මා දිසාපති කාලේ පරිඝණක ගැන අහලාවත් තිබුනේ නෑ..- ජනාධිපති ලේකම්

July 22, 2017 at 5:30 pm | lanka C news
මා දිසාපති කාලේ පරිඝණක ගැන අහලාවත් තිබුනේ නෑ..- ජනාධිපති ලේකම්

ලිපි ගොනුවලින් හැමදේම කරන්නේ නැතිව ඉක්මණින් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවාව ලබාදිය හැකිනම් එය රාජ්‍ය සේවයේ වැදගත්ම ලක්ෂණය බවත්. එමගින් වැඩි සේවයක් ජනතාවට සපයමින් ජනතාව හා රජය අතර ඇති පරතරය අඩුකිරිමට හැකියාව ලැබෙන බවත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අරලිය ගහ මන්දිරයේ දී රජයේ උසස් නිලධාරීන් අමතමින් කියා සිටියේය.

‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ ඉදිරි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජයේ මාණ්ඩලික නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.

එහි දී අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘අද දිසාපතිගේ සිට සියලුම නිලධාරීන්ට පරිගණක ඇතුළු නවීන යන්ත්‍ර සූත්‍ර තිබුණත් මා දිසාපතිවරයකු ලෙස සිටි මීට අවුරුදු 40ට පමණ පෙර කාලයේ මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අපි අද කරන වැඩ එදත් කළා. එදා මා දිසාපතිවරයකු ලෙස කටයුතු කරන කාලයේ අද මෙතැන සිටින අය ඉන්න ඇත්තේ පාසලක පහේ හයේ පන්තිවල. අපි පරිගණක ගැන අහලා තිබුණේවත් නැහැ. ඒ කාලේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් මේ වගේ වැඩ කළා. අදත් එවැනි දේ කරන්න සිදුවෙලා තියෙනවා. අනාගතයේ දී මේ සේවා තවත් වැඩිදියුණු විය යුතුයි.

‘‘නිල මෙහෙවර ජනපති ජනතා සේවය“ නමින් මේ කරගෙන යන කාර්යයේ දී රාජ්‍ය නිලධාරීන්ට ඉතා විශාල මෙහෙවරක් සිදු කිරීමට වෙනවා. සෑහෙන කැපවීමක් කළ යුතුයි. ඇතැම් දිස්ත්‍රික්ක තියෙනවා ගැමියන්ට තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එන්නත් අමාරුයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න ඒ සඳහා බලපානවා. නිලධාරීන් සමග සංයමයෙන් යුතු සහ සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ දුෂ්කරතාව වැනි ප්‍රශ්න රාශියක් තියෙනවා. 1987 වර්ෂයේ දී පළාත් සභා පනත ගෙන ආ අවස්ථාවේ යම් වාසියක් ඔවුන්ට අත් වුණත් තවමත් නොවිසදුණු ප්‍රශ්න රැසක් ඉතිරිව තිබෙනවා. ඇතැම් අවස්ථාවල දී දිසාපතිවරුන්ට මේ ප්‍රශ්න අමතක වෙලා යනවා. ඒවා විසඳන්න යම් ක්‍රියාවලියක අවශ්‍යතාව තිබෙනවා. මේ නිල මෙහෙවර ජනපති ජනතා සේවය ඊට ඉතාමත්ම හොඳ පිළියමක් වේවි.

කොපමණ බාධක තිබුණත් තමන්ට වැඩ කළ හැකි බව පසුගිය ආපදා අවස්ථාවේ දී දිසාපතිතුමන්ලා, ප්‍රාදේශීය ලේකම් තුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විසින් සනාථ කර පෙන්නුවා. ඒ වගෙ ම මැතිවරණ අවස්ථාවල දී ද ඔවුන් අකුරටම නීතිය ක්‍රියාත්මක කරමින් තමන්ගේ ස්වාධීනත්වය මනාව ඔප්පු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ රටේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නිල මෙහෙවර ජනපති ජනතා සේවය සඳහා රජයේ සියලු අමාත්‍යාංශ ඇතුළු සියලුම රාජ්‍ය ආයතන සහයෝගය දැක්විය යුතු බවයි. ගමේ ප්‍රශ්න ගමට ගොස් විසඳීමෙන් ඉදිරි අනාගතයේ දී කාර්යාලවෙත ගැටළු ඉදිරිපත්වීම අවම වන බවත් එමගින් වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බිහිකළ හැකි බවත් ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙහි දී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.

“අපි පොළොන්නරුවේ සහ ගාල්ලේ නිල මෙහෙවර වැඩසටහන් පැවැත්වීමෙන් පසු කුරුණෑගල සහ උතුරේ තවත් දිස්ත්‍රික්ක හතරක නිල මෙහෙවර ආරම්භ කළා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භූමි ප්‍රදේශය විශාලයි. නමුත් පවුල් සංඛ්‍යාව සහ ජනගහනය ඉතාමත් අඩුයි. මේ ඇතැම් ගම්මානවලට කිසිම රාජ්‍ය නිලධාරියකු ගතවූ අවුරුදු 40ක කාලයේ දී ගිහින් නැහැ. ඇතැම් මාර්ගවල තවමත් යාමට නොහැකියි. නිල මෙහෙවර පැවැත්වෙන එක්තරා රැස්වීමක දී මා එතැන සිටි අයගෙන් ඇහුවා යුද්ධය නිසා කිසිවෙකුත් මිය නොගිය පවුලක සාමාජිකයකු සිටිනවානම් අත් ඔසවන්න කියා. කියන්නත් කණගාටුයි කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ කියන්නේ සෑම පවුලකම එක් අයෙක් හෝ මිය ගිහින්. මා ඒ වෙලාවේ විහිලුවට වගේ කිව්වා ඒ වුණාට හැමෝටම තුවක්කුවකින් වෙඩි තියන්න පුළුවන් නේ ද කියා. එය කිසිවෙකු ප්‍රතික්ෂේප කළේ නැහැ. මේ ජනතාවටත් ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න අපි කඩිනමින් විසඳිය යුතුයි. මේ උත්සාහය ඒ සඳහා.“

මෙම රැස්වීම සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු මැති ඇමතිවරු ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නිල් ද අල්විස් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු රැසක් හා රජයේ මාණ්ඩලික නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

– සජීව විජේවීර

154 views

3 Comments to “මා දිසාපති කාලේ පරිඝණක ගැන අහලාවත් තිබුනේ නෑ..- ජනාධිපති ලේකම්”

  1. Niru says:

    These are the second generation government agents who were clueless and ruined the then well established district management. These idiots are not only still bragging about their non achievements but also have returned to give wrong advice to clueless MY 3.

  2. Lokaya idiriyata yana bawa me naki manushya danneneti Ekans prassne.

  3. YAMA DUTHA says:

    What happen to this country ? KALAKANNI RALATA HENA WADIYAN

Main News