මහා පරිසර විනාශයක් ගැන බොරු සමාජගත කරන මෙහෙයුමක්.. පුද්ගලික මාධ්‍ය පෙරමුණේ.. අසත්‍ය පතුරුවන්නන්ට නීතිමය පියවර…

September 29, 2020 at 3:31 am | lanka C news
මහා පරිසර විනාශයක් ගැන බොරු සමාජගත කරන මෙහෙයුමක්.. පුද්ගලික මාධ්‍ය පෙරමුණේ.. අසත්‍ය පතුරුවන්නන්ට නීතිමය පියවර…

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවූ අයුරින් පරිසරය විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියැවෙන අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනා ගැනේ.

රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙළන බවටත්, මේ අසත්‍ය වාර්තා මගින් හුවා දක්වනු ලැබේ. මින් පෙර කිසි කලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට මේ පුවත් නිර්මාණය කරන අය උත්සහ කරති. එවැනි වාර්තාවල මුලුමනින් අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇත.

පරිසර විනාශයක් ගැන කියැවෙන අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මෙසේ පළ කෙරෙන පුවත් අසත්‍ය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කර ගැනේ. පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කරනු ලැබේ. විපක්ෂ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවෝ මේ අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් දෙති. ඔවුන්ගේ රැස්විම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලදී අසත්‍ය පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කෙරේ.

මහවැලි අධිකාරියට අයත් “එච්” කලාපයේ, අනුරාධපුර, ඉහලතලාව වැව ප්‍රතිසංස්කරණයේ දී දැවැන්ත වන විනාශයක් සිදුවන බවට චෝදනා කරමින් පෞද්ගලික රූපවාහිනි ආයතනයක් පසුගිය සැප්තැම්බර් 15 දින සිය ප්‍රවෘත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබූ වාර්තාව අසත්‍ය පුවත් ගොතා සමාජගත කිරීමේ මෙහෙයුමට කදිම නිදසුනකි. වන විනාශයට අමතරව බරපතළ දූෂණ ක්‍රියා සිදුවන බවට ද එමගින් චෝදනා කරනු ලැබීය.

පෞද්ගලික රූපවාහිනිය පළ කළ පුවත මුලුමනින් අසත්‍යයක් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ “එච්” කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කල්‍යාණ කුමාර මහතා සැප්තැම්බර් 17 වැනිදා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සාක්ෂි සහිතව දැනුම් දුන්නේය. එහි සඳහන් පරිදි 2016 වසරේ ඇති වූ මහ වැසි නිසා ඉහළතලාව වැව් බැම්ම කැඩී යාමේ අවදානමක් ඇති විය. යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට තබා වැව් බැම්ම තාවකාලිකව රැක ගන්නා ලදී. බැම්ම බිඳී ගියහොත් තලාව නගරය සහ පුරාණ ගම්මාන මුලුමනින් ජලයෙන් යට වෙයි. කොළඹ – යාපනය දුම්රිය මාර්ගයට සහ අනුරාධපුර – පාදෙනිය මහාමාර්ගයට බරපතළ හානි පැමිණේ.

පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව ප්‍රතිසංස්කරණය පිණිස ලෝක බැංකුවෙන් රුපියල් මිලියන 38.9ක ආධාර මුදලක් ප්‍රදානය කෙරිණ. ව්‍යාපෘතියේ වැඩ පසුගිය ජූලි මාසයේ දී ආරම්භ විය. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය බැංකුව විසින් අධීක්ෂණය කෙරේ.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දී වැවේ සහ වැව් බැම්ම මත වැඩී ඇති ගස් 80ක් ඉවත් කිරීමට තීරණය විය. ඒ සියල්ලම පාහේ මාර ගස්ය. ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් සහතික මෙන්ම භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ද ලැබී ඇත. අනුමැතිය දුන් ලිපිවලට අත්සන් තබා ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන සහ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජනේරු ඩී.සී.එස්. ඇලකන්ද යන මහත්වරුන් විසිනි. කපා දැමෙන ගස් රාජ්‍ය දැව සංස්ථාව විසින් ඉවත් කර ගනිමින් පවතී.

වැව ප්‍රතිසංස්කරණයේ දී මහා වන විනාශයක් සිදුවන බවට චෝදනා කළ පෞද්ගලික රූපවාහිනී ආයතනය මේ සත්‍ය තොරතුරු කිසිවක් සඳහන් කළේ නැත. ජනතාව නොමග යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට විවිධ මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පිරිස් හඳුනාගෙන ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

36,363 views

24 Comments to “මහා පරිසර විනාශයක් ගැන බොරු සමාජගත කරන මෙහෙයුමක්.. පුද්ගලික මාධ්‍ය පෙරමුණේ.. අසත්‍ය පතුරුවන්නන්ට නීතිමය පියවර…”

  1. nim says:

    රෙද්ද අස්සේ නයි දාගන බොරුවට media වලට දොස් පවරන්න එපා ජනාධිපති තුමා. අර පුත්තලමේ එකා මන්ද බුද්ධික ද ?

  2. karu says:

    මිනිස්සු ඉන්නේ කෝපි කාලේ නෙමෙයි…හරි දේ කරනවානම් …මිනිස්සු හරියට දැනුවත් කරනවානම් …කිසිමදෙකට බයවෙන්න ඕනා නැහැ ..ඔය පොල්මනින කේස් එකත් එහෙමයි …පොල් වර්ග කරන්න මැෂිමක් හරි …කිලෝ විකුනන්න සෙට් කලානම් කිසි එකෙක් හිනා වෙන්නේ නැහැ ..

  3. manoj says:

    “මේ තලාවේ සිද්ධියට සියලු පරිසර විනාශයන් ලඝුකර පෙන්වන්න එපා,, සත්‍ය වශයෙන්ම පරිසර විනාශය කීප ගුණයකින් වැඩි වී තිබෙනවා,
    ඔබ විසින් කරන මේ නිවේදන මගින් සිදු වන්නේ සත්‍ය පරිසර විනාශ ගැන කරන පැමිණිලි ගැන පරීක්ෂණ කිරීමට නිලධාරින් බිය වීමයි.”

  4. දුටුගැමුණු says:

    චන්ද කාලය පුරාවටම ගොවීන්ගේ වගාපාලු පෙන්වා ජනතා මතය වෙනස් කිරීමට වෙර දැරූ සිරස දුශ්ට මාධ්‍ය ජාලය එය අසාර්ථක වූ කල දැන් බොරු බේගල් වනාන්තර විනාශ පෙන්වා ජනතාව කුපිත කිරීමට උත්සාහ කරනු පෙනේ මේ පිලිබදව රජය දැඩි පියවරක් වහා ගත යුතුය

  5. රාවණා says:

    සිරස මෑතක සිට නව ජවයකින් ගම්මැද්ද නමින් කලු ඇදගත් පුද්ගලයන් ගම්මාන තුලට යවා ගම්මුන්ගේ ප්‍රශ්න විසදන මුවාවෙන් අනාගත ඩයස්පෝරා දේශපාලන සංවිධාන පිහිටුවමින් සිටී. මේ ගැන රජයේ බුද්ධි අංශ සැලකිලිමත් විය යුතුය

  6. Ranjith(SPRRW) says:

    Repetition of 1977 tactics against Mrs. B by opposition. Counter attacks needed very badly.

Main News