මුතුරාජවෙලට ඇත්තටම ආදරේ නම් කල යුත්තේ අපිත් සමග එකතු වීම..

March 5, 2021 at 4:40 pm | lanka C news
මුතුරාජවෙලට ඇත්තටම ආදරේ නම් කල යුත්තේ අපිත් සමග එකතු වීම..

‘මුතුරාජවෙලට ඇත්තටම ආදරේ නම් කල යුත්තේ අපිත් සමග එකතු වීම’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේද කීය.

මුතුරාජවෙල කියලා කියන්නේ අපේ රටට ඉතාමත් වැදගත් ජෛව වටිනාකමක් තියෙන තෙත්බිම් කලාපයක්. ඒක රැකගන්න ඕනේ කියන කාරණාව ගැන විවාදයක් නෑ. ඒක අලුතින් පටන් ගත්ත සාකච්ඡාවක් නොවෙයි, මේ සාකච්ඡාව ඉතාමත් ප‍්‍රබල ලෙස මතු වුණා මීට දශක කිහිපයකට පෙර. 1991 එවකට පැවති රජය කමිටුවක් පත්කළා අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණ කමිටුවක් ඒ වෙලාවේ මේ මුතුරාජවෙල රැක ගැනීම සඳහා. ඒ වෙලාවේ ඔවුන් කරපු සමීක්ෂණවලින් ඔවුන් හඳුනා ගත්තා මුතුරාජවෙල තියෙන තෙත් බිම් ප‍්‍රදේශය පමණක් හෙක්ටයාර් තුන්දාහකට වඩා වැඩියි කියලා 3064ක්. නමුත් අද දශක තුනක් ගතවෙලා ඒ කාරණය ඉටු කරගන්න බැරිවෙලා තියෙනවා මේ රටට. අපිට මේ තෙත්බිම ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. අද මුතුරාජවෙලට ඉතිරිවෙලා තියෙන්නේ හෙක්ටයාර් දාහකට වැඩි ප‍්‍රමාණයක් පමණයි එතකොට හෙක්ටයාර් දෙදාහක් පමණ පහුගිය කාලයේ අනවසරයෙන් පුරවලා විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන තියෙනවා. අද මුතුරාජවෙලට විශාල වශයෙන් කසල දමනවා. මුතුරාජවෙල විවිධ ජාවාරම්, විවිධ අනවශ්‍ය ක‍්‍රියාකාරකම් සිද්ද වෙනවා. මේ තත්ත්වය තවදුරටත් කෙරීගෙන ගියොත් තව දශකයක් දෙකක් යනකොට අපේ අනාගත පරම්පරාවට මේ මුතුරාජවෙල සම්පූර්ණයෙන්ම නැති වෙන්නට පුළුවන්. එහෙමනම් අපි මොකක්ද කරන්නට ඕනේ. තවදුරටත් ප‍්‍රමාද වෙන්නේ නැතුව අපි මේ මුතුරාජවෙල රැකගන්න යම්කිසි දැඩි ක‍්‍රියාමාර්ගයක් ගන්නට ඕනෙ. ක්‍ෂණික ක‍්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඉතින් අපි බලන්නට ඕනේ ඇයි මේ මුතුරාජවෙල අපිට රැකගන්න බැරි වුනේ මෙච්චර කල් කියලා. එහෙම නම් මෙතෙක් කරගෙන ආපු ක‍්‍රමවේදයම අපි ඉදිරියටත් කරගෙන යනවනම් ඒක රැකගන්න බැහැ කියන එක සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට වුණත් තේරුම් ගන්නට පුළුවන් වෙන්න ඕනේ.

අද මේ වර්තමානයේ මුතුරාජවෙල ගැන කතා කරනකොට සමහර අය පරිසරවේදියෝ විවිධ අය මත පළ කරනවා. එයාලා අහනවා ඇයි මේක වනජීවී අමාත්‍යංශයට නැත්නම් වනජීවී දෙපාර්තමේන්තුවට රැකගන්න බැරි කියලා.

අපේ වනජීවී ඇමති තුමත් මෙතැන ඉන්නවා මං පැහැදිලි කරන්නම් ඇයි මොකක්ද ඒ අයට තියෙන ගැටලුව කියලා.

අද මේ මුතුරාජවෙල ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අභය භූමියක් වශයෙන් නම් කරලා තියෙන ප‍්‍රදේශයක්. හැබැයි අභයභූමියක් කියල කිව්වට ඒක ජාතික රක්ෂිතයක් නෙමෙයි. ජාතික රක්‍ෂිතයකුයි අභයභූමියකුයි අතර වෙනසක් තියෙනවා. මොකද අභයභූමියක් කියලා කියන්නේ නම් කළ කලාපයක්. ඒක ආරක්ෂා කළයතු යැයි නම් කළ කලාපයක් මිස ඒකෙ අයිතිය වනජීවී දෙපාර්තමේන්තුවට සම්පූර්ණයෙන්ම නැහැ

ඒ කියන්නේ මුතුරාජවෙල හෙක්ටයාර් 1200ක් පමණ තියෙනවා නම් ඒ එක්දහස් දෙසීයෙන් යම්කිසි කොටසක් පමණයි වනජීවී දෙපාර්තමේන්තුවට අයිති. ඉතුරුවා තැනින් තැන පිහිටා තිබෙන පුද්ගලික ඉඩම් එතකොට මේ පුද්ගලික ඉඩම් වල යම් කිසි කෙනෙක් යම්කිසි කාර්යයක් කරනවා නම්. අනවසර ඉදිකිරීමක් කරනවානම්. කසල දමනවා නම් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමේදී බොහෝ සීමාවන් තිබෙනවා වනජීවී දෙපාර්තමේන්තුවට.
එහෙමත් නැත්නම් පහත්බිම් සංවර්ධන අධිකාරියට. මේ රාජ්‍ය ආයතන වලින් ගිහිල්ලා සමහරවිට නඩුවක් දාන්න පුළුවන් මෙයාලාට විරුද්ධව. හැබැයි නඩුවක් දැම්මහම මොකද වෙන්නේ නඩුවක් දැම්මාම ඒ නඩුව අහන සමස්ත කාලය තුළම ඒ භූමිය පාවිච්චි කරන්න පුළුවන් ඒ පුද්ගලයාට පමණයි, අයිතිකරුට පමණයි. රජයේ ආයතනවලට ඒවායේ ඇතුලට යන්න බැහැ. දැන් නඩුව අහලා තීන්දුවක් දෙනවා මෙතනින් එහාට ඉඩම් ගොඩ කිරීමක් කරන්න බැහැ කියලා. හැබැයි අර කාලය තුළ කරන්න ඕන ගොඩ කිරීම් ඔක්කොම කරලා ඉවරයි. ඉතින් ඒ වගේ සීමාවල් තියෙනවා.

එහෙමනම් මේක ජාතික රක්ෂිතයක් වශයෙන් නම් කරන්නට නම් මේ සියලූම පෞද්ගලික ඉඩම් අත්පත් කරගන්නට ඕනේ. මොකද රජයේ ඉඩමක් වෙන්නට ඕනේ ජාතික රක්ෂිතයක් වශයෙන් නම් කරන්නට නම්. එහෙම කරන්න ගියහම වනජීවී දෙපාර්තමේන්තුවට ගැටලූ කිහිපයක් මතු වෙනවා.

පළවෙනි කාරණය තමයි මේ ඉඩම් පවරා ගැනීමේදී නිකං පවරා ගන්නට බැහැ ඒ වෙනුවෙන් වන්දි ගෙවන්නට වෙනවා ඒ වන්දි ගෙවීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට වෙනම මුදල් දෙන්නේ නැහැ. ඒ කාරණය නිසා එතකොට ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය මුදල් දැනට නෑ. ඉදිරියේදී වුණත් ඒ සා විශාල මුදල් ප‍්‍රමාණයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ.

එතකොට දෙවෙනි කාරණය තමයි මෙහි ජීවත්වන ජනතාවක් ඉන්නවා මේ ජනතාව සමහරවිට අනවසරයෙන් අල්ල ගත්තු දේවල් අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ අතර සමහර විට තැනින් තැන විසිරී සිටින දුප්පත් අහිංසක මිනිස්සු ඒ මිනිස්සුන්ව අපිට පාරට දාන්න බැහැ ඒ මිනිස්සුන්ව එලවලා දාන්න බැහැ. ඒ අයට අපි විසඳුමක් දෙන්න ඕනේ. විකල්ප විසඳුමක් දෙන්න ඕනේ. හිසට වහලක් දෙන්න ඕනේ. අන්න ඒ කාරණය කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවට ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් ආයතනයකට හෝ ඒක කරන්න පුළුවන් අමාත්‍යාංශයකට ඒක බාර දෙන්නට ඕනේ. මෙන්න මේ කාරණය නිසා තමයි ජනාධිපතිතුමා තීන්දුවක් අරගෙන අපිට දැනුම් දීලා තියෙන්නේ මෙන්න මේ කාරණය මේ වගකීම බාරගන්න කියලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට.

මේ අමාත්‍යාංශය යටතේ ආයතන ගණනාවක් තිබෙනවා. ප‍්‍රධාන පෙල ආයතන දෙකක් තියෙනවා, එකක් තමයි නාගරික සංවර්ධන අධිකාරිය අනික තමයි පහත් බිම් සංවර්ධන අධිකාරිය මෙන්න මේ ආයතන දෙකම එකතු වෙලා තමයි මෙන්න මේ කාරණය මේ කාර්යය කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා අපිට කියන්නේ. එතකොට අපිට පැවරිලා තියෙන වගකීමක් තමයි මේ 1200ක් පමණ ප‍්‍රදේශයේ ඉතුරුවෙලා තියෙන තෙත්බිම් ටික රජයට පවරා ගැනීමේ කාර්යය කරන්නට. එතකොට මෙන්න මේ කාරණයේදී ඉඩමක් රජයට පවරා ගන්න පුළුවන් ආයතන ගණනාවක් තිබෙනවා රටේ, අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවා. ඒ සියල්ල අතුරින් ඉතාමත්ම ශක්තිමතම පනතක් තිබෙන්නේ මේ කාරණය ඉතාමත් ඉක්මනට කාර්යක්ෂම කරන්න පුළුවන් කම තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. එහෙම නැත්නම් පහත්බිම් සංවර්ධන අධිකාරියට එකතුවෙලා ඒ වැඩේ කරන්න පුළුවන්. එතකොට මේ ආයතන දෙකට තවත් විශේෂ හැකියාවක් තියෙනවා ඒ දේ තමයි ලංකාවේ තෙත්බිම් සංරක්ෂණය සඳහා අවශ්‍ය කරන තාක්ෂණික දැනුම දෙන ආයතන දෙක තමයි මේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කොළඹ අගනගරය රම්සා තෙත් බිමක් වශයෙන් ලෝක සම්මාන ලබන වෙලාවේ ලෝකයේ පළමුවැනි තෙත්බිම් අගනුවර බවට අපි පත්වෙච්ච වෙලාවේ ඒ කාර්යය කළේ මේ ආයතන දෙක එකතුවෙලා. එතකොට මේ ආයතන දෙක එකතු වෙලා තමයි ඒ සඳහා අවශ්‍ය කරන සියළුම සැලසුම් සකස් කරලා ඒවා ක‍්‍රියාත්මක කළේ. ඒ නිසා ඉතිහාසයේ ඒක කරලා තියෙනවා. ඒ නිසා අනාගතයෙත් ඒක කරන්න පුළුවන්.

සමහර වෙලාවට ජනතාව අතර සැකයක් තියෙනවා සැකයක් මතු කරන්න උත්සාහ කරනවා මේ නාගරික සංවර්ධන කියන වචනය නිසා මෙය අරගෙන සංවර්ධන කටයුතු සඳහාද මේකයොදවා ගන්නෙ කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදියි. මං ඔබට මුලිනුත් කිව්වා මේ කොළඹ නගරයේ වනෝද්‍යාන ඇති කරලා මේ පරිසරය ආරක්ෂා කරලා රට පුරාම මේ පරිසර ආරක්ෂණ සංකල්පය ගෙනියන්නේ මේ නාගරික සංවර්ධන අධිකාරිය. මේ නාගරික සංවර්ධන අධිකාරිය කියන්නේ කොන්ක‍්‍රීට් වනාන්තර ගොඩනැගීම නෙවෙයි. මේ අපේ සියලුම දේවල් හරිත වනාන්තර. හරිත නගර අපි ගොඩනගන්නේ. එතකොට මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමස්ත තෙත්බිම් කලාපය පවරාගෙන මේක වනජීවී අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික රක්ෂිතයක් බවට පත් කිරීම. ජාතික රක්ෂිතයක් සහ රම්සා තෙත් බිමක් මෙන්න මේ මූලික අරමුණු දෙක පදනම්ව ඒක පැහැදිලිව සඳහන් කරලා තමයි අපි මේක පවරා ගන්නවා නම් පවරා ගන්නේ. එතකොට එය මුලින්ම සදහන් කරලා ගැසට් කරලා පවරා ගත්තහම මේක රම්සා තෙත් බිමක් ඊට අමතරව ජාතික රක්ෂිතයක් මේකෙ ආයෙ වෙනත් සංවර්ධනයක් කරන්න බැහැ. ඒ නිසා කවුරුහරි කියනවා නම් මේකෙ කොන්ක‍්‍රීට් වනාන්තරයක් ඉදිකරන්න යනවා, මේකෙ ගෝල්ෆ් පිට්ටනි හදන්න යනවා, එහෙම නැත්නම් මේක ඩිස්නිලන්තයක් කරන්න යනවා කියලා ඒක සම්පූර්ණ වැරදි මතයක්. මොකද යම්කිසි ගැසට් එකකින් ඒකෙ අරමුණ පැහැදිලි කරලා ගත්තට පස්සේ මේ ආණ්ඩුව නෙවෙයි මොන ආණ්ඩුව ආවත් ඒ පනතේ ගැසට් වෙනස් කරන්නේ නැතුව ඒක වෙනත් කාර්යයක් සඳහා යොදවා ගන්නට බැහැ.

– midea unit

29,254 views

13 Comments to “මුතුරාජවෙලට ඇත්තටම ආදරේ නම් කල යුත්තේ අපිත් සමග එකතු වීම..”

  1. මෝ says:

    මුතුරාජවෙලට පමනක් නෙවෙයි රටට පරිසරයට සතා සීපාවට ආදරේ සියලුදෙනාම කල යුත්තේ මුන් 225ම පන්නා දැමීමයි.

Main News