මහින්ද මාස 09ක් කල වැරැද්ද රනිල් අවුරුදු තුනහමාරක් කරයි..

August 30, 2018 at 11:20 am | lanka C news
මහින්ද මාස 09ක් කල වැරැද්ද රනිල් අවුරුදු තුනහමාරක් කරයි..

දේශපේ‍්‍රමී වෘත්තීයවෙිදි සංසදය කොළඹ දි කැදවා තිබු මාධ්‍ය සාකච්ඡාවකදි ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ අදහස් පල කලේය.

කොලඹ කොටස් වෙළඳ පොල වර්තමානයේ මුහුනපා තිබෙන කනගාටුදායක තත්වයට රජය ඍජුවම වග කිව යුතු හේතු රැසක් ඇත. රජයේ දුර්වල ආර්ථික කලමනාකරනය මෙන්ම කොටස් වෙළඳ පොල නියාමනය සඳහා කල වැරදි තෝරාගැනීමද වත්මන් අර්බූදයට හේතුවූ කරුණු අතර වේ.

මහින්ද රාජපක්ෂ යුගයේ කල පත්වීම අතර ඉතා හොඳ මෙන්ම ඉතා නරක පත්වීමද තිබුන බව අපට ප්‍රතික්ෂේප කල නොහැකි යථාර්ථයකි. 2011 -2012 සමයේ මාස 9 ක් කොටස් වෙළඳ පොල නියාමනය කල තිලක් කරුණාරත්න එක් වැරදි තෝරාගැනීමකි. විශ්‍රාමික දේශපාලනඥ්යෙක් වූ කරුණාරත්න, එම මාස 9 තුල හැසිරුනේ දැලි පිහිය අතට ගත් වඳුරෙකු මෙනි. ඔහු තම තනතුර භාවිත කලේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තම පැරණි සතුරන් හා තමුන් ඊර්ෂ්‍යා කල පුද්ගලයින්හට හිරිහැර කිරීමටය.ආයෝජකයින්ට තම නියාමක බලය පෙන්වීමෙන් ඔහු ඉමහත් ආත්ම තෘප්තියක් ලබන බවක් පෙනුනුනි. මෙහි ප්‍රතිපලය වූයේ බොහෝ දේශීය ආයෝජකයන් කොටස් වෙළඳ පොලෙන් ඉවත් වන්නට පටන් ගැනීම නිසා වෙළඳ පොල කඩා වැටීමය. බොහෝ දෙනෙකු ජනාධිපතිවරයාටද මේ ගැන පැමිණිලි කලහ. තම අතින් වැරදි පත්වීමක් සිදුවී ඇති බව කඩිනමින් වටහා ගත් ජනාදිපතිවරයා 2012 ජූනි මස කරුණාරත්නට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේය.කොටස් වෙළඳපොල නියාමක ලෙස මා පත්කරනා ලදී. එම පත්වීම මා අකමැත්තෙන් බාරගත්තේ පලමුවර ප්‍රතික්ෂේප කොට ජනාධිපති තුමාට බෑ කියන්නට බැරි නිසා දෙවන වරය.

තිලක්ගේ නික්ම යාමෙන් පසු 2012 ජූනි මස සිට 2014 දෙසැම්බර් දක්වා කාලය තුල මගේ සභාපතිත්වය යටතේ කොටස් වෙළඳ පොල යලිත් ඉතා ඉහල වර්ධනයක් අත්කරගත් බව ආර්ථික දත්ත හදාරන අයෙකුට පෙනීයනු ඇත. මේ වසර 2 1/2 තුල කොටස් වෙළඳ පොල ප්‍රාග්ධනීකරණය රුපියල් කෝටි 93,730 කින් වර්ධනය විය. කෝටි 2012 වසරේ රුපියල් කෝටි 88.4 ක් වූ කොටස් වෙළඳපොල දෛනික පිරිවැටුප 2014 වන විට රුපියල් කෝටි 141. 5 දක්වා ඉහල ගොස්තිබුනි. කොළඹකොටස් වෙළඳ පොල 2014 වර්ෂයේ 26.4% ක ඉහල ප්‍රතිලාභයක් අයෝජකයින්ට ලබා දුන් 2014 දී කොලඹ කොටස් වෙළඳ පොල ආසියාවේ තිරසාරම කොටස් වෙළඳ පොල ලෙස සම්මානයක්ද ලැබීය.

වැඩබැරිකම නිසා ඉවත් කරනු ලැබූ කරුණාරත්න සිටියෙ වෛරයෙනි. ඔහුට අවශ්‍යවූයේ කෙසේ හෝ තම පැරණි තනතුර ලබාගෙන තමුන්ගෙන් පසු කොටස් වෙළඳ පොල සාර්ථකව මෙහයවූ අයට පාඩමක් උගන්වන්නටය. මන්ද ඒ සාර්ථකත්වයෙන් ඔප්පු වී තිබුනේ ඔහුගේ අසාර්ථකත්වය නිසාය. ඒ නිසා ඔහු කලේ 2015 ජනාධිපතිවරන සමයේ පොදු අපේක්ෂකයාට සහාය පල කිරීමය. කොන්දේසිය වූයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කලහොත් යලිත් කොටස් වෙළඳ පොල නියාමක තනතුර ඔහුට ලැබිය යුතු බවය.

අගමැති රනිල් වික්‍රමසිංහ මේ පොරොන්දුව ඉටුකලේ දුරදිග නොසිතාය. දේශපාලන පලිගැනීම රැසක් සැලසුම් කරගෙන බලයට ආ ඊනියා යහපාලන රජය කරුණාරත්න දුටුවේ ඔවුන්ටම ගැලපෙන සහකරුවෙකු ලෙසය.

2018 මැද වන විට තිලක් කරුණාරත්න යහපාලන රජය යටතේ වසර 3 කටත් වඩා කොටස් වෙළඳ පොල නියාමන කර තිබුන අතර සැලසුම් කරගෙන පැමිනි පලිගැනීම් වලින් කිහිපයක් ක්‍රියාත්මක කිරීම හැරුනු විට ඔහු රටට කල දෙයක් නැත.

එදා පුවත් පත් වලට සාකච්ඡා දෙමින් කොටස් වෙළඳපොල වංචා ගැන නැගූ එකම චෝදනාවක්වත් ඔප්පුකිරීමට ගෙදර යන තුරුම ඔහුට නොහැකිවිය. කයිවාරු ගැසු ආකාරයට PUMP AND DUMP බිල්ලන් අල්ලාදීමට ඔහු අසමත් විය.

පාඨකයින් මතක තබා ගත යුතු කාරණයක්නම් මේ PUMP AND DUMP චෝද්නාව කොහොමට තිබුනේ ඔහුගේ පාලන කාලයට සම්බන්ධව වීමය. 12 ජූනි සිට 2014 දෙසැම්බර් කාලය තුල එවනි කිසිදු චෝදනාවක් කොටස් වෙළඳ පොලට එල්ල වූයේ නැත.

2014 -2017 කාලය තුල කොටස් වෙළඳ පොල සමස්ත මිළ දර්ශකය 7299 සිට 6369 දක්වා පහත වැටුන තිබුන අතර 2014 දී ලබා දුන් 25.3 % ප්‍රතිලාබ වෙනුවට 2017 දී කොටස් වෙළඳ පොල ලබුවේ 1.3% ක සුලු ලාබයකි. කොටස් වෙළඳපොල ප්‍රාග්ධනීකරනය මේ වසර 3 තුල වර්ධනය වෙනවා වෙනුවට රුපියල් කෝටි 21,500 කින් පහත වැටුනි. ඉන් පෙනී යන්නේ පසුගිය වසර 3 තුල කොටස් වෙළඳපොල ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත් වී ඇති බවයි.

මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යටතේ කරුණාරත්න කොටස් වෙළඳ පොල නියාමනය කල වාර දෙක තුල කොටස් වෙළඳ පොල ප්‍රාග්ධනීකරණය රුපියල් කෝටි 58,000 කින් පමණ අඩු විය. වෙනත් වචනවලින් කියනවා නම් විවිධ ආයෝජකයින් මෙම කාලය තුල කොලඹ කොටස් වෙළඳ පොල හරහා ලැබූ පාඩුවල විශාලත්වය ඒ හා විශාලය.

මේ පාඩුවලට කරුණාරත්න පමනක් නොව එවැනි වැඩබැරිදාස කෙනෙකුට මෙතරම් වග කිවයුතු රාජකාරියක් බාරදුන් අයත් වගකිව යුතුය.

මුලින්ම තිලක්ව කොටස් වෙළඳ පොල නියාමනයට ගෙන ආ මහින්ද රාජපක්ෂ, මාස 9 ක් වැනි සුලු කලකින් තමන්ට වැරදුන බව වටහා ගෙන වරද නිවැරදි කලේය.

එහෙත් එම වරදම දැන දැන කල රනිල් වික්‍රමසිංහ වසර 3 1/2 ක් පුරාවට කොටස් වෙළඳ පොලට සිදුවෙමින් පැවති හානිය නුදුටුවා සේ සිටියේය.

දැන් තිලක් කරුණාරත්න ගෙදර ගොස් ඇත. ඔහු පලමු වර මාස 9 කුත් දෙවන වර මාස 42 කුත් කොටස් වෙළඳ පොල අවකලමණාකරනය කලේය.මේ කාලයේ කොටස් වෙළඳ ආයෝජකයින්ට රුපියල් කෝටි 58,000 කින් පමණ පාඩු සිදු විය ඔහු වෙනුවට පත්ව ආ අයටද කොටස් වෙළඳපොල ගොඩ ගන්නා ආකාරය ගැන කිසිදු අවබෝදයක් ඇති බවක් නොපෙනේ. රජයේ ආර්ථික කලමණාකරන දුර්වලතාව නිසා ඔවුන්ට කල හැකි දෑ කොහොමටත් සීමිතය. ඒ කල හැකි දේවලුත් මොවුහු නොදනිති.

ආයෝජකයන් කී දෙනෙකුගේ මුදල් මේ අය නිසා විනාශ වී ඇත්ද ?

– චාමින්ද කරැනාරත්න

103 views

2 Comments to “මහින්ද මාස 09ක් කල වැරැද්ද රනිල් අවුරුදු තුනහමාරක් කරයි..”

  1. HUNA says:

    Thilak Karunarathne – thawath eka Hela karumayak.

  2. bathiya says:

    කොල්ලනේ අපේ හොරකම් සියල්ල හෙලිවෙලා ඉවරයි. ආණ්ඩුව දැන් නඩු දැම්මොත් මෙච්චරකල් අපි පොරවගෙන හිටපු සිල් රෙදි ගැලවෙනවා. අපි පොරවගෙන හිටපු දේශප්රේනමි රෙදිත් ගැලවෙනවා. අපේ ඇත්ත හෙලිවුනොත් රටේ ජනතාව අපිට ආයෙත් ඡන්දෙ දෙන්නෙ නැහැ. ඒ නිසා අපි සියළු දෙනාම සිරගත වෙන්න කලින් මේ ආණ්ඩුව පෙරලලා ඉක්මණින්ම ආණ්ඩු බලය අරගෙන මේ උසාවි ටික වහලා දාලා නඩු වලින් බේරෙමු. ඒ හින්දා සැප්තැම්බර් 5 වෙනිදා කොළඹට වරෙල්ලා. කොළඹ ඇවිල්ලා අපි හිරේ යාමෙන් බේරාගනිල්ලා.

Main News