මිණිපිරිය දුෂණය කල සීයා රිමාන්ඩ්…

March 8, 2019 at 6:32 am | lanka C news
මිණිපිරිය දුෂණය කල සීයා රිමාන්ඩ්…

සිය බිරියගේ පළමු විවාහයේ දියණියගේ බාල වයස්කාර දියණිය අමානුෂික ලෙස දූෂණය කළේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද දැරියට ඥාතීත්වයෙන් සීයා වන අයෙකු 2019 මාර්තු මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො. 340/1, සෝදාපාලුව, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි අලගියාහකුරු සෝමතුංග (45) නැමැති අයයි.

කරන්දෙණිය, ප්‍රාදේශීය ළමා රක්ෂක අධිකාරිය හරහා ඌරගස්මන්හන්දිය පොලීසියට ලැබුණ පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

ලිංගික අතවරයට පත්ව ඇත්තේ අවුරුදු 8 යි මාස 10 ක් වන දැරියකි. දැරිය පසුගිය 05 වැනි දින පාසැලේ බංකුවකට ඔලුව ගසාගෙන හුදකළාව සිටින අයුරු ගුරුවරියක් දැක තොරතුරු විමසා සිද්ධිය තහවුරු කරගෙන ළමා රක්ෂක අධිකාරියට දැනුම් දී තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

දැරිය 2018 සැප්තැම්බර් මාසයේ සිට අවස්ථා ගණනාවකදීම සැකකරු විසින් දූෂණයට ලක්කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

වින්දිත දැරියගේ මව වන උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි දිනීෂා ලක්මාලි (26) නැමැති අය දැරිය හා දැරියගේ බාල සහෝදරයා අතහැර වෙනත් විවාහයක් කරගෙන තිබෙන බවත් දැරියගේ පියා, දැරිය හා බාල සහෝදරයා දිනේෂා ලක්මාලිගේ මව වෙත බාර දී 2018 අගෝස්තු මාසයේ විදේශගත වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මේ වන විට දිනේෂා ලක්මාලිගේ මව වන ලලිතා පුෂ්ප කුමාරී (39) නැමැති අය ජීවත් වන්නේ සිය දෙවන කසාදයේ සැමියා සමග බවත් දැරිය දූෂණය කර ඇත්තේ මොහු විසින් බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. ඒ අනුව දැරියගේ මව, සැකකරුගේ බිරියගේ පළමු කසාදයේ දියණියයි.

වින්දිත දැරියගේ ආච්චි අම්මා වන ලලිතා පුෂ්ප කුමාරී (39) නැමැති අයටද සැකකරුට දාව දරුවන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් අවුරුදු 17 සහ 14 යන වයස් කාණ්ඩ වල පසුවන බවත් පොලිසිය කියයි. සැකකරු කුරුදු තැලීමේ රැකියාවේ නිරත අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ

දැරිය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සදහා මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙන බවත් අවස්ථා ගණනාවකදීම දැරිය දූෂණයට ලක්ව ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූ බවත් ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. දැරියගේ ආච්චි අම්මා වන ලලිතා පුෂ්ප කුමාරී (39) නැමැති අය දැරිය දූෂණය කිරීමට සහය දුන්නාද යන්න හෝ සිද්ධිය වසන් කිරීමට කටයුතු කළාද යන්න සම්බන්ධයෙන්ද තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

490 views