මැතිවරණය කැදවූ සභා 93 පොහොට්ටුව අත උඩින් දිනයි කියා බය වෙයි.. සියල්ලේම මැතිවරණ එකට කැදවන්න සූදානම්..

November 28, 2017 at 2:10 pm | lanka C news
මැතිවරණය කැදවූ සභා 93 පොහොට්ටුව අත උඩින් දිනයි කියා බය වෙයි.. සියල්ලේම මැතිවරණ එකට කැදවන්න සූදානම්..

රටටම එපා වී තිබෙන වහපාලන ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තැබීමට ඒකාබද්ධ විපක්ෂය සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ආ හවුල්කරුවන් සියලුදෙනා එකතුව තරග වැදුණත් ඒකාබද්ධ විපක්ෂයේ නියත ජයග්‍රහණය නතර කරන්නට පුළුවන්කමක් නොමැති බව අවධාරණය කළ රණතුංග මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසු හවුල් ආණ්ඩුවේ අවුල් සෙල්ලම් අවසන් බවත් පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් උඩුගම්පොළ දී ඊයේ (28) හමු වූ අවස්ථාවේදීය.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ ‍කළේය.

මැතිවරණවලට බයේ වෙව්ලන මේ වගේ ආණ්ඩුවක් ඉතිහාසයේ කවදාවත් බිහිවෙලා නැහැ. ජනාධිපතිවරණයට ආවේ දින සීයෙන් පස්සේ මහ මැතිවරණයක් තියනවා කියලයි. හැබැයි මහ මැතිවරණය තියන්න මාස 7ක් ගත වුණා. ඒ මැතිවරණය තිබ්බෙත් ඒකාබද්ධ විපක්ෂයේ අපි කරපු පීඩනය දරාගන්න බැරිකමටයි.

ඕනෑම ජනාධිපතිවරයෙක් පත්වෙලා අවුරුදු තුන හතරක් යනකම් ඕනෙම මැතිවරණයක් කජු කනවා වගේ දිනනවා. හැබැයි මෙයාලාට අගෝස්තුවේ තිබ්බ මහ මැතිවරණය දිනාගන්න පුළුවන් වුණේ නූලෙන්. ජනාධිපතිවරයා තමන්ගෙම පක්ෂය පාවා දුන්නේ නැත්නම් අද රටේ අගමැති මහින්ද රාජපක්ෂ කියන එක මේ රටේ කාටවත් රහසක් නෙමෙයි.

අගෝස්තුවේ මහ මැතිවරණයේදී අත්දැකපු පාඩම හින්දා මේ ආණ්ඩුවේ ලොක්කන්ට ඡන්ද,  නයාට අදුකොළ වගේ වුණා. ඡන්දයක් කිව්ව ගමන් මේ අය සරම කරට අරන් දුවන්න ගන්නවා. බලයට ආවේ නම් තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියලා. හැබැයි ජනතා මතයට බයයි. මේක ලෝකේ කොහේවත් නැති අමුතුම ජාතියේ ප්‍රජාතන්ත්‍රවාදයක්.

මුලින් පළාත් පාලන මැතිවරණය කල්දැම්මා. ඊළඟට පාර්ලිමේන්තුව පවා නොමඟ යවමින් පළාත් සභා ඡන්දෙ කල්දමා ගත්තා. ඡන්දය කියන්නේ පුරවැසියන්ගේ අයිතිය. ඒ අයිතියට උල්ලංගණය කරන්න මේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. ජනතාව බලය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මිසක් තිබ්බ ප්‍රජාතන්ත්‍රවාදයටත් වල කපන්න නෙමෙයි.

පළාත් පාලන මැතිවරණය කල්දාගන්න මේ ආණ්ඩුව නොගහපු ගැටයක් නැහැ. අන්තිමේ දී ඡන්දය කල්දාගන්න තමන්ගෙම හෙංචයියෝ ලවා උසාවියෙන් වාරණයක් පවා ගන්න කටයුතු කළා. හැබැයි සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් මැතිවරණ කොමිසම ගැටලුවක් නොමැති ආයතන 93ක ඡන්දය පවත්වන්න තීන්දු කළා.

දැන් ආණ්ඩුව රත්වෙලා තමන්ම දමාගත්තු වාරණය අයින් කරවාගන්න ආයෙමත් උසාවිය හමුවට ගිහින් තියෙනවා. මේ ආයතන 93න් බහුතරය ඒකාබද්ධ විපක්ෂයට වාසි සහගතයි කියලා දැනගත්තම තමයි ආණ්ඩුවට ‍රත් වුණේ. මේ 93 දිනලා ඊළඟ වටයට අලුත් ජවයකින් අපි එයි කියලා බය වුණ නිසයි ආණ්ඩුව දැන් ආයෙමත් සේරම ආයතනවල ඡන්දය එකට තියන්න කියලා වැඳ වැටෙන්නේ.

මේ ආණ්ඩුව විතරක් නෙමෙයි ආණ්ඩුවට කඩේ යන සියලු බලවේග පරදවන එක ඒකාබද්ධ විපක්ෂයේ අපිට සුළුදෙයක්. මේ මැතිවරණයේ දී අපි ආණ්ඩුව එළවීමේ පළමු වෙඩි මුරය තියනවා. එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සීමා වෙලා තිබුණු මේ රටේ පාලනය අලුත් බලවේගයක් අතට ගන්නා පළමු පියවර අපි මේ මැතිවරණයේ දී තියනවා.

අපේ ජයග්‍රහණය දැකලා දැන් බොහෝ අය කලබල වෙලා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ බයවෙලා ඉන්නවා ඒකාබද්ධ විපක්ෂය මේ මැතිවරණයේ දී පළමු ස්ථානයට පත්වෙයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරු පෙනිලා ති‍යෙන්නේ මේ ඡන්දෙදි හතරවැනි තැනවත් නැති වෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ බයවෙලා ඉන්නේ තමන්ට අනාගතයක් නැති වෙයි කියලා.

ඒකාබද්ධ විපක්ෂයේ නියත ජග්‍රහණය දැක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට අපි ගැන අමුතු ආදරයක් ඇති වෙලා තියෙනවා. අපිව සංවිධායකකම්වලින් එලවලා දාලා, අපේ මන්ත්‍රීවරුන්ට පුළුවන් තරම් දස වද දීපූ නිදහස් පක්ෂයේ අයට අපි ආයෙමත් හරි ලස්සනට පේන්න පටන් අරගෙන තියෙන්නේ අපේ ඡන්ද ගොඩ දවසින් දවස වැඩිවෙන නිසා මිසක් වෙන හේතුවකට නෙමෙයි.

හැබැයි රෑ වැටුණු වළේ දවලුත් වැටෙන්න අපි සූදානම් නැහැ. එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කමින් ඉන්න අතරේ ඒකාබද්ධ විපක්ෂය එක්ක හොර මඟුල් කන්න බැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතක තබාගත යුතුයි. එකතු වෙන්න නම් මුලින් එ. ජා. ප දීගෙන් ගැලවෙන්න ඕනේ. එහෙම නැතුව ඒ පැත්තේ කකුලයි මේ පැත්තේ කකුලයි තියාගෙන ඩබල් ගේම් බැහැ.

මහ මැතිවරණයේ දී අපේ අතේ තිබ්බ ජයග්‍රහණය උදුරා ගත්ත අයව විශ්වාස කරන්න පෙර දෙපාරක් නෙමේ හත්අට වතාවක් හිතන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේක අපි කොහොමටත් ජයග්‍රහණය කරන මැතිවරණය. අපිට කාගෙවත් පස්සේ එල්ලිලා ගිහින් දිනන්න අවශ්‍ය නැහැ. ඒ හින්දා අපි අවංකව වැඩ කරන කොට බඩේ බිජු තියාගෙන වැඩ කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් සැරසෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ.

– ප‍්‍රදීප් අනුර කුමාර

147 views

4 Comments to “මැතිවරණය කැදවූ සභා 93 පොහොට්ටුව අත උඩින් දිනයි කියා බය වෙයි.. සියල්ලේම මැතිවරණ එකට කැදවන්න සූදානම්..”

  1. AJ says:

    දැනට පුස්වෙඩි මුර කීයක්නම් තිබ්බද නේද

    • kamalsirikuruwita says:

      වෙඩි මුරය තියන්න ඉස්සෙල්ලම බයවෙලානේ හලෝ. එකනේ මේ හතී අත දුවන්නේ උසාවි ගානේ , අලුතෙන් ආදරයක් පහලවෙලා තියෙන්නේ. ජනතාවට නම් හිනා තමයි.

  2. asaranaya says:

    ඉන්ඩියන් කාරයෝ ජිරිලන්කා ටීම් එකට දුන්නා වගෙ, අපි දැන් එකාබද්දය දෙවැනි ඉනිමට සැරසෙමු

  3. DAYA says:

    ජයවේවා. ගමන සුභයි. ජය නියතයි. ජනතා පැතුම එයයි.

Main News