මේක ශාපයක් ‘රාජා භවතු ධම්මිකො’ කියලා ඇඟ බේරා ගන්න සූදානම් නෑ..

May 30, 2017 at 6:34 am | lanka C news
මේක ශාපයක් ‘රාජා භවතු ධම්මිකො’ කියලා ඇඟ බේරා ගන්න සූදානම් නෑ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.

”අධික වැස්ස හේතුවෙන් නාය යෑම් ජල ගැලීම් ආදියෙන් විපතට පත් සියළුම දෙනාට අපේ සංවේගය පල කරන අතර සියළු භේද පසෙක ලා විපතට පත් ජනතාවට සහන සැලසීමට එක් වන මෙන් අපි සමස්ත ජාතියෙන් ඉල්ලා සිටිනවා. අපි විපතට පත් අයට සහන සලසමින් ඒ ආදර්ශය දැනටමත් රටට දීලා තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ නායකයින් විපක්ෂයේ සිටිය දී සෑම විපතක්ම රාජපක්ෂවරුන්ගේ වරදක් ලෙස දැක්ක අයුරින් “මේක ශාපයක් රාජා භවතු ධම්මිකො“ කියලා ඇඟ බේරා ගන්න අපි සූදානම් නෑ. මේක ඇත්තෙන්ම ස්වභාවික විපතකට වඩා මිනිසා විසින් ඇති කර ගත් ව්‍යසනයක්. ඉංග්‍රීසියෙන් කියනවනම් man-made disasters ලෙස හදුන්වන්න පුළුවන්. මේ ව්‍යසනයට අපි හැමෝම වග කියන්න ඕනෑ කියන පණිවිඩය ලබා දෙන්න හොඳම වෙලාව තමයි ව්‍යසනයෙන් පීඩා විඳින මොහොත.

මේ දින වල වැස්ස පීඩාවක් බවට පත් වෙලා තිබෙන්නේ කෙටි කාලයක් තුල දැවැන්ත වර්ෂාවක් පතනය වීම. මීට හේතුව ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් සාගර ගංගා වැව් ආදියේ තිබෙන ජලය විශාල ලෙස වාෂ්ප වී වායුගෝලයට එක් වීමයි. මුහුදේ ජලය විශාල ලෙස වායුගෝලයට එක් වී ජල වාෂ්ප ඉහළ අහසේ ඝණීභවනය වෙමින් තිබිය දී මෝසම් සුළං මගින් ඒවා රට මැදට ගෙනැවිත් දැවැන්ත වැසි ලෙස පොලවට පතිත කරනවා. මේ ජල කඳ දරා ගන්න අපේ ගංගා සහ වැව් ප්‍රමාණවත් නොවන නිසා තමයි ජල ගැලීම් වලට මුහුණ දෙන්න සිදු වී තිබෙන්නේ.

ගෝලීය උණුසුම වැඩි වෙන්නේ ඉන්ධන දහනයෙන් කාබන් ද කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් මීතෙන් ද පරිසරයට එකතු වීමයි. ඔබට මතක ඇති මීතොට මුල්ල කුණු කන්දෙන් දැවැන්ත ලෙස මීතේන් වායුව පරිසරයට මුදා හැරෙන බව ජපන් විශේෂඥ කණ්ඩායමක් සොයාගත්තා. අපේ නාස්තිකාර අධිපරිභෝගිකවාදි ජීවන රටාව නිසා වැඩි වැඩියෙන් යන්ත්‍ර සූත්‍ර වැඩ කරනවා. වැඩි වැඩියෙන් භාණ්ඩ ප්‍රවාහනයට වාහන ඔබ මොබ යනවා. වැඩි වැඩියෙන් විදුලි උපකරණ භාවිතා කරනවා. මේ සියල්ල කාබන් පරිසරයට මුදා හරිනවා. ඒ වගේම පරිසරයේ ඇති කාබන් උරා ගන්නා ගස් කපා දැමීමෙන් මේ ප්‍රශ්නය උග්‍ර කර තිබෙනවා.

පරිසරය පිළිබඳ වැදගත්ම මූලධර්මය තමයි “ඔබ පරිසරය රකින තුරු පරිසරය ඔබ රකියි. ඔබ පරිසරය විනාශ කිරීමට උත්සහය දරත් නම් පරිසරය ඊට පෙර ඔබ විනාශ කර දමයි“ කියන එක. ඒ නිසා පරිසරය ඔබ විනාශ කිරීමට පෙර ඔබ පරිසර විනාශය නවත්වන්න කියන එක තමයි මේ ව්‍යසනය හරහා සොබා දහම අපට ලබා දී ඇති පණිවිඩය. මේ පාඩම ජනතාවගේ මතකයේ සෑම මොහොතකම තැබිය යුතු නිසා තමයි පරිසර ගීතය ලියු අරිසෙන් අහුබුදු ශූරීන් මේ වැදගත් පාරිසරික මූලධර්ම පරිසර ගීතයට එකතුකලේ. පරිසර ගීතයේ දෙවන පද පෙලේ කියනව

වලා සිබ ගලා යන නදී දිය නිරතුරුය
වන උයන් මල් උයන් ඵල උයන් විසිතුරුය
සිසිලසින් පණ පොවන මද පවන පිවිතුරුය
පරිසරය රැකෙන තුරු සොබා දම සුමිතුරුය

නමුත් දැන් වෙලා තියෙන්නේ පරිසරය විනාශකරන නිසා සොබා දම අපිත් එක්ක හතුරුවීමයි. ඒ වගේම ඊලග පද පෙලේ කියනවා,

තන්හාව ආශාව ඇයිද පොදි බදින්නේ
රටේ වන සම්පතට ඇයි පොරව නගන්නේ
සොබා දම කිපුනු දා සත්වගම නසන්නේ
පරිසරය රකින්නේ මුළු ලොවම රැකෙන්නේ

සැමදාම උදේට පන්සිල් ගන්නව වගේ මේ පරිසර ගීතය කියල මේ පාරිසරික මුලධර්ම සිතෙහි තබාගන්නවනම් අපි මෙවැනි ව්‍යයසනයන්ට මුහුන දෙන්නේ නෑ කියන එක මේ මොහොතේ සමස්ථ ජාතියටම අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල

175 views
Main News