මාධ්‍යවේදීන් බිය වී පසුබානවා..

October 7, 2018 at 6:48 pm | lanka C news
මාධ්‍යවේදීන් බිය වී පසුබානවා..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රහාරාත්මක චෝදනා මගින් ජනමාධ්‍යයට හෝ සමාජයට යහපතක් නොවේ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ග්‍රාමීය ජනයා මුහුණ දී සිටින දරිද්‍රතාවයෙහි පැතිකඩක් පිළිබිඹු කරමින් මාධ්‍යවේදී සරත් මනුල වික්‍රම ජාතික පුවත් පතක් මගින් කරන ලද වාර්තාකරණට එරෙහිව රජය දක්වා ඇති ප්‍රතිචාරය කෙරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු වි තිබේ.

`කන්න හයක් ම පාළුයි,වේල් ගණනක් බත් නැතිව අඹු සැමි යුවලක් මුරුංගා කොළ තම්බා ගෙන කාලා´යන මැයෙන් 2018.09.20 දින ලංකාදීපයේ පළමු වරට මෙම පුවත පළවූ අතර, 2018.10.03දින රජය තම මාධ්‍ය භාවිතා කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබිණි .සරත් මනුල පදනම් විරහිතව සාවද්‍ය පුවතක් ගොඩනගා ඇති බවට එමගින් චෝදනා කර තිබේ. එය මාධ්‍යවේදියකුගේ වෘත්තීමය භාවිතය සම්බන්ධයෙන් එල්ල කළහැකි දරුණුම චෝදනාවකි .

මේ පිළිබඳ වැඩිදුර කරුණු  අධ්‍යනය කරමින් සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට මෙතෙක් ඒ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මගින් පැහැදිලි වන්නේ මෙම මාධ්‍යවේදියා හැකිතාක් දුරට ඉහත සිදුවීමෙහි සන්දර්භය මත පිහිටා සත්‍ය වාර්තා කිරීමට උත්සාහ කර ඇති බවයි. කරුණුමය වශයෙන්  හා උද්ධෘතමය වශයෙන් මෙම වාර්තාකරණය පිළිබඳ පුර්ණ තක්සේරුවක් කිරීමට ප්‍රමාණවත් කරුණු දැනට, අප සතුව නැතත් ඔහු ගේ මෙම වාර්තාකාරණය මඟින් ප්‍රකාශිත සමස්ත කතා පුවත වගකිවයුත්තන්ගේ දැඩි අවධානයට ලක් විය යුත්තක් බව අපගේ නිරීක්ෂණයයි. මේ වාර්තාවට පදනම්වන කාන්තාව ඇතුලු එම ප්‍රජාව මුහුණ දි සිටින දරිද්‍රතාව සුලු කොට තැකිය නොහැකි බැවිනී. එසේම ඒ පිළිබඳ සමාජ අවධානය යොමු කිරීම මාධ්‍ය වෘත්තීයෙහි වගකීමක් ද වේ. කරුණුමය නිරවද්‍යතාවය අත්‍යාවශ්‍ය කරුණක් වන නමුත් මෙම සිදුවීමේ ඉහත කී සන්දර්භය නොතකා මාධ්‍යවේදීයාට එරෙහි ප්‍රහාරාත්මක චෝදනා එල්ල කිරීමෙන් අත්වන මහජන සුබසිද්ධියක්  හෝ ජනමාධ්‍යයට සිදුවන යහපතක් නැත.

කෙසේ වෙතත් වාර්තාකරණයේදී කරුණුමය නිරවද්‍යතාවයද අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙහිදී මාධ්‍යවේදීයා අතින්  එවැනි යම් වරදක් සිදුව තිබේ නම් වඩා සාධනීය ආකාරයකින් ඊට මැදිහත් වීමේ හැකියාවක් රජයට තිබු බව විශ්වාස කරයි. එසේ නොකොට මෙවැනි ප්‍රහාරාත්මක චෝදනා එල්ල කිරීමෙන් සිදු වන්නේ සරත් මනුල වැනි තම ප්‍රදේශයන්හි දුෂ්කර ජන ජිවිත පිළිබඳ වාර්තාකරණයෙහි නියැලි සිටින මාධ්‍යවේදීන් ස්වල්ප දෙනාද පසුබෑමකට ලක්වීමය, බියට පත් වීමය.

කෙසේ වෙතත් මේ දුෂ්කර ජනජීවිත ගැන වාර්තා කරන ස්වල්පදෙනා මෙවැනි බාධා කිරීම්  නොතකා තම සමාජ වගකීම ඉටු කරන අතර වෘත්තීය ගුණාත්මක භාවයද වැඩි දියුණු කර ගනිමින් ඉදිරියට යනු ඇතැයි විශ්වාසය පළ කරන  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා ඔවුන්ට ධෛර්ය පතයි.

සී.දොඩාවත්ත
කැඳවුම්කරු

75 views
Main News