මෙරටට එන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව ඇත්තේ ලක්ෂ 15කට පමණයි..

April 1, 2021 at 5:30 pm | lanka C news
මෙරටට එන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව ඇත්තේ ලක්ෂ 15කට පමණයි..

විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවේ උසස් වර්ගයේ මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට අවශ්‍ය වෙලඳපළ දේශීය වශයෙන් ව්‍යාප්ත කිරිම තුළින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ මෙන්ම සංචාරක කර්මාන්තයද ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව  සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊයේ (31) කොළඹ දී පැවති මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සාමාජික හමුව අමතමින්  අමාත්‍යවරයා සඳහන්කළේ ජාත්‍යන්තර වෙළඳපලේ ශ්‍රී ලංකාවේ මැණික් සහ ස්වර්ණාභරණ ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

ඒ සමග ඇතිවී තිබෙන ව්‍යාජ මැණික් හා ස්වර්ණාභරණ වෙලඳපළ වෙනස් කොට ශ්‍රී ලංකාවට පැමිණ උසස් තත්වයේ ශ්‍රී ලාංකික මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමට  විදේශිකයින්ට අවස්ථාව සැලසීම මෙමගින් අපේක්ෂා කෙරෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

මැණික් හා ස්වර්ණාභරණ කියන්නේ අපේ රටේ පැරණිතම අපනයන භාණ්ඩයයි. අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණු කාලයේදී පවා අපේ මැණික් හා ස්වර්ණාභරණවලට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒ නිසා ලෝකය පුරා දේශීය මැණික් හා ස්වර්ණාභරණවලට හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. ඒ හොද වෙළෙඳ නාමය රැක ගැනීම අපේ වගකීමක්.

මෙරටට පැමිණෙන සංචාරකයාට අවශ්‍ය පහසුකම් සැලසීම අපේ යුතුකමක්. සංචාරක ආකර්ශනය දිනා ගන්න නම් අපි සංචාරකයින්ට පහසුකම් සපයන්න ඕනේ. ඒ වගේම සංචාරකයින් අපේ දේශීය නිෂ්පාදන මිලදී ගන්නා ආකාරයේ පෙළඹවීමක් ඇති කරන වැඩපිළිවෙළකුත් අපිට අවශ්‍යයි.

වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව සහිත සංචාරකයින් පැමිණෙන්නේ ලක්ෂ 15ක පමණ පිරිසක්. ආසියාතික රටවලින් පැමිණෙන සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හැරුණු කොට වියදම් කිරීමේ හැකියාවක් සහිත මෙම සංචාරකයින් පිරිස ඉලක්ක කර ගනිමින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම මඟින් ඩොලර් මිලියන 500ක පමණ විදේශ ආදායමක් ලැබිය හැකි බවයි  ක්ෂේත්‍ර යේ අය පවසන්නේ.  මැණික් හා ස්වර්ණාභරණ  සම්බන්ධයෙන් සංචාරක ආකර්ශනය ඇති වන ආකාරයේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව මම විශ්වාස කරනවා. ඒ සඳහා ඔබේ යෝජනා ඉදිරිපත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

ගුවන්යානා සඳහා ගොඩවන සංචාරකයින්ට අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන් සැකසුණු වීඩියෝ දර්ශන නැරඹීමේ අවස්ථාව ලබා දීම, ගුවන් තොටුපලේ සිට හෝටල් දක්වා යන මාර්ගවල වගේම හෝටල් පරිශ්‍ර තුල මෙවැනි වීඩියෝ සහ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන්  වැඩි සංචාරක ආකර්ශනයක් මේ ක්ෂේත්‍රයට ලබා ගැනීමට හැකි බව ඔබ පවසා තිබෙනවා. ඒ සමගම මැණික් හා ස්වර්ණාභරණ වෙළඳසැල් සංචාරක ප්‍රදේශ ඉලක්ක කරගෙන ආරම්භ කරනවා.

ඒ වගේම සංචාරක මග පෙන්වන්නන් හා සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත විවිධ රැකියාවල නිරතවන්නන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා, විශේෂයෙන්ම ආභරණවල වටිනාකමට වඩා වැඩි මිල ගණන්වලට ආභරණ විකිණීම වැනි දේ නිසා  කර්මාන්තය වගේම අපේ රටේ ප්‍රතිරූපය විනාශ වන බවත් ඔබේ පාර්ශවයෙන් දැනුම්වත් කර තිබෙනවා.

සංචාරකයින්ව ආභරණ වෙලෙද සැල්වලට ගෙනියන පිරිස හිතුමතේ කොමිස් ගැනීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වෙන බවයි බොහෝ අයගේ අදහස වෙලා තියෙන්නේ. මේවාට නියමිත ස්ථාවර කොමිස් මුදලක් නම් කරලා සංචාරකයින් රැවටීම වගේම අපේ රටේ කීර්ති නාමය ආරක්ෂා කර ගැනීමත් ව්‍යාපාරයේ නගා සිටුවිමට මහත් රැකුලක් වෙන බව විශ්වාසයි.

කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය අපේ රටට බලපෑම් කිරීමත් සමග ඔබේ ව්‍යාපර කඩා වැටීමට ලක්වුනා.නමුත් සංචාරක ව්‍යාපාර ආශ්‍රිත ව්‍යාපාරවල යෙදුනු අයට ලැබුණු සහන ඔබට ලැබුනේ නැති බවයි දැන ගන්නට ලැබුනේ. ඊට පිළියමක් විදියට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය යටතේ කර්මාන්තයක් ලෙස නම් කරන්න කියලා ඔබෙන් තවත් ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබෙනවා.

මේ සියලු ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර අවශ්‍ය පියවර ගන්න සංචාරක ඇමැතිවරයා විදියට මම සූදානම්. අපි සියලු දෙනාගේම අරමුණ වෙලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරය ආශ්‍රීත ආදායම් වැඩිකර ගැනීමයි. ඒක රටේ සංවර්ධන ක්‍රියාදාමයට සෘජුව බලපානවා.

ඉදිරි වසර තුන ඇතුළත මෙරටට පැමිණෙන සංචාරකයින්ට අවශ්‍ය මැණික් හා ස්වර්ණාභරණ සැපයීම තුළින් රුපියල් ඩොලර් බිලියන 1 මුදලක් මෙරට ආර්ථකයට එකතු කිරීම පෙරදැරිව කටයුතු කරන ඔබේ සේවය හා කැපවීම, අධිෂ්ඨානය මම අගය කරනවා. අපේ රට කියන්නේ ඛණිජ සම්පත්වලින් සපිරිණු භුමියක්. මිල කළ හැකි මැණික් ගල් වර්ග 72ක් අපේ රටේ තිබෙනවා. ඩොලර් 100 සිට ඩොලර් ලක්ෂ තුන දක්වා වූ මුදලකට මේවා අලෙවි කිරීමේ හැකියාව අපිට තිබෙනවා.

චීනය, හොංකොන්, ජපානය, සහ ගල්ෆ් කලාපිය රටවලත් අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණවලට හොද ඉල්ලුමක් පවතිනවා. ලංකාව හැරුණු විට මැණික් හා ස්වර්ණාභරණවලට වෙළෙඳපොලක් තියෙන්නේ තායිලන්තයේයි. අපි උත්සාහ කලොත් අපේ තැන තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා.

අපේ මැණීක් හා ස්වර්ණාභරණ කර්මාන්තය වැඩි දියුණුකිරීම සඳහා සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල මගින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ වැඩපිළීවෙල සකස් කරන අවස්ථාවේ ඔබව අමතක කර නැහැ.

කපා ඔප දමන මැණික් අපනයනය වෙනුවට නිමකරන ලද ස්වර්ණාභරණ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය නූතන අධීතාක්ෂණික උපකරණ ආනයන බදුවලින් නිදහස් කිරීමටත් සෞභාග්‍ය යේ දැක්ම වැඩපිළිවෙල මගින් යෝජනා කරලා තියෙනවා.

ඒ වගේම ඛනිජ වැලි ඩොලමයිට් පොස්පේට් මැණීක් වැනි දැනට හඳුනාගෙන ඇති වටිනාකම එකතු කිරීමෙන් තොර වූ අපනයනය කරන ඛණිජ සම්පත් එසේ අපනයනය කිරීම සීමා කොට වටිනාකම් එකතු කළ ඉහළ අපනයන ආදායමක් ලබාගත හැකි නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමත් යෝජනා වී තිබෙනවා.

ඒ වගේම මැණික් පතල් වැනි දේ දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීම මගිනුත් හොද ආදායමක් ඉපයීමේ හැකියාව තිබෙන බව මම විශ්වාස කරනවා. සංචාරක ආකර්ශනය දිනාගත හැකි නව මාවත් සම්බන්ධයෙන් අපි නිතරම විමසිලිමත් විය යුතුය.

මේ ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා කැපවී කටයුතු කරන ආණ්ඩුවක් බවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

– ප්‍රදීප් අනුර කුමාර

10,300 views

3 Comments to “මෙරටට එන සංචාරකයින්ගෙන් වියදම් කිරීමේ හැකියාව ඇත්තේ ලක්ෂ 15කට පමණයි..”

  1. Love nature says:

    ශ්‍රීලංකාවේ රත්නපුරයෙන් හමුවී ලොව ඉමහත් ප්‍රසිද්ධියට පත් මැණික් ගල් ගනනාවකි. එයින් ලොකුම නිල් මැණික කැරට් 563ක් බරය. ඉන්දීය ව්‍යාපාරිකයෙකු අතින් විදෙස් ගත්වූ නිසා අද එය හැඳින්වෙන්නේ “Star of India” යන නමිනි. මෙම මැණික් ගල දැනට ඇමරිකාවේ මැණික් කෞතුකාගාරයක තැන්පත් කර ඇති බව ප්‍රකටය. එහි දෙ‍ටු බෑයා Blue Giant of the Orient ය. එයද නිල් මැණිකක් වන අතර කැරට් 466 බරය. 19907 වසරේදී මෙම නැණිකද හමුවී ඇත්තේ රත්නපුරයෙනි. ලංකීය නිල් මැණික් පරපුරේ කනි‍ටු බෑයා කැරට් 423ක් බ‍රැති Logan Blue Sapphire ය. නිල් මැණික් පරපුරේ අනික් සාමාජිකයා Blue Belle of Asia ය. කැරට් 400 බට්=‍රැති මේ මැණික් ගල 1926 වසරේදී පැල්මඩුල්ලේ පතලකින් හමුවී තිබේ.
    නීලමානික්‍යය ශ්‍රීලංකාවෙ ජාතික මානික්‍යයයි. එය ප්‍රකශයට පත්කිරීම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව 2003 වසරේ ඔක්තෝඹර් 21 දා නව තැපැල්ක් මුද්දරයක්ද නිකුත් කලේය. ලංකවේ නිල් මැණික් වලට ලොව ඉහලම පිලිගැනීමක් තිබේ.

  2. sunimal says:

    මැණික්‌ පළඳින ඕනෑම අයෙක්‌ ජ්‍යොතිෂවේදියකු ලවා තම ජන්ම පත්‍රය නිවැරදිව පරීක්‍ෂා කරවාගෙන ඒ තුළින් කියෑවෙන සුබ අසුබ තත්ත්වය වටහාගෙන ඉදිරියේදී මුහුණ දීමට සිදුවන මාරක බාධක ඒරාෂ්ටක අපල දුරුකර ගනිමින් නිරෝගී භාවය කටයුතු සඵල තාවය ඉදිරි දියුණුව ඇතිකර ගැනීම පිණිස පැළඳිය යුතු මැණික්‌ වර්ගය හඳුනාගෙන තමන්ට අශුභපල උදාකරන්නා වූ ග්‍රහයන් ශුභ කර ගනිමින් කේන්ද්‍රයේ යෝගකරන ග්‍රහයන් බලවත්කර ගැනීම පිණිස සාදා ගන්නා මුදු, පෙන්ඩන්ට්‌, පංචායුධ ආදිය සුදුසු ජප මන්ත්‍රයකින් ජපකර හෝ පිරිතකින් පිරිත් කර සුබ දිනක සුබ හෝරාවකින් පැළඳීමෙන් යහපත උදාකර ගත හැකිය.

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මානව හිමිකම් කඩකරන රටවල් වලට සුද්දෝ එන්නේ නැහැ බයියෝ.