මහමඟ දමා යන වැඩිහිටියන්ගේ දේපොල ඥාතීන්ට ගත නොහැකි වනසේ රාජසන්තක කරන්න යෝජනා…

October 31, 2016 at 8:02 am | lanka C news
මහමඟ දමා යන වැඩිහිටියන්ගේ දේපොල ඥාතීන්ට ගත නොහැකි වනසේ රාජසන්තක කරන්න යෝජනා…

භාරකරුවන් නොමැතිව මහ මඟ දමා යන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්කර, ඔවුන් හට කිසියම් දේපොලක් වේ නම් ඒවා රාජසන්තක කල හැකි වනසේ නීති, රීති සකස් කල යුතු බව ඇමැති එස්.බී.දිසානායක මහතා පවසයි.

මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්වීමෙන් පසු එම නිවාස වලදී මියයන වැඩිහිටියන්ගේ දේපොලවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටළු රාශියක් ඇතිවී තිබෙන බව අනාවරනය වීමෙන් මෙවැනි පියවරක් ගත යුතු බවට ඇමැතිවරයා යෝජනා කලේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වූ පලාත් සමාජසේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදීය.

මෙසේ භාරකරුවන් නොමැතිව මහ මඟ දමා ගොස් තිබියදී හමුවන වැඩිහිටියන් සමාජසේවා දෙපාර්තමේන්තුව හරහා වැඩිහිටි නිවාස යටතට පත්කල පසුවත් ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් නොවන ඥාතීන්, එවැනි වැඩිහිටියන් මියගිය පසු ඔවුනට හිමි දේපොල වලට අයිතිවාසිකම් කීමේ ප්‍රවණතාවයක් බස්නාහිර පලාතෙන් වාර්තාවන බව සමුළුවට සහභාගී වූ බස්නාහිර පලාත් සමාජසේවා නිලධාරීහු ඇමැතිවරයා දැණුම්වත් කළහ.

මහ මඟ තනිකර යන එවැනි වැඩිහිටියන් හමුවූ විට පුවත්පත් දැන්වීම් මගින් ඔවුනගේ ඡායාරූප හා විස්තර මුලින් ප්‍රසිද්ධ කර ලඟම ඥාතීන් පිළිබඳව මූලික සොයා බැලීමක් කළ යුතු බව පෙන්වා දුන් ඇමැති දිසානායක මහතා එවිට ඉදිරිපත් නොවන ඥාතීන් හට පසුව දේපොළ වලට හිමිකම් කිව නොහැකි වනසේ නීති රීති සකස් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

– සංජය දසනායක

35 views
Main News