මා වැඩ කරන්නේ බහුතරය අනුවයි.. හැකිනම් මා නෙරපනු.. කතානායක තවත් දරුණු වෙයි..

November 24, 2018 at 3:17 am | lanka C news
මා වැඩ කරන්නේ බහුතරය අනුවයි.. හැකිනම් මා නෙරපනු.. කතානායක තවත් දරුණු වෙයි..

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම (2018.11.23) දින පෙරවරු 09.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි ආරම්භයේ දීම කථානායකවරයා සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේ එකිනෙකට පටහැනි මත දරන කණ්ඩායම් කිහිපයක නියෝජිතයන් රැස්වීමට එක්ව සිටින නමුත්, එකිනෙකාගේ අදහස් වලට ගරු කරමින් ගෞරවනීය අන්දමින් කටයුතු කරන ලෙසයි.

පසුගිය ඔක්තෝම්බර් මස 26 දිනෙන් පසුව උද්ගත වූ පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ සිද්ධිදාමයන් හමුවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට තමා මැදිහත් වු ආකාරය සහ සිය ස්ථාවරය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් මෙහි දී කථානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඇති වූ අර්බුදකාරී තත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට මුලින්ම ඔහු හමු වූ පසුගිය ඔක්තෝම්බර් 27 වන දින පලකළ නව රජයට බහුතරය ඇති බව පැහැදිලිව ඔප්පු කල යුතුය යන අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරය මත තමා තවදුරටත් රැඳී සිටින බව සඳහන් කල කථානායකවරයා තමන්ට බහුතරය ඇති බව පෙන්වීම බලය ලබා ගත් කණ්ඩායමේ වගකීම බවද පෙන්වා දුන්නේ ය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක් අතරින් පක්ෂ 04 කට අයත් නියෝජිතයන් 122 දෙනෙකු වර්තමාන පාලනය නොපිලිගන්නා බව විශ්වාසභංග යෝජනාවෙන් සහ ලිඛිත ප්‍රකාශ මඟින් ද දිගින් දිගටම පෙන්වා දී ඇති බැවින්, බහුතර මතයට කන් දීමට තමාට සිදුවන වන බවත්, එය කිසිවිටෙකත් පක්ෂග්‍රාහි වීමක් නොවන බවත් කථානායකවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වූවද, කථානායකවරයා නුසුදුසු වේ නම් ඔහු වෙනස් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් සරල බහුතරයෙන් සම්මත කර ඉවත් කර ගැනීමට හැකිවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම කථානායකවරයා පැවසූවේ තමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් හෝ නව රජය තමන්ට හිමි බහුතරයේ ශක්තිය පෙන්වා දෙන්නේ නම් තමා සතුටු වන බවයි. එවැන්නක් පහසුවෙන් කල හැකිව තිබියදී කථානායක අසුන බලෙන් පැහැර ගනිමින් සභාගර්භයට පිවිසිමට බාධා කරමින් පාර්ලිමේන්තුවෙන් බාහිරව පාක්ෂිකයන් ලවා විරෝධතා පවත්වමින් කරන කටයුතු නිශ්චල බවද පක්ෂ නායක හමුවේ දී කථානායකවරයා සඳහන් කලේය.

බහුතරය පෙන්වීමට හැකිනම් තමා දිගින් දිගටම ආණ්ඩු පක්ෂයට අවස්ථාව උදාකරදීමට උපරිමයෙන් කැපවන බවත්, එලඹෙන නොවැම්බර් මස 29 දින ද ඒ සඳහා වටිනා අවස්ථාවක් උදාවන බවත්, කථානායකවරයා අවධාරණය කලේය.කථානායකවරයාගේ මෙම පැහැදිලි කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත්කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර, ඒ පිළිබඳව අවසාන එකඟත්වයක් ඇති නොවීය.

මෙහි දී තමා මේ දක්වා කරන ලද සියළු ක්‍රියාදාමයන් ස්ථාවර නියෝගයන්ට අනුකූල බව පෙන්වාදුන් කථානායකවරයා මෙවන් අර්බුදකාරී අවස්ථාවක භාවිතයට ගත හැකි 136/143 ස්ථාවර නියෝග ප්‍රකාරව කථානායකවරයාට හිමි බලතල අනුව සාධාරණ ලෙස තේරීම් කාරක සභාව පිළිබඳ අවසන් තීරණය දැනුම් දෙන බව කථානායකවරයා සඳහන් කලේය. ඒ අනුව, 122 ක් වූ බහුතර කණ්ඩායමට තේරීම් කාරක සභාවේ නියෝජනයන් 7ක් ද බහුතරය පෙන්වා දීමට මෙතෙක් අසමත්ව ඇති පාර්ශවයට තේරීම් කාරක සභාවේ 05 ක නියෝජනයක් ද ලබා දීම සිය තීරණය බව කථානායකවරයා දැනුම් දුන්නේය.

කෙසේ වුවද එළඹෙන දෙසැම්බර් මස 07 දිනෙන් පසුව කිසියම් යහපත් විසඳුමකට පැමිණිමට හැකි වනු ඇති බව හෙතෙම විශ්වාසය පල කලේය. අද දින පාර්ලිමේන්තුව ආරම්භයේ තේරීම් කාරක සභාව ප්‍රකාශයට පත් කරමින් කථානායකවරයා ඉදිරිපත් කල නිවේදනය මෙහි පහත සදහන් වේ.

කථානායක මාධ්‍ය අංශය – 2018.11.23

2018 නොවැම්බර් 23 වන සිකුරාදා

අද දින පවත්වන ලද රැස්වීමේදී තේරීම් කාරක සභාවට නාම යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව එකඟතාවයකට එළඹීමට නොහැකි විය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඇතුලත්ව මාගේ සභාපතිත්වයෙන් 12 දෙනෙකුගෙන් එම කාරක සභාව පත් කළ යුතුය.

මා ඉහතින් සඳහන් කළ ආකාරයට මෙම පත්කිරීම් පිළිබඳව පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් නොමැති වූ බැවින්, ස්ථාවර නියෝග 136 සහ 143 යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත නම් සඳහන් සභික මන්ත්‍රීන් තේරීම් කාරක සභාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා නම් කර සිටිමි.

1. එක්සත් ජනතා නිදහස් සන්ධානය

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු එස්. බී. දිසානායක මහතා
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු මහින්ද සමරසිංහ මහතා සහ
ගරු විමල් වීරවංශ මහතා

2. එක්සත් ජාතික පක්ෂය

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු රවුෆ් හකීම් මහතා
ගරු රිෂාද් බදියුදීන් මහතා
ගරු මනෝ ගනේෂන් මහතා සහ
ගරු පාටලී චම්පික රණවක මහතා

3. ඉලංගෙයි තමිල් අරසුකච්චි

ගරු මාවෙයි සේනාධිරාජා මහතා

4. ජනතා විමුක්ති පෙරමුණ

ගරු විජිත හේරත් මහතා

– කතානායක මාධ්‍ය අංශය

85 views
Main News