‘අයවැය හදලා තියෙන්නේ මං හිටපු වෙලාවක නොවෙයි’ ජනාධිපති කියයි..

November 18, 2016 at 4:05 am | lanka C news
‘අයවැය හදලා තියෙන්නේ මං හිටපු වෙලාවක නොවෙයි’ ජනාධිපති කියයි..

ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මතකර ගැනීමට සහ එට්කා ගිවිසුම අත්සන් කිරීමට තීරණාත්මක ලෙස එරෙහි විය හැකි සැබෑ ජාතිකවාදී බලවේග ඊට පෙර පොඩිපට්ටම්කර දැමීමට පොටක් පාදා ගැනීමට වත්මන් ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.

ඒ අනුව ඉතාමත් සූක්ෂ්ම ලෙස ආණ්ඩුවේ ඇතැම් පිරිස් සිංහල-මුස්ලිම් ගැටුමක් ඇවිලවීමේ උත්සාහයක නිරතව සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මෙසේ අනතුරු ඇඟවූයේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මාධ්‍ය හමුවේදීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
”1815 දී උඩරට රජුගේ කෲරත්වයෙන් ගැලවෙන්නැයි කියලා සුද්දාගේ උදව් අරගෙන උඩරට පාලනය වෙනස් කරපු මිනිස්සුන්ට අවුරුදු 2-3ක් යන විට තේරුණා ”අපි හොඳටම රැවටුණා” කියලා. ඉන්පසුව ඒ රැවටුණු මිනිස්සුම 1818 වනවිට සුද්දාට විරුද්ධව නැගී සිටියා. එසේ නැගී සිටීමට ගත වුණේ අවුරුදු තුනක් පමණයි.

ඒ වගේම 2015 ජනවාරි 08 වැනිදා ‘යහපාලනය’ කියන වචනයට, මේ ආණ්ඩුව බලයට ගෙන එන්න කඩේ ගියපු අය කියපු දේවල්වලට, රතු අලිපැටව් කියපු දේවල්වලට රැවටුණු මිනිස්සු එදා වගේ අවුරුදු තුනක් ඉවසන එකක් නැහැ. අපි විශ්වාස කරනවා, ‘අවුරුදු 02කින් ඒ ජනතා නැගිටීම සිදුවේවි’ කියලා. මෙවර අය-වැයෙන් ඒ ජනතා නැගිටීමට අවශ්‍ය කරන උත්තේජනය ඕනෑවටත් වඩා සපයලා තිබෙනවා.

”මධ්‍යම පංතියට කණ පැලෙන්න දීලා”

මේ අය-වැයෙන් මධ්‍යම පංතියට කණ් අඩි පැලෙන්න පහර දීලා, පීඩිත ජනතාව මත පටවා තිබූ බර දෙගුණ තෙගුණ කරලා පමණක් නොවෙයි රටේ මුළුමහත් ආර්ථිකය විජාතිකකරණය කිරිමත් අරඹලා තිබෙනවා. පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ බලයෙන් කොටසක් මහ බැංකුවට පවරා තිබෙන බව අපි දන්නවා. නමුත් අද කොටින්ට උදව් කරපු මේ ආණ්ඩුවට හිතවත් පුද්ගලයකු සතු විදේශීය සමාගමකට මහ බැංකුවට අයිති කාර්යයන් පැවරිමට මේ අය-වැයෙන් යෝජනාකර තිබෙනවා. ඒ අනුව 2015 ජනවාරි 08 වැනිදා රැවටුණු මිනිස්සු නිසැක ලෙසම 2017 දී මේ ආණ්ඩුව පලවා හරින සටන අරඹාවි, කියා අපි විශ්වාස කරනවා.
”රාජ්‍ය නායකයා කවුද?”

ජල බිල්පත වැඩි වෙනවා. ජනාධිපතිතුමා කියනවා, ‘මම දැනන් හිටියේ නැහැ’ කියලා. රණවිරුවන්ට පහර දෙනවා, ජනාධිපතිතුමා කියනවා,’මම ජනාධිපති මන්දිරයේ හිටියා නම් පහර දෙන්න ඉඩ දෙන්නෙ නැහැ’ කියලා. දැන් අය-වැය ඡන්ද විමසීම ළං වෙනකොට ජනාධිපතිතුමා කියාවි ‘මම කොළඹ හිටපු වෙලාවක නොවෙයි මේ අය-වැය හදලා තියෙන්නෙ’ කියලා. මේක පුදුම තත්වයක්. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා වන්නේ විධායක ජනාධිපතිවරයායි. මේ ආණ්ඩුව බස් එකක් නම් රියදුරා වෙන්න ඕනේ ජනාධිපතිවරයායි. අගමැතිට කොන්දොස්තර වෙන්න පුළුවන්. දැන් වෙලා තිබෙන්නේ අගමැති රියදුරා වීම සහ ජනාධිපති කොන්දොස්තර වීම. අද බලෙන් රියදුරු වුණු අගමැති මේ බස් එක ‘එහෙ-මෙහෙ’ වද්දමින් ධාවනය කරනවා. සමහර වෙලාවට පාරේ ඉන්න මිනිස්සු හප්පා ගෙන යනවා. ඒ විතරක් නොවෙයි කොන්දොස්තර වුණු ජනාධිපතිවරයාව පාරේ දාලා ඉස්සරහට යනවා. අන්න ඒ වෙලාවට මේ කොන්දොස්තර වූ ජනාධිපතිවරයා කියනවා ‘ අනේ මම බස් එකේ හිටියා නම් මේ දේ වෙන්න දෙන්නේ නැහැනේ’ කියලා.

අද රියදුරා වෙන්න ඕනෙ කෙනා කොන්දොස්තර වෙලා. කොන්දොස්තර වෙන්න වෙන්න ඕනෙ කෙනා රියදුරු ආසනයේ වාඩිවෙලා. අද තිබෙන්නේ එවැනි අවුල්-වියවුල් ඇති ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට රටේ ඇති වී තිබෙන කිසිඳු ගැටළුවකට විසඳුම් නැහැ. අද ඩෙංගු රෝගයෙන් ඉතිහාසය පුරා මියගිය වැඩිම සංඛ්‍යාව මිය යනවා. ඒත් කිසිදු පිළියමක් නැහැ. රෝහල්වල බෙහෙත් නැහැ. මේ ආණ්ඩුව මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් කළ කිසිවක් නැහැ. ඒ නිසා ඉතා පැහැදිලියි මේ ආණ්ඩුව බලයේ සිටින මොහොතක් පාසා රට අරාජික වීමයි සිදු වන්නේ.

”සිංහල-මුස්ලිම් ගැටුමක් හදන්නයි සූදානම”

එසේ තිබියදි මේ ආණ්ඩුව ඉතා සූක්ෂ්ම අන්දමින් සිංහල-මුස්ලිම් ගැටුමක් අවුස්සලා ඒ ලේවලින් වාසි ගන්න හදනවා. නව ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ 2017 පළමු පාර්ලිමේන්තු සතියේ දින තුනක විවාදයක් පැවැත්වීමට නියමිතයි. එසේම එට්කා ගිවිසුම 2017 වසරේ මුල් කාර්තුව තුළ අත්සන් කිරීමට නියමිතයි. ඒ තීරණාත්මක වැඩ කරන්න කලින් මේ ආණ්ඩුව හිතනවා ‘මේ රටේ සැබෑ ජාතිකවාදී බලවේග පොඩිපට්ටම් කළ යුතුයි’ කියලා. ඒකට පොටක් පාදාගන්න තමයි සිංහල-මුස්ලිම් ගැටුමක් හදන්න කටයුතු කරන්නේ. මේ ආණ්ඩුව සහජීවනයේ නාමයෙන් අද අන්තවාදයට උඩගෙඩි දෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ තිබුණු සහජීවනයත් නැති වීම පමණයි. මේ ආණ්ඩුව අද කරන එකම දේ ජනතා මුදල් පොකට් ගැසීම පමණයි. ඒ නිසා අපි ලබන වසර මේ ආණ්ඩුව පරාජය කරන වසර බවට පෙරළමු. ඒ සඳහා පෙරට එන ලෙස දේශප්‍රේමී සියලු බලවේග වෙතින් ඉල්ලනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

10 views

2 Comments to “‘අයවැය හදලා තියෙන්නේ මං හිටපු වෙලාවක නොවෙයි’ ජනාධිපති කියයි..”

  1. sunil perera says:

    ගරු විමල් වීරවශ මහතානෙනි බෙහෝ ස්තූතියි.මේ පනිවිඩයට. මීලඟ පියවර ගැන දැනුවත් කරන්න

  2. Champa says:

    විමල්ගේ තව ලස්සන කතාවක්. “කොන්දොස්තර බස් එක එලවනවා”. ජනවාරි 8 වෙනිදයින් පස්සේ ලංකාවට වෙච්ච දේ ගැන කියන්න ඊට වඩා දෙයක් ඕනේ නැහැ. ජනාධිපතිතුමා විමල්ගෙ කතාව ඇහුවා නම් හිනා වුනාද, ලැජ්ජා හිතුනද?

    Quote: “මේ අය-වැයෙන් මධ්‍යම පංතියට කණ් අඩි පැලෙන්න පහර දීලා, පීඩිත ජනතාව මත පටවා තිබූ බර දෙගුණ තෙගුණ කරලා පමණක් නොවෙයි රටේ මුළුමහත් ආර්ථිකය විජාතිකකරණය කිරිමත් අරඹලා තිබෙනවා”. Unquote:

    හරියටම හරි. පහුගිය අවුරුදු 10 ඇතුලත උසස් ජීවන මට්මක හිටපු ගැමි ජනතාව පහුගිය අයවැයෙන් හිඟමනට දැම්ම වගේ යහපාලන ආණ්ඩුව කරන්න හදන්නේ මධ්‍යම පන්තියත් එක මට්ටමකින් පහලට දාන්න. අපේ රටේ මධ්‍යම පන්තියේ කොටස් කීපයක් තියෙනවා. 1. පහල මධ්‍යම පන්තිය 2. මධ්‍යම පන්තිය 3. ඉහල මධ්‍යම පන්තිය ඊළඟට මේ අතරේ “නව නාගරික මධ්‍යම පන්තිය” කියලා එකකුත් “නව වැඩ කරන මධ්‍යම පන්තිය” කියලා එකකුත් අර ප්‍රධාන මධ්‍යම පංති තුන අතරට තව කුඩා කණ්ඩායම් දෙකක් විදියට බිහි වෙලා තියෙනවා. මේ අයවැයෙන් ඒ හැමෝටම අධික බදු බරක් පටවලා. සුද්දවත් කිසි හිතක් පපුවක් නැති විදියට මෙහෙම බදු බරක් මිනිස්සු පිට පැටෙව්වේ නැහැ.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ ඒ කියන්නේ 2005 -2015 අතර රටේ සිදුවුණු විශේෂ වෙනස්කම්, ත්‍රස්තවාදය තුරන් වීම සහ සීඝ්‍ර ආර්ථික වර්ධනයත් එක්ක අපේ රටේ මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් පොහොසතුන් වෙන්න පටන් ගත්තා කියන එක හැමෝම දන්නවා වගේම දත්ත ඕනා තරම් තියෙනවා ඔප්පු කරන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු තමන්ගේ ආදායමෙන් සියයට 50 යි කෑමබීම වෙනුවෙන් වියදම් කලේ. අද කොහොමද? උහුලා ගන්න බැරි බදු බරක් පටවලා, රස්සා නැති කරලා, දුප්පතුන්ට දීපු සහනාධාර කපා හැරලා, ගොවිතැන සහ බෝග වගාව රාජ්‍ය අනුග්‍රහයෙන් පිරිහෙන්න ඇරලා මිනිස්සුන්ගේ ජීවිත ගැට ගහ ගන්න බැරිම තත්වයට පත් කරලා තියෙනවා. 2015ට ඉස්සෙල්ල හොඳට ජීවිතේ ගත කරපු මිනිස්සුන්ට අද හිඟා කන්න වෙලා. මහබැංකුව හොරා කාපු කම්බ හොරුන්ගෙන් ඒ සල්ලි අය කර ගන්නේ නැතුව රටේ ජනතාව පිට මේ තරම් බදු පටවන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ.

    “අපි ලබන වසර මේ ආණ්ඩුව පරාජය කරන වසර බවට පෙරළමු”. අනිවාර්යයෙන්ම ඔබ එක්ක ඉන්නවා. (දෙසැම්බර් 31න් පස්සේ පස්ස නොබලා කාටත් නොකියා යන්නම යනවා කියලා කලින් හිතුවට, මෙහෙම කියන කොට නැවතිලා ආපහු හැරිලා බලන්න හිතෙනවා).

    ”සිංහල-මුස්ලිම් ගැටුමක් හදන්නයි සූදානම” – විමල්ගේ මේ අනතුරු ඇඟවීම සිහි බුද්ධියෙන් ඉන්න හැම සිංහලයාම හිතට ගන්න ඕනේ කතාවක්. මේක ආණ්ඩුවේම නිර්මාණයක් කියන එකට එකඟයි. දෙමල මුස්ලිම් අන්තවාදීන් පෝෂණය කරන ගමන්, සිංහල දේශපාලන නායකයන් දඩයම් කිරීම රනිල්ගේ agenda එකේ මුලම තියෙන දෙයක්. ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය කිරීම ඒකේ එක පියවරක්. මීට කලිනුත් උත්සාහ කළා. හැබැයි මිනිස්සු ඒකට සම්මාදම් වුනේ නැහැ. ඒ වුනාට දැන් ආණ්ඩුවේ ඇමට අහුවෙච්ච කීප දෙනෙක් ඉන්නවා. සිරිපාදේ “Adam’s Peak” කියන ඉංග්‍රීසි කොටසේ කළු තීන්ත ගානවා වගේ ගොබ්බ වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. සිරීපාදය කියන්නේ බුදු හාමුදුරුවන්ගේ සිරි පතුල කියන එක හැමෝම දන්නවා. 1 වෙනි ශත වර්ෂයේ හිටපු විජයබාහු රජ්ජුරුවෝ කැලේ හැංගිලා හිටපු කාලේ තමයි සිරීපාදය ඉස්සෙල්ලම හොයා ගත්තේ. මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෝ (3 වෙනි ශත වර්ෂය) ලංකාවට ගොඩ බැහැලා සිරීපාදේ නැග්ගේ ග්‍රීක ගුප්ත විද්‍යාඥයෙක්/මැජික් කාරයෙක්ගේ උදව්වෙන් කියලා ඉතිහාසය කියනවා. හේතුව සිරීපාදය දෙවි දේවතාවුන් ආරක්ෂා කල නිසා කියලා අපේ ඉතිහාස පොතේ කියන කතාව ඒකෙන් තහවුරු වෙනවා. “ඉබන් බටුටා” සිරීපාදේ ගැන ලිව්වේ 14 වෙනි ශත වර්ෂයේ. “මාර්කෝ පෝලෝ” සිරීපාදේ ආවේත් 14 වෙනි ශත වර්ෂයේ. හින්දු ජාතිකයෝ හිතනවා සිරීපාදේ ශිව දෙවියන්ගේ කියලා. ක්‍රිස්තියානි මිනිස්සු හිතනවා සිරිපතුල සේන්ට් තෝමස්ගේ කියලා. මුස්ලිම් ජාතිකයෝ හිතනවා සිරිපතුල ආදම්ගේ කියලා. ජන කතාවල කියනව ඉස්සරම ඉස්සර සිරි පතුල ආරක්ෂා කරන්න උඩින් වහලා තියෙනකොට ඒකෙ පුංචි සිදුරක් තිබුනලු ඇහැ තියලා ඇතුල බලන්න. එහෙම බලනකොට පේනවලු ඇතුල දිලිසෙනවා. මිනිස්සු හිතල තියෙන්නේ මැණික් කියලා. ඇත්තටම පස්සේ කාලෙක දැන ගෙන තියෙනවා ඒ දිලිසිලා තියෙන්නේ පාෂාණ, ඒ කියන්නේ ගිනි කන්දක තියෙන ලාවා ගල් වෙලා කියලා මිනිස්සු විශ්වාස කරලා තියෙනවා. බුදු හාමුදුරුවෝ වෙනත් කඳු තියෙද්දී සමනල කන්දෙම සිරි පතුල තිබ්බේ ඇයි කියන එකට උත්තරේ විදියට සමනල කන්ද ගිනි කන්දක් වෙලා පිපිරෙන එක නවත්තන්න බුදු හාමුදුරුවෝ කන්ද මුදුනේ සිරි පතුල තිබ්බ කියන විශ්වාසය ඇති වෙලා තියෙන්නේ ඒ හේතුවෙන්. Adam’s Peak කියලා තිබුන පලියට ඒක ආදම්ගේ සිරිපතුල වෙන්නේ නැහැ. මේ ටික ලිව්වේ හැම ජාතිකයෙකුටම සිරිපතුල වඳින්න ඉඩ දෙන්න ඕනේ කියන අදහස දෙන්නයි. කරන්න ඕනේ එකම දේ සිරීපාදය අවට භූමිය ආරක්ෂා කරගන්න ආණ්ඩුව පියවර ගැනීම.

    මොනම ආකාරයේවත් ජාතිවාදී, ආගම්වාදී ගැටුම් වලට සම්බන්ධ නොවෙන්න සිංහලයා හොඳට හිතට ගන්න ඕනේ. නොයෙක් ප්‍රකෝප කිරීම් සිද්ධ වුනත්, සිහි බුද්ධියෙන් ඒ ගැන විමසා බලලා ඉවසීමෙන් යන්න යන ගමන යන්න ඕනේ. සිංහල වුනත් මුස්ලිම් වුනත් දෙමල වුනත් මේ උසිගැන්වීම් කරන මිනිස්සු එහෙම කරන්නේ මොකද කියන එක අළුතින් කියන්න දෙයක් නෙමෙයි. කලින් ටික දෙනෙක් මෙව්වට අහු වුනත්, ආයෙම ඒ වැරැද්ද සිද්ධ වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ.

    විමල් වීරවංශ මන්ත්‍රීතුමා, හැමදාම වගේ ඔබ කරපු මේ කතාවත් හුඟක් අර්ථවත්. මම වගේ ඉවසීමක් නැති කෙනෙකුටත් රටේ පාලන බලයේ වෙනසක් ලබන අවුරුද්දේවත් ඇති වෙයි කියන විශ්වාසය ඔබ දෙනවා. රට වෙනුවෙන් ඔබ කරන මෙහෙවරට ජාතියම ඔබට ණයගැතියි.

Main News