මාදු ගඟ රක්ෂිතයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරයි..

September 30, 2021 at 4:40 pm | lanka C news
මාදු ගඟ රක්ෂිතයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරයි..

බළපිටිය මාදු ගඟ රක්ෂිතයට අයත් පාතෙගම ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරන බව බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය.

2022 වසරේ බළපිටියේ සිදු කෙරෙන සංවර්ධනය පිළිබඳව බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති බළපිටිය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී බළපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මහතා (ජවිපෙ) මේ බව අනාවරණය කළේය.

වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ සහ බළපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේ දී තව දුරටත් කරුණු දැක් වූ අනුරුද්ධ මහවැලි මහතා මෙසේ ද කීය.

රැම්සා තෙත් බිමක් වන මාදු ගඟේ අක්කර දහ අටක පමණ ප්‍රමාණයක් පවතින නිරෝධාන නීති රීති අවභාවිතා කරමින් කඩොලාන පද්ධතිය කපා දමා විනාශ කරනවා.  බළපිටිය ප්‍රාදේශීය ලේකම්තුමාට මේ ගැන දැනුම් දීමට කාර්යාලයීය දුරකතනයට ඇමතුම් අටක් ගත්තත් කතා කළේ නැහැ. එතුමාගේ පෞද්ගලික දුරකතනයට කතා කළාම විසංධි කළා. ඉන් පස්සේ ඇමතුම් ගත්තේ නැහැ. මේ දිනවල ප්‍රාදේශීය ලේකම්තුමාට පැවරී තිබෙන අධික රාජකාරී නිසා දුරකතනය අමතන්න බැරි වෙන්න ඇති කියල විශ්වාස කරනවා. අදාළ නිලධාරි සියලු දෙනාම මේ සිද්ධිය දන්නවා. කොරෝනා නිසා නිලධාරි අසනීපයෙන් ඉන්නේ. එයින් අයුතු ප්‍රයෝජන ගෙන මෙම පරිසර විනාශය කරනවා. ඒ පිළිබඳව වහා පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

රාජ්‍ය අමාත්‍ය මොහාන්  පී ද සිල්වා මහතා කතා කරමින්, මේ පිළිබඳ සියලු වාර්තා අමාත්‍යංශයට එවන ලෙස ප්‍රාදේශීය ලේකම් තුමාගෙන් ඉල්ලා සිටින බවත් තම අමාතයංශය යටතේ තිබෙන බැවින් ඊට වහා ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් කීය.

රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය ඇමැතිවරයා අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති තුෂාර ජයසේකර මහතා ට පවසා සිටියේ මේ පිළිබඳව නීති රීති පොලිස් ස්ථානාධිපතිවරයාට පැවරී තිබෙන බැවින්  එම විනාශයන් නතර කිරීමට වහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මේ පිළිබඳව බළපිටිය ප්‍රාදේශීය ලේකම් මාලක ජයසිංහ මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

එම කොට්ඨාසය නියෝජනය කරන නිහාල් ද සොයිසා මන්ත්‍රීතුමා කාර්යාලයට පැමිණ මේ ගැන මාව දැනුවත් කළා. ඒ මොහොතෙම අදාල අංශ වලට දැනුම් දී  වහා පියවර ගත් බව ද කීය.

– ජයකාන්ත ලියනගේ

10,366 views

3 Comments to “මාදු ගඟ රක්ෂිතයේ කඩොලාන පද්ධතිය මහා පරිමාණයෙන් විනාශ කරයි..”

  1. baමුනා says:

    අදක්‍ෂ රාජය පාලනය​… incompetent governance

    • Dilan says:

      යහපාලනය තිබුනානම් හරියටම කරනවා අපි හැමදේම කළා වගේ!

  2. නව යොවුන් රාණි says:

    යාකො අපි පුටින් කියලා ගෙනත් තියෙන්නේ චාලි චැප්ලින් කෙනෙක් නේ. රටේ නීතිය වල් වැදිලා.

Main News