මාසිකව රැපියල් 75,000 ඉක්මවූ ආදායමක්..

September 20, 2016 at 8:02 am | lanka C news
මාසිකව රැපියල් 75,000 ඉක්මවූ ආදායමක්..

ඉදිරි වසරේ දී, දිවයින පුරා එක් පුද්ගලයකුට මාසිකව රුපියල් 75,000 ඉක්මවූ ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියා සංවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

එම අමාත්‍යාංශයට වසරක් පිරීම නිමිත්තෙන් කැදවා තිබූ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අමාත්‍ය දයා ගමගේ සදහන් කළේ ඒ වෙනුවෙන් මේ වන විටත් සැලසුම් සකස් කර අවසන් බවයි.

මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ දී තරුණයින්ගේ හා කැපවී වැඩ කරන අයගේ සහාය නිරන්තරයෙන්ම අපේක්ෂා කරන බව ද අමාත්‍යතුමා සදහන් කළේය.

වසර පහක සැලසුම්ගත වැඩපිළිවලට අනුව, පළමු වසර ගෙවී ගියේ සැලසුම් සකස් කිරීමට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම සකස් කිරීමට බව සදහන් කළ අමාත්‍යතුමා වැඩිදුරටත් කියා සිටියේ, සියලු දෙනාගේ ශක්තිම හා කැපවීම තුළින් ඉදිරි වසර හතර තුළ අපේක්ෂිත ඉලක්කයන් වෙත ලගා වීම අරමුණ බවයි.

මේ අනුව දැනට සැලසුම්කර ඇති වැඩසටහන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,

‘අපි සැලසුම් කරලා තියනවා නව ව්‍යාපෘතියක් ලෙස අන්නාසි වගාවැඩසටහනක් දියත් කරන්න. මේ යටතේ අක්කර 25,000ක අන්නාසි වවන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම පොල් වගාව ආශ්‍රිතව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන අතුරු වගාවක් ලෙසයි මෙම වැඩසටහන සැලසුම් වෙන්නේ. ඒ අනුව, ගම්පහ, කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල අන්නාසි පැල මිලියන 750ක් අපි වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 7.5ක්.

ඒ වගේම, කප්රුකට ගම්මිරිස් ව්‍යාපෘතිය යටතේ අපි බලාපොරොත්තු වෙනවා දැනට සිදු කෙරෙන ගම්මිරිස් ඵල නෙළීම තුන් ගුණයකින් වැඩි කරන්න. ඒ සදහා අවශ්‍ය තාක්ෂණික හා විද්‍යාත්මක සහාය ලබා දෙමින් වගාකරුවන් දිරිගන්වන්න අපි කටයුතු කරගෙන යනවා.

දැනටමත් අපි ආරම්භ කරලා තියන ධනසවිය වැඩසටහන හරහා සෑම ඡන්ද මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම කාන්තාවන් මෙම වැඩසටහන සම්බන්ධ කර ගනිමින් කාන්තාවන් දස ලක්ෂයක් මේ යටතේ සවිබල ගන්වන්න සැලසුම් කරලා තියනවා.‘

මේ අතර, මේ වන විටත් ලෝක වෙළදපොළ තුළ ඉල්ලුමක් ඇති දේශීය කුරුදු හා කුළුබඩු සම්බන්ධ ආදායම ඉහළ නැංවීමට අදාල සැලසුම්ගත වැඩසටහන් කිහිපයක් සම්බන්ධයෙන් ද අමාත්‍යතුමා මෙහිදී අදහස් දැක්වීය.

අලුතින් කුරුදු අක්කර 25,000ක් වගාව සදහා හදුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ හරහා ලෝක වෙළදපොළේ තියන ඉල්ලුමට අනුව සැකසුම තවදුරටත් පුළුල් කරන්නත් අපිට හැකියාව ලැබෙයි.

දිවයින පුරා කාන්තාවන් මූලික කර ගනිමින් මී මැසි පෙට්ටි ලක්ෂයක් ස්ථාපිත කරන්න අමාත්‍යාංශය අදහස් කරගෙන යනවා. ඒ වගේම, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වලින් ලබා ගත හැකි ආදායම හා ඒ මගින් අපිට අලුතින් කරන්න පුළුවන් නිෂ්පාදන හා නිමැයුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ සදහා විද්වතුන්ගේ හා ක්ෂේත්‍ර අත්දැකීම් ඇති අයගේ සහාය අපිට අවශ්‍යයි.

කිරි ගවයින් 25,000ක් අලුතින් හදුන්වා දීලා, එක් ගවයෙකුගෙන් කිරි ලීටර 15-30 අතර ප්‍රමාණයක් දෛනිකව ලබා ගත හැකි පරිදි ක්‍රමවේදයක් සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.‘

තවද, මේ වන විට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හදුනාගෙන ඇති අංශයන්ගේ අවශ්‍ය සංවර්ධනයන් සිදු කිරීමට ද ඉදිරි වසරේ දී කටයුතු කරන බව අමාත්‍ය දයා ගමගේ මෙහිදී සදහන් කළේය.

‘දඹදෙණියේ ධන සවිය ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම, නාච්චදූව අපනයන එළවළු මධ්‍යස්ථානය හා ඇපලදෙණියේ බුලත් වෙළදපොළ සංවර්ධනය කරන්න අපේක්ෂා කරනවා.

මේ අතර, මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමන් ඉදිරි අභියෝග ජය ගැනීමේ දී තරුණයින්ගේ සහාය ඉතා වැදගත් බව ද කියා සිටියේය.

‘තරුණයෝ ඉස්සරහට ඇවිත් වගකීම් භාර ගෙන වැඩ කරන්න. කිසි දේකට බය වෙන්න එපා. වැඩ කරන අයට කපන්න කාටව් ඉඩ දෙන්නේ නෑ. රස්සාවේ හිටපු කාලයටයි, දේශපාලනඥයින්ට කීකරු වෙලා ඉදලායි උසස් වීම් ගත්ත කාලය අවසන්. මම වැඩ කරන අයට අවස්ථාවන් දෙනවා. සලකනවා.‘

මෙහිදී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු බන්දුල වික්‍රමාරච්චි මහතා ද අදහස් දැක්වීය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

– භාරත තෙන්නකෝන්

101 views

3 Comments to “මාසිකව රැපියල් 75,000 ඉක්මවූ ආදායමක්..”

  1. SB says:

    දවල්ද?…

  2. Aba says:

    S Yet, another fairy tale from Yama Palana government!

  3. බන්ඩා says:

    සිරිසේන රනිල් හවුල් අාණ්ුව පිහිටවල දැන් වසර දෙකකට කිට්ටු වෙන්න ඒනවා. අද වෙනකන් අලුතින් පටන් ගත්ත ගම්මිරිස් ව්‍යාප්තියක් නැහැ. බැසිල් පටන් ගත්ත කෘෂි ව්‍යාප්තිත් මන්ද ගාමී වෙලා. ගිය වසරේ මෙම කාර්තුවට සාපේක්‍ෂව සමස්ථ කෘෂිකර්මාන්තයම 5.6% කඩා වැටී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාව පෙන්වා දෙනවා. ඒ් විතක් නෙවෙය් වී වගාව 17.9%කින්, රබර් වගාව 12.2%කින්, තේ වගාව 8.2%කින් සහ ධීවර කර්මාන්තය 7.8%කින් පහල වැටිල. දයා ගමගේ ව්‍යාපාර නම් වර්ධනය වෙලා බව පැහැදිලිය්.

Main News