මානව හිමිකම් කවුන්සිලය හයිබි්‍රඞ් අධිකරණ ‘තොණ්ඩුව’ පෙන්වමින් ශ්‍රී ලංකාවට හානිකර ක්‍රියාවලි රැසක් ආණ්ඩුවෙන් ඉටුකර ගන්නවා…

March 15, 2017 at 8:02 am | lanka C news
මානව හිමිකම් කවුන්සිලය හයිබි්‍රඞ් අධිකරණ ‘තොණ්ඩුව’ පෙන්වමින් ශ්‍රී ලංකාවට හානිකර ක්‍රියාවලි රැසක් ආණ්ඩුවෙන් ඉටුකර ගන්නවා…

මානව හිමිකම් කවුන්සිලය හයිබි්‍රඞ් අධිකරණ ‘තොණ්ඩුව’ පෙන්වමින් වත්මන් ආණ්ඩුව ලවා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමල සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවා ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩකඩ සලසා ගැනීම යන ශ්‍රී ලංකාවට හානිකර ක්‍රියාවලි රැසක් ඉටුකර ගැනීමට කටයුතු කරන බවත් ඒ සියල්ල අන්‍යෝන්‍ය අවබෝධයෙන් සිදුවන ඒවා බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුව අමතමින් එහි ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“සයිටම් වීරෝධී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය පළමුකොටම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. සයිටම් ප්‍රශ්නය වවාගෙන කෑමේ ප්‍රතිපත්තියක් තමයි අද මේ අෘණ්ඩුව අනුගමනය කරන්නේ. අද ලක්‍ෂ්මන් කිරිඇල්ල, එස්. බී දිසානායක වැනි ඇමතිවරුන් කරන්නේ ‘ඇවිලෙන සයිටම් ගින්නට පිදුරු දැමීම’ වාගේ වැඩක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ‘මේ ඇවිලෙන ගින්නට පිදුරුල පෙට්රල් වක් නොකර සයිටම් ප්‍රශ්නයට කාටත් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන්න, කියා.

නමුත් අද මේ අෘණ්ඩුව කරන්නේ, සයිටම් ප්‍රශ්නය දිනෙන් දින උග්‍ර වෙන්න හැරලා මුළුමහත් රටේම ජනතාවගේ අවධානය ඊට යොමු කරවන්න. ඒ ආකාරයට ‘ජනතාවගේ ඇස්වලට සයිටම් වැලි ගහලා’ මේ ආණ්ඩුව හදන්නේ රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න, රටේ සම්පත් රෑරෑකුණා දමන්න, අප්‍රේල් වන විට එට්කා ගිවිසුම අත්සන් කරන්න.

මේ ආණ්ඩුව අද මොන තරම් බොරු කළත් සයිටම් ප්‍රශ්නයට විසඳුම් දෙකයි තිබෙන්නේ. පළමු එක සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම. දෙවැන්න සයිටම් උපාධිය විදේශ විශ්ව විද්‍යාලයකින් ලබන වෛද්‍ය උපාධියක් හා සමාන මට්ටමට ගෙන ඒමට එහි ප්‍රමිතිය උසස් කිරීම සහ ඉන් පසුව එම උපාධිය ලබා ගන්නා සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ACT 16. විභාගයට මුහුණ දීමට ඉඩ සලසා දීම. ඇත්තේ කාටත් පිළිගත හැකි ඉහත විසඳුම් 02 පමණයි. අපි ආණ්ඩුවට බලකර කියා සිටිනවා, මේ ප්‍රශ්නය වවාගෙන කෑම දැන්වත් නතර කරන්න කියා.

‘දෙමළ ජාතික සන්ධානයේ යෝජනා’

දෙමළ ජාතික සන්ධානය එහි මධ්‍යම කාරක සභාවේ සහ නියෝජිතයන්ගේ රැස්වීමක් පසුගියදා වවුනියාවේදී පවත්වා තිබුණා. එහිදී සාකච්ඡාවකට භාජනය වි තිබණේ 2015 ඔක්තෝබරයේදී ශ්‍රී ලංකා රජයේ ද කැමැත්ත ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතකර ගත් යෝජනාවලියේ ක්‍රියාත්මකභාවය පිළිබඳවයි. මේ වවුනියා රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම පිණිස යෝජනා තුනක් සම්මතකර ගෙන තිබුණා. එකක් තමයි, ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ද කැමැත්ත අනුව 2015 ඔක්තෝබරයේ සම්මතකරගත් යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. එම කටයුතු එක්සත් ජාතීන්ගේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදු කළ යුතුයි’ කියන එක. දෙවැන්න තමයි, ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතුයි’ කියන එක. තුන්වැන්න ‘ශ්‍රී ලංකා රජය 2015 ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවලිය ක්‍රියාත්මක නොකෙරන්නේනම් ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්ජාතික නිති මගින් කටයුතු කළ යුතුයි’ කියන එක.

මේක අමුතු දෙයක් නොවෙයි. අද දෙමළ ජාතික සන්ධානයත්, ආණ්ඩුවත්. බටහිර බලවේගත් එකතු වී එකම නාට්‍යයක කොටස් තමයි රඟ දක්වන්නේ. 2015 ඔක්තෝබරයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා යුද අපරාද සිදුකළ බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවලිය එදා මේ ආණ්ඩුව පිළිගත්තා. ඒ අනුව මේ රූකඩ ආණ්ඩුව පිළිගෙන තිබෙනවා’ අපේ ආරක්‍ෂක හමුදා යුද අපරාධ සිදුකර තිබෙනවා’ කියා. මේ යෝජනාවලියට එකඟවීමෙන් ශ්‍රී ලංකා රජය අර සුමන්තිරන් මන්ත්‍රීවරයා කියන අන්තර්ජාතික නීති යටතේ කටයුතු කිරීමට බැඳී සිටිනවා. දැන් මේ සුමන්තිරන්ලා වවුනියාවිදී යෝජනා කරලා තියෙන්නේ ආණ්ඩුව 2015 ඔක්තෝබරයේ වැටුණු වලේ තවදුරටත් හිර කරන්නයි.

2015 ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියේ තිබෙන යෝජනා මොනවදා? එකක් තමයි, ශ්‍රී ලංකාවේ සත්‍ය සෙවීමේ ක්‍රීයාවලියක් ඇරඹිම. සත්‍ය සෙවීමේ ක්‍රීයාවලියෙන් කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට මැදිහත්වීමට දකුණු අප්‍රිකාව වැනි රටකට ඉඩකඩ සලසා දීම. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ජාත්‍යන්තර බලවේගවලට ඇගිලි ගැසීමට ඉඩ සලසා ගැනීමයි මෙමගින් සිදුවන්නේ. යුද සමයේ නෝර්වේ ‘සාම සාධක ක්‍රියාවලිය’ අපට මතකයි. බටහිර බලවතුන්ට අවශ්‍ය එවැනි මැදිහත්වීමකට යළි මේ ක්‍රියාදාමය හරහා ඉඩ සලසා ගන්නයි. වින්දිතයන්ට සහන සැලසීම එම යෝජනාවලියේ තිබෙන තවත් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණක්. ඒ අනුව මේ වන විට අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත සමම්මතකර ගෙන තිබෙනවා. එමගින් වින්දිතයන්ට සහන සැලසීම කෙසේ වෙතත් රණවිරු දඩයමට නීත්‍යනුකූල ඉඩකඩක් හදා ගනිවි.

‘හයිබී්‍රඞ් අධිකරණ තොණ්ඩුව’

එම යෝජනාවලිය අනුව ආණ්ඩුව එකඟ වූ තවත් කරුණක් තමයි, වගවීමේ ක්‍රියාවලියක් සැකසීම. ඒ යටතේ තමයි. දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට ඉඩකඩ නිර්මාණයකර ගත්තේ. මංගල සමරවීර, 2015දී එකඟ වූ පරිදි දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවන බව කියද්දී කොළඹදී අගමැතිවරයාත් පොළොන්නරුවේදී ජනාධිපතිවරයාත් විදෙස් විනිසුරන් සහිත අධිකරණ යාන්ත්‍රණයක් ගෙන එන්නේ නැති බව කියනවා. කොළඹ දී, පොළොන්නරුවේදී මොනවා කිව්වත් ඉතා පැහැදිලිව මේ ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේදී දෙහුහුන් අධිකරණයක් පිහිටුවීමට එකඟ වී අවසන්.

‘හයිබි්‍රඞ් අධිකරණයෙන් දඬුවම් කරනවා’ කියන එක පෙන්වමින් තමන්ගේ අනෙතුත් ක්‍රියාවලි ඉටුකර ගැනීම තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ උවමනාව. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, සත්‍ය සෙවීමේ කොමිසම මගින් ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩකඩ සලසා ගැනීම යන සියල්ල මේ ආණ්ඩුවෙන් ඉටුකර ගැනීමට මානව හිමිකම් කවුන්සිලය පෙන්වන්නේ මේ හයිබි්‍රඞ් අධිකරණ තොණ්ඩුව.

මේ නාටකය මේ සියලු දෙනා එකතු වෙලා අවබෝධයෙන් සිදුකර ගෙන යනවා. මානව හිමිකම් කවුන්සිලය එක පැත්තකින් ආණ්ඩුව අගයමින්, අනෙක් පැත්තෙන් බලපෑම් කරන්නේ ඒ නිසයි. දෙමළ ජාතික සන්ධානය හරහා ආණ්ඩුවට බලපෑම එන්නේ ඒ අනුවයි. අවසානයේදී රටට සතුරු ජිනීවා න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී රට දෙකඩ වීම සිදුවේවි. මේ තත්වය අපි ගැඹුරින් වටහා ගෙන ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

2 views
Main News