මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ නඩු තීන්දුව 28ට කල් යයි

March 23, 2019 at 2:02 am | lanka C news
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ නඩු තීන්දුව 28ට කල් යයි

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය හා දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුව කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 28 වනදා දක්වා කල්දැමීමට මුලතිව් අධිකරණයෙන් නියෝග කොට සිටියේය.

මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා 22 දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් වැඩ බලන විනිසුරුවරයාට නඩුව විභාගය කිරීමට හෝ තීන්දුවක් ලබා දීමට අවස්ථාවක් නොමැති හෙයින් මෙසේ නඩුව ලබන 28 වනදා දක්වා කල් දැමීමට මුලතිව් වැඩබලන මහේස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.

පෙබරවාරී 12 වනදා මුලතිව් ගුරුකන්ද රජමහා විහාර භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් වාර්ථාවක් කැඳවා තිබූ අතර ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් මුලතිව් අධිකරණයේදී පෙනී සිටමින් අදාල වාර්ථාව ඉදිරිපත් කරමින් කියා සිටියේ මලුතිව් නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරය පුරාවිද්‍යා පනත මගින් නියාමනය වන පුරා විද්‍යා ස්ථානයක් බවටත් ගුරුකන්ද රජමහා විහාරය පවතින් ස්ථානයේ මුලතිව් කෝකිලායි මාර්ගය දෙපසම මැනුම්ගත කරන ලද පුරාවිද්‍යා ස්මාර්ක සහිත ප්‍රදේශයක් වන බවටත්ය.

කෙසේ වෙතත් මේ වන විට මුලතිව් අධිකරණයේ ගුරුකන්ද රජමහා විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය මගින් නඩු දෙකක් ගොනු කොට ඇති අතර ඉන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 81 වගන්තිය යටතේ පාර්ශවයන් දෙකක් අතර සාමය කඩවීම වලක්වාලීමට බැඳුම්කරයකට අත්සන් කල යුතුද නැද්ද සම්බන්ධයෙන් වූ නඩුව හා පුරා විද්‍යා භූමියකට ඇතුල් වී ස්වාමීන් වහන්සේට බැන තර්ජනය කොට පුරාවිද්‍යා භූමියේ කැනීමක් කල බවට වූ බී වාර්ථාව දෙවන නඩුව වෙයි.

පසුගිය ජනවාරී 14 වනදා ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියට අනවසරයෙන් පිරිසක් ඇතුල් වී මුල් ගලක් තැබීමකට සැරසීම නිසා ඇති වූ නොසන්සුන් තාවයක් හේතුවෙන් මුලතිව් පොලීසිය විසින් අදාල නඩු ගොනු කොට තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,256 Viewers
Main News