මේ වසර අවසාන වීමට පෙර රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට…
July 15, 2017 at 2:16 am | lanka C news
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක රාජගිරිය ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී මෙම ගුවන් පාලම මේ වසර අවසන් වීමට පෙර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව විෂයභාර අමාත්‍යවරයා පවසන ලදි.
ඉදිකිරීම් අවසන් අදියරේ සිදුකෙරෙන මෙම රාජගිරිය ගුවන්පාලම සඳහා රුපියල් මිලියන 4,700 ක් වැය වන අතර කොන්ත්‍රාත් කාලය මාස 32 කි. 2016.04.19 වන දින ආරම්භ කල පාලමේ ඉදිකිරීම් නියමිත කාලයට පෙර අවසන් කිරීමට හැකි වීම මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්්යක්ෂමතාවය කැපී පෙනෙන අවස්ථාවකි. පාලමේ දිග මීටර 542 ක් වන අතර ඊට මීටර් 180ක පිවිසුම් මාර්ගයක්ද ඇතුලත්වේ. මංතීරු 04 කින් යුතු මෙම ගුවන් පාලම ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය යටතේ ඉදිවේ. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සෙන්චූරියන් ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම සිදු කරයි.
මෙම නිරීක්ෂන චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඞී සී දිසානායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි, අධ්යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.
– රජිත සමරසූරිය