මෙරට පළමු හදවත් බද්ධ සැත්කම මහනුවර මහ රෝහලේ දී සාර්ථකව සිදු කෙරේ…

July 10, 2017 at 8:02 am | lanka C news
මෙරට පළමු හදවත් බද්ධ සැත්කම මහනුවර මහ රෝහලේ දී සාර්ථකව සිදු කෙරේ…

ශ්‍රී ලංකාවෙි ප්‍රථම හදවත් බද්ධය මහනුවර මහ රෝහලේ දී පසුගිය සිකුරාදා (07) සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුරාධපුරයේ පදිංචි වයස අවුරුදු 34 ක කාන්තාවකට මෙම හදවත් බද්ධය සිදු කර ඇත. ඇයගේ හදවත සියයට 12 ක් පමණ අකර්මණ්‍ය වී තිබූ බවත්, මොළය මිය ගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ බව ද මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. එම තරුණයාගේ වකුගඩු දෙක තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර ඇත. හදවත් බද්ධයකට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධයට භාජනය වූ රෝගීන් දෙදෙනා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මෙි වනවිට ප්‍රතිකාර ලබති. ඔවුන් සුවයෙන් පසුවන බවත්, ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරුන් ද දැඩි පරික්ෂාවෙන් සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

මෙම ශල්‍යකර්මය සදහා මහනුවර මහ රෝහල, පේරාදෙනිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහා රෝහල, වැලිසර ළය රෝහල, බොරැල්ල ළමා රෝහල යන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු එක්ව සිටියහ. හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම, උරස් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු ඊට ඇතුළත් වෙති. මෙම වෛද්‍යවරුන් සිදු කළ හදවත් බද්ධ කිරීම අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දුරකථනය ඔස්සේ එම වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ස්තූතිය පුද කර ඇත. මෙම වෛද්‍ය කණ්ඩායම හමුවීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 13 වන බ්‍රහස්පතින්දා මහනුවර මහ රෝහල වෙත යෑමට ද නියමිතය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

535 views
Main News