්භ වෙලා. ඉන්දු ලංකා ගිවිසුම ආවේ ඒ කාලයේ… ප්‍රේමදාස මහතාව මරලා දැම්මා. චන්ද්‍රිකා මැතිණිය බලයට පත්වුණාම, එල්.ටී.ටී.ඊ එකේ ප්‍රහාරයට ලක්‌වුණා. එතුමියගේ ආණ්‌ඩුව කඩා වැටුණා. ඒ කාලයේ හිටපු කණ්‌ඩායමක්‌ අයින් වෙලා, විපක්‌ෂය බලයට ගෙනාවා. මහින්ද රාජපක්‌ෂ මහතා යුද්ධයක්‌ එක්‌ක බරපතළ තත්වයට මුහුණ දුන්නා. ඒ ආණ්‌ඩුවේ ලොකු අර්බුද පිපිරීම් ඇතිවුණා. එතුමාට ආණ්‌ඩුව කරගන්න බැරි නිසා අවුරුදු දෙකකට කලින් මැතිවරණයක්‌ තිබ්බා. මහින්ද රාජපක්‌ෂ මහතාගේ පක්‌ෂයේ ලේකම් එළියට ගිහින්, එතුමාව පරදවලා ආණ්‌ඩුවක්‌ හැදුවා. මේ ඔක්‌කොම අර්බුද. මමත් අද අර්බුදයක ඉන්නවා. ඒ සියලුදෙනා මුහුණ දුන්නට වඩා වෙනස්‌ අර්බුදයක තමා මම ඉන්නේ. ඒක තමයි මෙතැන තිබෙන ප්‍රශ්නය.

ප්‍රශ්නය – පසුගිය කාල සීමාවේදී කිසිම වැඩක්‌ වුණේ නැහැ කියන ඒක දැන් පිළිගත් මතයක්‌ බවට රටේ ස්‌ථාපනය වෙලා තිබෙනවා. ඔබ ජනාධිපති ලෙස කටයුතු කළත් මේ ආණ්‌ඩුවෙන් කිසිම වැඩක්‌ වෙන්නේ නැත්තේ ඇයි…? වෙන එකක්‌ තබා ජනාධිපතිවරයා ලෙස ඔබ විසින් ලබා දෙන නියෝගයක්‌වත් ක්‍රියාත්මක වෙන්නේ නැති තත්ත්වයකට රට දැන් පත්වෙලා…

පිළිතුර – මේ රටේ පොදු මහජනතාවට මෙතැනදි විශේෂයෙන් කියන්න ඕන දෙයක්‌ තිබෙනවා.මේ රටේ උගතුන් පවා, බොහෝ දේශපාලනඥයන් පවා හිතාගෙන ඉන්නේ මට තිබෙන්නේ කලින් ජනාධිපතිවරුන්ට තිබෙන බලතල කියලා. බොහෝ දෙනෙක්‌ මේක තේරුම් අරගෙන නැහැ… මේ රටේ අධිකරණ ක්‌ෂේත්‍රවල ඉන්න අයට පවා, ඒක තේරිලා නැහැ. අධිකරණ ක්‌ෂේත්‍රයේ යම් යම් කාරණා සාකච්ඡා කරන්න, විනිසුරුවරුන් ආපුවාම ඔවුන්ගෙන් මම ඇහුවා ‘ඔබතුමාලා තාම හිතාගෙන ඉන්නේ, මේ ඉන්නේ, 19 වැනි සංශෝධනයට කලින් සිටිය ජනාධිපතිවරයෙක්‌ කියලාද…’ කියලා… අද මේ රටේ ගොඩක්‌ අය මට දොස්‌ කියන්නේ මේ ඉන්නේ 19 වන සංශෝධනයට කලින් ඉන්න ජනාධිපතිකෙනෙක්‌ කියලා හිතාගෙන. 19 වන සංශෝධනයෙන් වුණ වෙනස කවුරුත් තේරුම් අරගෙන නැහැ. තීන්දු තීරණ ගන්නේ නැහැ කියලා, සමහරු මට චෝදනා කරනවා. එහෙම කියන්නේ ඇයි? ඒ කියන්නේ එයාලා හිතනවා මෙයා කලින් ජනාධිපතිවරු වගේ වැඩ කරන්නේ නැහැ කියලා. කලින් හිටපු දෙන්නා ජනාධිපති විදියට, හෙට වැඩ බාරගත්තත් එයාලාට අහගන්න වෙන්නෙත් මේ කතා ටික තමයි. ඒක තමයි ඇත්ත කතාව. මීට කලින් මේ රටේ නීතිපති පත්කළේ ජනාධිපති. අගවිනිසුරු, ශේෂ්ඨාධිකරණ විනිසුරු, පොලිස්‌පති, කොමිෂන් සභා, මේ සියලු දේවල් පත් කළේ ජනාධිපතිගේ තනි අභිමතය පරිදි. අද ඒ කිසිවක්‌ කරන්න බැහැ. අද ඒ මිනිසුන්ව අයින් කරන්නත් බැහැ. අද මේ තුළ හුඟක්‌ වෙනස්‌කම් ඇතිවෙලා තිබෙනවා.

මේ වෙනස පිළිබඳ අවබෝධය විශාල පිරිසකට නැති එක තුළ තමයි බොහෝ චෝදනා මට කරන්නේ. සමහර අය කියනවා කතාව විතරයි, වැඩ නැහැ කියලා. මම කතාකරලා වැඩ කරන්න යනකොට, ඔන්න කොහේ හෝ තැනක හිරවෙලා. වැඩ කරන කොට සාමුහික එක`ගත්වය ගන්න බැරිව ගියාම වැඩ කරන්න බැහැ. නවතිනවා. මම වැඩ කරන්න ඕන රටේ තිබෙන ව්‍යවස්‌ථාව අනුවයි. කොච්චර විවේචන එල්ල වුණත්, මම මට කරන්න පුළුවන් උපරිම ජනතාව වෙනුවෙන් ඉටු කරනවා. ඒ විවේචනවලට මම ගැස්‌සෙන මිනිහෙක්‌ නෙමෙයි. මගේ දේශපාලන ජීවිතයේ එහෙම ගැස්‌සීම් නැහැ.

– Divaina

29 views

19 Comments to “මහනුවර කලහයේදී දේශපාලන ලකුණක් ගහගෙන බේරුණු කඩ ගැන ප්‍රචණ්‌ඩත්වය පිටුපස රහස්‌ කතාව ජනපති හෙලි කරයි..”

  1. indunil says:

    prayogika awunsayaka wada ratata awasiya,,,,,,,,,,,

  2. podivije says:

    පිචිචුන කඩවලත් ඒ ලකුණ තිබුනාදැයි කියන්න දන්නේ කවිද ඒ වා පිචිචිලාන‍ේ ගොන් රජෝ අර කඩෙි විතරක් නොවෙයි හැම කඩෙිකම ඒ ලකුණ තිබුනා චන්දෙ කාලේ පොස්ටර් නොගහපු කඩයක් හොයාගන්න අමාරැවුනා ඒතරමටම පොස්ටර් මෙි ගොන් රජා තමන්ගේ අඩුව වහගන්න දැන් බොරදියේ මාලු බානවා !

Main News