මෑත ඉතිහාසයේ දරුණුතම පලිගැනීම විමල් වීරවංශගෙන්..

February 23, 2017 at 8:40 am | lanka C news
මෑත ඉතිහාසයේ දරුණුතම පලිගැනීම විමල් වීරවංශගෙන්..

විමල් වීරවංශ වැනි සියලු ජාතික නායකයන් සිරගතකර රට බෙදන ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමට උත්සාහ ගත්තත් එම උත්සාහය රටට ආදරය කරන ජනතාව විසින් කෙසේ හෝ පැරදවිය යුතු යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු හෝමාගම සංවිධායක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ වන විට අභූත චෝදනා නගා දින 44ක් තිස්සේ ඇප ලබා නොදී සිරගත කර සිටින ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’යන මැයෙන් හෝමාගම නගරයේදී පැවැති පොදුජන විරෝධතාවය අවසානයේදී ඒ මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයයේ දරුණුතම පලිගැනීම ලෙස සැලකෙන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහෝදරයා ඇප නොදී බන්ධනාගාරගතකර තැබීමයි. ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම හොරකම වන බැඳුම්කර හොරකමට සම්බන්ධ පිරිස නිදැල්ලේ සිටියදී තමයි විමල් වීරවංශ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිරගත කර ඇත්තේ. ඒ වගේම රට ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් බේරාගත් රණවිරුවන්, බුද්ධි අංශ සාමාජිකයන් ඇතුළු සියලු දෙනාගෙන් දුෂ්ට ආකාරයට පලිගැනීමක මේ ආණ්ඩුවට නිරතව සිටිනවා.

විමල් වීරවංශ සහෝදරයා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ හඩක් නැගිය නොහැකි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් හඩ නැගුවා. ෆෙඩරල් විසඳුමක් ගෙනවිත් මේ රට යළි ලේ විලක් බවට පත් කරන්න හදන උත්සාහයට විරුද්ධව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඩ නගමින් ජනතාව සංවිධානය කිරීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළා.

එවැනි ජාතික නායකයකු වෙනුවෙන් තමයි හෝමාගම ප්‍රගතිශිලී ජනතාව අද පාරට බැස්සේ. ඒ නිසා අපි කියනවා ‘විමල් වීරවංශ පමණක් නොවෙයි මේ රටේ ජාතික නායකයන් සියලු දෙනා හිරේ දමලා රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න හැදුවත් ඒකට මේ රටේ දුක් විදින මිනිස්සු, රටට ආදරය කරන මිනිස්සු ඉඩ තියන්නේ නැහැ කියා අපි විශ්වාසයෙන් යුතුව කියනවා”

මෙම පොදුජන විරෝධතාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, ලක්මව දියණියෝ ජාතික සංවිධායක ප්‍රියංගා කොතලාවල, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

 

119 views
Main News