මහින්ද ලංකා වාර්තාවක් ආසන්නයේ.. ලෝක වාර්තාවක්ද විය හැකියි..

July 24, 2020 at 12:00 pm | lanka C news
මහින්ද ලංකා වාර්තාවක් ආසන්නයේ.. ලෝක වාර්තාවක්ද විය හැකියි..

හැමදාමත් හරි පැත්තේ හිටගත් නීතිඥ උදය ගම්මන්පිල මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණ සදහා නම්කිරීමේ දී ද මූලිකත්වයක් දැරුබව තම විශ්වාසය යැයි අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් සදහන් කර සිටියේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොලොන්නාව සාලමුල්ලේ දී පැවති ජන රැළියක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා එක පැත්තකින්. මේ දෙකට කැඩිලා දෙපැත්තට වෙලා සජිත්ගෙ පිලයි රනිල්ගේ පිළයි කියලා එනවා. එකට ඉඳලා දිනන්න බැරි නම් දෙකට කැඩිලා දිනන්න පුළුවන් ද කියන ප්‍රශ්නය තමයි අපිට අහන්න තියෙන්නෙ. මේ දෙන්න දෙපැත්තට වෙලා අද ගහගන්නවා. අපිට පේනවා සජිත් ප්‍රේමදාස මේ පැත්තට ආවේ හම්බන්තොට අත්හැරලා. හම්බන්තොටින් අත්හැරියේ එතුමා දැනගත්තා හම්බන්තොටින් ඉල්ලුවොත් පැරදෙනවා කියලා. දැන් එයා හිතනවා කොළඹට ඇවිල්ල දිනාගන්න පුලුවන් වෙයි කියලා. මේ මැතිවරණය අපි ජයග්‍රහණය කිරීම සඳහා කිසිම ගැටලුවක් නෑ. ඒත් අපිට ඕනෑ වැඩිම තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න. කොළඹ දිස්ත්‍රික්කය තුළත් මන්ත්‍රී සංඛ්‍යාව තුනෙන් දෙකක් ලබා ලබාගැනීමේ පරමාර්ථයෙන් තමයි අපි සටන් වදින්නේ.

අපි සන්තෝෂ වෙනවා ගම්මන්පිල මහත්තයා ගැන හැමදාම අපිත් එක්ක හිටියා. නිවැරදි පිලේ. මහින්ද සුළඟ ආපු අවස්ථාවේ නුගේගොඩ රැලියේදී විතරක් නෙවෙයි ඊට ප්‍රථම මාව මුණගැහිලා මේකට තරඟ කරන්න ඕන කියලා එතුමාගේ අදහස් ප්‍රකාශ කරලා මං හිතන්නේ මුලින්ම ප්‍රකාශ කරපු අයගෙන් එක්කෙනෙක් තමයි ගම්මන්පිල මහත්තයා.

ගම්මන්පිල මහත්තයා නිවැරදි පැත්තෙ හැමදාම හිටගත්තා. විශේෂයෙන්ම මෙතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් කිරීමේ දී මූලිකත්වයක් දැරුවයි කියලයි මං විශ්වාස කරන්නේ.

අපි ඉන්නකොට අපිට නඩු දැම්මා. මේ මෙතුමාටත් නඩුවක් දැම්මා. කවුරුවත් අත ඇරියේ නෑ පලිගැනීම විතරයි කලේ. වෙන කිසි දෙයක් පහුගිය ආණ්ඩුවෙන් කරයි කියලා කියන්න බෑ. හැම එකම කළේ පලිගැනීමක් තමන්ට වචනෙකින් හරි විරුද්ධ වුණා නම්. මම හිතන්නේ මම කොමිසන් දෙකකට ගියා ඔබතුමත් ඇවිල්ල පෙනී සිටියා. ඉතිං ඒ විදිහට තමයි අපිට පහර දුන්නේ. ගිය ආණ්ඩුවේ කාලය පුරාම කළේ අපෙන් පලිගැනීම. පෞද්ගලිකව පවුලෙන්, අපිත් එක්ක හිටපු හැම ඇමතිවරයෙක්ම අධිකරණය ඉදිරියට ගේන්න හිරේ දාන්න පියවර ගන්න ඔවුන් පසුබට උනේ නෑ. ඉතින් මෙවැනි තත්වයක් තමයි තිබුනෙ අපිට. මෙවැනි අවස්ථාවලදී විශේෂයෙන්ම අධිකරණයේදී අපේ අය වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන් වෙනුවෙන් කතා කරපු නායකයෙක් තමයි උදය ගම්මන්පිල කියන්නේ. ඒ නිසා උදේ ගම්මන්පිළ අපිත් එක්ක ඉන්න ඕන, උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. පාර්ලිමේන්තුවේ ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳ කතා කරන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකදී නැගිටලා උත්තර දෙන්න පුළුවන් මන්ත්‍රිරීවරයෙක් වශයෙන් විපක්ෂයේ ඉන්න කාලයේ ඔප්පු කරල තියෙනවා. ඒ වගේම ඔහු පළාත් සභාවේ හිටපු ඇමතිවරයෙක් පරිසරය පිළිබඳ කතා කරලා තියෙනවා හැකි හැම අවස්ථාවකම. පරිසරය රැකගන්න පරිසරය ආරක්ෂා කරන්න ඔහු හැම වෙලාවෙම පෙනී හිටියා කියන එකත් අමතක කරන්න එපා.

නීතිඥ උදය ගම්මන්පිල මහතා

ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබ තුමා මේ 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ අගමැති වෙන්න යන්නේ තුන්වැනි වතාවටයි. ඔබතුමා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවන්න ඔන්න මෙන්න ඉන්නේ. සමහර විට ගරු අග්‍රාමාත්‍යතුමනි මෙය ලෝක වාර්තාවක් වෙන්නත් බැරි නෑ. එකිනෙකට ලඟින් තියෙන වසර තුනක් අඛණ්ඩව අගමැති කෙනෙක් වූ කෙනෙක් ලක් ඉතිහාසයේ නෑ. ලෝක ඉතිහාසයේත් නෑ. 2018 අගෝස්තු මාසෙ 26 වෙනිද ඔබතුමා මේ රටේ අගමැති ධූරයට පත් වුණා. 2019 නොවැම්බර් මාසේ 19 වැනිදා ඔබතුමා මේ රටේ අගමැති ධුරයට පත් වුණා. ගරු අග්‍රාමාත්‍යතුමනි අගෝස්තු මාසේ 07 වෙනිදාට නියත අගමැති ඔබතුමා කියල හරි විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා.

ඇත්තෙන්ම ඔබතුමාත් බලාපොරොත්තු නොවන ගමනක් ආවේ. ඔබතුමා ඒ පැමිණි ගමනට මට දායක වෙන්න හැකි වීම ගැන මම සතුටු වෙනවා. පුංචි සිද්ධියක් මතක් කලොත් මහාචාර්ය ජී එල් පීරිස් මහත්මයා ඒක සිහිපත් කළා. මම මුලින්ම 2015 ජනවාරි 13 වැනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ අගමැති අපේක්ෂකයා කරගන්නවා කියලා කිව්වම ඒක රාත්‍රී ප්‍රවෘත්තිය ගිහිල්ලා ජනතාව මෙතුමාගේ අහද්දි රෑ දහයට විතර මෙතුමා මට කතා කළා. උදය ඔයා මම මේ අගමැති අපේක්ෂකයා විදියට ගේනවා කියලා කියලා තියෙනවා. මගේ නම් අදහසක් නෑ ආයෙ දේශපාලනයට එන්න. ආයෙත් නම් ඔය කතාව කියන්න එපා කියලා කිව්වා. මම එතකොට පුංචි නීති ගැටයක් ගහලා කිව්වා ජනාධිපති තුමනි මම කිව්වේ නෑ ඔබතුමාගේ අදහසක් තියෙනවා කියලා. මං කිව්වේ මගේ අදහසක් තියෙනවා කියලා. මං මගේ අදහස දිගටම කියාගෙන යන්නම්. ඔබතුමා එන්නෙ නෑ කියන අදහස ඔබතුමා දිගටම කියාගෙන යන්න. ඡන්දය ආවහම දෙකෙන් එකක් වෙයිනෙ කියලා. දැන් ගරු අග්‍රාමාත්‍යතුමනි වරක් නොව අපිට පුළුවන් වුණා ජාතියේ අපේක්ෂාව ඉටු කරන්නට ඔබතුමාව තුන් වරක්ම මේ දේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න.

ජාතියේ පිනටයි ඔබතුමා මේ රටේ අගමැති වුනේ. 19 සංශෝධනය ගෙනාපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියනවා 19 සංශෝධනය නිසා ජනාධිපති අගමැති අතර ගැටුමක් මිසක් රට ඉදිරියට යන්නේ නෑ කියලා. දහනව වැනි සංශෝධනය කෙටුම්පත් කරපු එම් ඒ සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා කියනවා 19 සංශෝධනය අසම්පූර්ණ වැඩක් ඒකෙ ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා කියලා.19 පීතෘවරුන්ටම අද 19 ප්‍රශ්නයක් වෙලා. 19 කියන්නේ අවජාතක දරුවෙක්. මේකෙන් විධායක ජනාධිපතිතුමන්ට තිබුණු බලය කොටස් තුනකට බෙදලා ටිකක් ජනාධිපතිට තියලා තව ටිකක් අගමැතිට තියලා තවත් ටිකක් කතානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවට දීලා. අපි අහල තියෙනවා හිස් දෙකේ පක්ෂියෙක් ඉන්නවා කියලා බේරුන්ඩ පක්ෂියා කියා හදුන්වන. මේකට හිස් දෙකක් නෙවෙයි තුනක් තියෙනවා. කොයි පැත්තට වත් ගමන් කරන්න බෑ. ඇමරිකාවේ පර්යේෂණ ආයතනයක් වන Heritage foundation කියනවා පහුගිය අවුරුදු පහේ ලංකාව එක තැන පල් වුනේ ජනාධිපති ගේ සහ අගමැතිගේ කඹ ඇදිල්ල නිසා කියලා. ජාතියේ වාසනාවට අයියා මලෝ දෙදෙනෙක් තෝරාගත්තා ජනාධිපති සහ අගමැති විදියට. සමහර අයියලා මල්ලිලා ඉන්නවා ඉනි වැටටත් මිනී මරාගන්නවා. නමුත් ඔබතුමා හා ජනාධිපතිතුමාත් මම ඉතාමත් පෞද්ගලිකවම දන්නවා මේ හැත්තෑ එක් වසර තුලම කවදාවත්ම මතභේදයක් ඇති කරගත්තේ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපතිතුමන්ට තිබෙන ආදරය බලාගන්න ඕනි නම් එතුමට බෝම්බය වැදුණු වෙලාවේ බදාගෙන ඉන්න පින්තූරයේ මෙතුමාගේ මූනේ තියෙන හැඟීම් දෙස බලන්න. එතුමා තමන්ගේ දරුවෙක්ට වඩා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි. හැබැයි හැමදාමත් මෙතුමන්ලා දෙන්නට ජනාධිපතිධූරයේ සහ අගමැති ධූරයේ ඉන්න බෑ. අනාගතයට ගැලපෙන්න අපි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන.

මේ ව්‍යවස්ථාව වෙනස් කරන ස්වර්ණමය යුගය අද උදාවෙලා තිබෙනවා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙළ නිසා. අද විපක්ෂයත් ඉන්නෙ ආණ්ඩුව ගැන ප්‍රසාදයෙන්. විපක්ෂය දෙකට කැඩිලා ඒ නිසාම එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඡන්දය නොදෙන්න තීරණය කරලා. තවත් පිරිසක් අද අපිට එකතු වෙලා. ඒ නිසා තුනෙන් දෙකේ බලයක් අරගෙන මේ 19වැනි සංශෝධනය විතරක් නෙවෙයි, සජිත්ගේ තාත්තා විරුද්ධ වුණු ඒත් සජිත් රකින්න පොරොන්දු වෙන දහතුන්වැනි සංශෝධනයේ විසකුරු දත් විතරක් නෙවෙයි, මේ රටට බහුබූත ව්‍යවස්ථාවක් කියලා හැමෝම කිව්ව පවතින ව්‍යවස්ථාව උස්සලා පොලේ ගහලා අලූත් ව්‍යවස්ථාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රතිඥාව අපි ජනතාවට ලබා දෙනවා. ඒ දේ ඉටු කරන්න නම් කොහොමත් දිනන ඡන්දය කියන නිශ්ශබ්දව ඉන්නේ නැතුව හැමෝම ඡන්දපොළට ගිහිල්ල ඔබේ චන්දය දුන්නොත් පමණමයි ජනතා අභිලාෂයන් ඉටු කරන එක රටක් එක නීතියක් කියන එක යථාර්ථයක් කරන නැවුම් ව්‍යවස්ථාවක් අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා.

අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන් වරක් නොව දෙවරක්ම මා හා පවසා තිබෙනවා අර වසර පහක් බලය නැතුව අපි හිටපු එක හොඳ දෙයක් කියලා. බොහොම වටිනා අත්දැකීමක් කියලා. මම ඇහුවා ඔබතුමා ඇයි එහෙම කියන්නේ කියලා. එයට එතුමා දුන්න පිළිතුර තමයි බලය නැති විට තමයි අපට අපේ කල්‍යාණ මිතුරන් කවුද කියලා හදුනාගන්න පුළුවන් කියන එකයි. බලය තියෙන විට හැමෝම අප වටා එකතු වෙනවා. නමුත් බලය අහිමි වීමේ දී එකිනෙකා අතහැරලා යනවා. ඒ අමිහිරි කටුක අත්දැකීම් සහිත අතීතය තුළ මහින්ද රාජපක්ෂ මහතා තනි කරලා නොගිය චරිතයක් තමයි උදය ගම්මන්පිල මැතිතුමා.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය –

නීතිඥ උදය ගම්මන්පිල මහතා රටේ නායකයන් තැනූ මහින්ද සුළඟේ පටන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති බවට පත්කිරීමටත්, නැවත මේ රජය පිහිටුවන්නටත් කොන්දේසි විරහිතව තනතුරු තානාන්තර බලාපොරොත්තු නොවී කළ කැපවීම අප අගය කරනවා. ගෝඨාභය රාජපක්ෂයන්ගේ නායකත්වය ඉදිරියට ගෙනයන්න පුළුවන් බලඇණියක් ඔබ ගොඩනඟන්න ඕනෑ පාර්ලිමේන්තුව තුළ. අන්න එතැනදී තමයි ජාතිකවාදී එහෙම නැත්නම් රටට ජාතියට ආගමට ආදරේ කරන සියලු දහමට ගරු කරන, ලාභ ප්‍රයෝජන උදෙසා තමන්ගේ ප්‍රතිපත්ති පාවා නොදෙන අනතුරේදී තමන්ගේ නායකයා අත් නොහැර යන මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්නට ඕනෑ. ඒ නිසා මා ඔබෙන් ඉල්ලා සිටිනවා ඉදිරියේ ද යම් වියසනයක් පැමිණිය හොත් එයට ශක්තිමත්ව මුහුණ දිය හැකි උදය ගම්මන්පිල වැනි මිනිසුන් පාර්ලිමේන්තුවට යවන මෙන්.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නාවලගේ බැනට් කුරේ, හිටපු පළාත් සභා මන්ත්‍රිනි අශෝකා ලංකාතිලක, කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සාලිය වික්‍රමසිංහ යන මහත්වරුන්ද ජන හමුව ඇමතූ අතර මහා සංඝරත්නය සහ ‍කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශිය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා ඇතුළු අතිවිශාල ජනතාවක් මේ අවස්ථාවට එක්වීය.

– අරවින්ද අතුකෝරල

1,694 views
Main News