මහනුවර මහ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කරයි..

March 26, 2019 at 2:06 am | lanka C news
මහනුවර මහ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කරයි..

මහනුවර මහ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මහනුවර මහ රෝහලේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය සොයාබැලීම සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග පැවැත් වූ සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

විශේෂඥ වෛද්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය රාජකාරී ඉටු කිරීමේ දී මුහුණ දී ඇති ගැටලු මෙහිදී ඉදිරිපත් කළ අතර, එම ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යවරයා විසදුම් ලබාදෙන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

“මහනුවර මහ රෝහලේ රුපියල් මිලියන 7000 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. පිළිකා වාට්ටු සංකීර්ණය, තැලසීමියා වාට්ටු සංකීර්ණය සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඒ අතර ප්‍රධාන වෙනවා. මෙම ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබදව විමසා බැලූ අතර, පැවැති ගැටලු වලට විසදුම් ලබාදුන්නා. මහනුවර මහ රෝහල ජාතික රෝහලක් ලෙස සංවර්ධනය කරන අතර, එම රෝහලේ බද්ධ කිරීමේ සැත්කම් රැසක් ද ආරම්භ කර තිබෙනවා. දැනට කොළඹ ජාතික රෝහලේ නොකෙරෙන බද්ධ සැත්කම් ද මෙම රෝහලේ සිදු කරනවා. නව සංවර්ධන ව්‍යාපෘති අවසන් වන විට මෙම රෝහලේ ඇදන් සංඛ්‍යාව 3200 ඉක්මවනවා. මෙම රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට ද මම බලාපොරොත්තු වෙනවා. ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට කොන්ත්‍රාත් සමාගම් වලට මම උපදෙස් ලබාදුන්නා.”

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මහනුවර මහ රෝහලේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති නිරික්ෂණ චාරිකාවකට ද එක්විය.

ප්‍රසන්න අධිකාරී

4,552 Viewers
Main News