මිනුවන්ගොඩ පමණක් කඩ 32කට පහර දීලා.. ඒ අතර සිංහල කඩ 05ක්.. අත්අඩංගුවට ගත් 49න් 23ක් අහිංසකයන්..

May 21, 2019 at 6:48 pm | lanka C news
මිනුවන්ගොඩ පමණක් කඩ 32කට පහර දීලා.. ඒ අතර සිංහල කඩ 05ක්.. අත්අඩංගුවට ගත් 49න් 23ක් අහිංසකයන්..

වැරැදි කළ අයට දඬුවම් දීමේ වරදක් නැති නමුත් මිනුවන්ගෙඩ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන කිසිදු වරදකට සම්බන්ධ නොමැති 23 දෙනා නිදහස් කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ නගරයේ හට ගත් අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් 49 දෙනාගෙන් 23 දෙනකුම නිවැරැදිකරුවන් යැයි දැනගන්නට ඇති බව පැවසූ රණතුංග මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමට සූදානම් බවත් පැවසීය.

රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ නගරාශ්‍රිතව සංචාරයක නිරත විමෙන් අනතුරුව මිනුවන්ගොඩ නගර සභාවේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. සිද්ධිය වන අවස්ථාවේ දී යුරෝපයේ සංචාරයක නිරත වෙමින් සිටි රණතුංග මහතා දිවයිනට පැමිණීමෙන් පසු මෙම සංචාරයේ නිරත විය.

මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය වෙත ගිය රණතුංග මහතා විහාරාධිපති හැවලතැන්නේගම සීලරතන හිමියන් බැහැ දුටුවේය. සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින කිහිපදෙනකුගේ මාපියන් එහි පැමිණ සිටි අතර ඔවුහූ රණතුංග මහතා වෙත කරුණු ඉදිරිපත් කළහ.

අනතුරුව හීනටියන ධම්මාලෝක පොත් ගුල් විහාරස්ථානය වෙත ගිය රණතුංග මහතා එහි විහාරාධිපති අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ මහානායක හීනටියන නන්දතිස්ස නාහිමියන් බැහැ දැක කරුණු විමසුවේය. අනතුරුව මිනුවන්ගොඩ මුස්ලිම් දේවස්ථානය මෙන්ම විනාශ වූ ව්‍යාපාරික ස්ථාන ද නිරීක්ෂණයට ද රණතුංග මහතා සහභාගී විය.

මහා සංඝරත්නය මෙන්ම ජනතාව ද රණතුංග මහතා හට පෙන්වා දුන්නේ මෙම ප්‍රහාරයට ආරම්භ කර ඇත්තේ මිනුවන්ගොඩට පිටින් පැමිණි පිරිසක් බවය. එසේම අත්අඩංගුවට ගත් 49 දෙනා අතරින් 23 දෙනකුම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති නිවැරැකරුවන් බවත් ඔවුහූ පෙන්වා දුන්හ.

විශේෂයෙන් හීනටියන ධම්මාලෝක පොත්ගුල් විහාරස්ථානයේ දායක සභාවේ පිරිසක් මෙන්ම එහි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ හුණු ආලේප කිරීමට පැමිණි බාස් කෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම පිරිස් වෙනත් ස්ථානවල දී අත්අඩංගුවට ගෙන ඇති බවට සටහන් යොදා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී හෙළිදරව් විය.

මැයි මස 13 වැනි දා හට ගත් මෙම අවාසනාවන්ත සිදුවීම නිසා ව්‍යාපාරික ස්ථාන 32කට හානි වී ඇති අතර සිංහල ව්‍යාපාරික ස්ථාන 5ක් ද ඒ අතර ඇති බවට කරුණු ඉදිරිපත් විය. අගතියට පත් ව්‍යාපාරිකයන් සමඟ මිනුවන්ගොඩ නගර සභාවේ දී සාකච්ඡා කළ රණතුංග මහතා නගරය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

සාකච්ඡාවෙන් අනතුරුව මිගමුව බන්ධාගාරය වෙත පිටත්ව යාමට පෙරාතුරව මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේද ප්‍රකාශ කළේය.

මෙම අවාසනාවන්ත සිද්ධිය වන විට මම විදේශ ගත වෙලයි හිටියේ. නමුත් මේ කාරණය දැන ගත්තු වහාම නගරාධිපතිවරයා, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු බලධාරීන් දැනුවත් කරලා අවශ්‍ය පියවර ගන්න මම උපදෙස් දුන්නා. මට දැනගන්නට තිබෙන කරුණු කාරණා අනුව පැහැදිලි වෙනවා මෙම සිද්ධිය වළක්වාගන්න ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් නොකරපු බව.

පසුගිය පාස්කු දිනයේ එල්ල වූ ප්‍රහාරය මෙන්ම 13 වැනි දා ප්‍රහාරයත් වළක්වා ගත හැකිව තිබුණු නමුත් ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා වළක්වා ගැනිමට බැරි වූ ප්‍රහාර ලෙසයි මා දකින්නේ. ඒ නිසා ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මෙම ප්‍රහාර දෙකටම වගකියන්න ඕනේ. එපමණක් නොවෙයි ආණ්ඩුව මේ වගකීම භාර අරගෙන වහාම ඉල්ලා අස්විය යුතු බවත් මම දැඩිව කියා සිටිනවා.

ප්‍රහාරයන්ට පෙර ඇති වූ තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගන්න ආණ්ඩුවට හැකි වුණා නම් මෙම අවාසනාවන්ත සිදුවීම් ඇති වෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවක් තිබුණා නම් මෙවැනි තත්ත්වයක් අපේ නගරයේ ඇති වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ කියන එකත් පැහැදිලිව කියන්න ඕනේ. අපි මේ නගරය වසර ගණනාවක් තිස්සේ ඉතා සාමකාමිව පවත්වාගෙන ආවා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා.

මට දැනගන්නට තිබෙන කරුණු අනුව මෙම ප්‍රහාරයට ආරම්භ කරලා තියෙන්නේ පිටින් පැමිණි පිරිසක් විසිනි. ප්‍රහාරය නිරීක්ෂනය කරන විට පැහැදිලි වෙනවා මේ පසුපස අදෘෂ්‍යමාන හස්තයක් තිබෙන බව. එසේම එම හස්තය රාජ්‍ය අනුග්‍රහය ලැබ ඇති බවකුත් පෙනෙන්නට තිබෙනවා. මොකද රාජ්‍ය අනුග්‍රහය නොමැති පිරිසකට මෙපමණ ආරක්ෂාවක් තිබියදී නගරයට ප්‍රහාරයක් එල්ල කරන්නට බැහැ.

ඒ නිසා ආණ්ඩුව වහාම මෙම ප්‍රහාරය පසුපස ඇති හස්තය රටට හෙළිදරව් කරන්න ඕනේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ සිත්වල හටගෙ තිබෙන අප්‍රසාදය වෙනතක හැරවීමේ අරමුණෙන් මෙම ප්‍රහාරය එල්ල කළාදැයි අපට සාධාරණ සැකයක් තිබෙනවා. ඒ නිසා පොහොට්ටුවේ අපේ දිහාවට ඇඟිලි දිගු නොකර වහාමා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා.

එසේ නොවුවහොත් ඉදිරියේ දී බලයට පත්වන අපේ රජයක් මගින් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කර වගකිවයුත්තන් හට දඬුවම් කිරීමට කටයුතු කරන බවත් කිය්නන කැමැතියි. ඒ වගේම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පිරිස සම්බන්ධයෙනුත් අපට විශාල ගැටලු තිබෙනවා. පොලීසිය ඇත්තටම අල්ලගෙන තියෙන්නේ වැරැදිකරුවන් ද කියන ප්‍රශ්නය ජනතාව තුළත් තිබෙනවා.

අත්අඩංගුවට ගෙන තිබෙන 49 දෙනා අතරින් 23 දෙනකුම නිවැරැදි පුද්ගලයන් බවයි අපට දැනගන්නට තිබෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ අය වහාම නිදහස් කරන්න කියලා. වැරැදිකරුවන්ට දඬුවම් දෙන එක ගැටලුවක් නොවන නමුත් නිවැරැදිකරුවන් හිරගෙට දැක්කවිම අනුමත කරන්න අපට බැහැ. මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හොරුන් නිදහස් කරලා හොඳ මිනිස්සු හොරුන් කරන එක.

ආණ්ඩුව බලයට ආවේ යහපාලනය, සහජීවනය, සංහිඳියාව කියන වචන මුල්කර ගෙනයි. මේ වන විට එම වචන තුනම අර්ථශූන්‍ය වචන කරන්න ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. මේක යහපාලන ආණ්ඩුව නෙමේ වහපාලන ආණ්ඩුව කියලා මම මුල ඉඳන්ම කිව්වේ ඒ නිසයි. ආණ්ඩුවේ සහජීවනය දිහා බලා නොඉඳ අපි අපිම එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳා ගමු.

මුස්ලිම් ජනතාවගෙනුත් මම ඉල්ලා හිටින්න කැමැතියි මේ ප්‍රශ්නයෙදි තමුන්නාන්සේලාගේ අවංක බව අනෙක් අයට පෙනෙන්නට ඉඩ හරින්න කියලා. අපි දන්නවා සියලුදෙනාම ත්‍රස්තවාදයට සහයෝගය නොදෙන බව. ඒ නිසා තමන් අතර හැංගිලා ඉන්න ත්‍රස්තවාදීන් අපට පෙන්නා දීලා අවංකව භාවයෙන් යුක්තව ආරක්ෂක අංශවලට සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

80 views

4 Comments to “මිනුවන්ගොඩ පමණක් කඩ 32කට පහර දීලා.. ඒ අතර සිංහල කඩ 05ක්.. අත්අඩංගුවට ගත් 49න් 23ක් අහිංසකයන්..”

  1. Lokka says:

    All politicians please stay away from the police work. Your involvement make matters complicated and allow real culprits to get away. As the politicians you must have the faith in the country’s legal system.
    Let the police and judicial system handle, politicians get back to the work you supposed to do.

  2. john the baptice says:

    එන මැතිවරනයේදී මේවාට මුන්ට පිළිතුරු ලැබේවි

  3. දේවක says:

    23 දෙනා මුගෙ හෙන්චයි සෙට් එක වෙන්න ඇති. උන් ඉතින් අහිංසකයි තමා.

  4. danuskha says:

    මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි හොරුන් නිදහස් කරලා හොඳ මිනිස්සු හොරුන් කරන එක.
    ඒ හින්දමයි අද තොපිත් එලියේ ඉන්නේ

Main News