මෛත‍්‍රී-ගොටා ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මීලග පොලිස්පති ධුරයට..

September 15, 2018 at 3:03 pm | lanka C news
මෛත‍්‍රී-ගොටා ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මීලග පොලිස්පති ධුරයට..

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  ජනාධිපතිතුමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක යෙදී සිටින බවට සාක්ෂි ඉදිරිපත් වෙලා පැය 48 ට වැඩියි.  මේ වන තුරු  කිසිවෙකූ අත්අඩංගුවට අරගෙන නැහැ.  භික්ෂුන් වහන්සේ නමකට විරුද්ධව චෝදනා එල්ල වුණා නම් රණවිරුවෙකුට එරෙහිව චෝදනාවක් එල්ල වුණා නම් විපක්ෂයේ දේශපාලකයෙකුට විරුද්ධව චෝදනාවක් එල්ල වුණා නම් ක්ෂණික විහිදුම් බලකාය වගේ ක්‍රියාත්මක වෙලා කුදලාගෙන ගිහිල්ලා කූඩුවෙ දානවා.

පොලිසියේ ඉහළ නිළධාරියෙකු වරදක් කළාම මුලින්ම කළ යුත්තේ වැඩ තහනම් කිරීමයි. ඊළගට වහාම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුයි.  ඒ ඔහුට සාක්ෂි විනාශ කළ හැකි නිසා.  සාක්ෂිකරුවන්ට බලපෑම් කළ හැකි නිසා.  ඉහළම පොලිස් නිලධාරියෙකු නිසා පරීක්ෂකයින් ටත් බලපෑම් කරන්න ඉඩ තියෙනවා.

ඒ විතරක් නොවේ.  මේ නිලධාරියා කවට පොලිස්පතිගේ  සමීපතයෙක්. මොහුට විරුද්ධව විවිධ චෝදනා එල්ල වුණත් හැමදාම පොලිස්පති මෙයාව ආරක්ෂා කළා.   දිගන සිංහල – මුස්ලිම්  ගැටුමේ වරද මහසොහොන් බලකාය මත ‌‌බොරුවට පටවලා ඒ අයව අත්අඩංගුවට ගන්න කටයුතු කළේ නාලක ද සිල්වා.  2018 මාර්තු 7වැනිදා පූජ්‍ය ආරච්චි කුඹුරේ සෝභිත හිමිගේ බඩට පා පහරක් එල්ල කළේ නාලක ද සිල්වා.  අපේ රටේ බෞද්ධයෝ නැති නිසා නාලක ද සිල්වා බේරුණා.  බෞද්ධ රටක මේක වුනානම් නාලක ද සිල්වා මෙලහකටත් ඇතුලේ.

මම අමිත් වීරසිංහ බැලීමට අනුරාධපුර බන්ධනාගාරයට ගිය වෙලාවේ ඔහු අපූරු දෙයක් මා සමග පැවසුවා.  ඒ තමයි  “  දිගන සිදුවීම් පිටුපස ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශයක් දුන්නොත් පවුල පිටින් පිටරට පදිංචි වෙන්න අවස්ථාව ලබා දෙනවා ” යැයි  පවසමින් නාලක ද සිල්වා විසින් අමිත්ට බලපෑම් කළ බව.  මේ සිදුවීමෙන් පේන්නේ නාලක ද සිල්වා කියන්නේ ගෝඨාභය විරෝධී චරිතයක් බව.

මේ සෑම අවස්ථාවකම පොලිස්පති  මැදිහත්වෙලා නාලක ද සිල්වා බේරාගත්තා. තමන් ගෙදර යන විට ඊළඟ පොලිස්පති ලෙස නාලක සිල්වා පත්කිරීමට පොලිස්පති කටයුතු කරමින් සිටින බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨයෝ  අපට කියන්නේ.  මේ පසුබිම යටතේ පූජිත ජයසුන්දර මහතා පොලිස්පති තනතුරේ සිටින තුරු මේ පරීක්ෂණ අපක්ෂපාතීව සිදුවේවි යැයි අප හිතන්නේ නැහැ.  ඒ නිසා මේ පරීක්ෂණ ස්වාධීනව සිදුවීමට නම් වහාම පොලිස්පති ඉල්ලා අස් විය යුතුයි.

දෙව්දත් අජාසත්ත කුමාරයාට කිව්වාලු “  මම බුදුන් මරා  බුදු වෙන්නම්.  ඔබ පියා මරා රජ වෙන්න කියලා “  ඒ වගේ නාලක සිල්වා පොලිස්පති වෙන විට සිරිසේන ජනපති තුමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා යන දෙදෙනාම මරලා රටේ ජනාධිපති වෙන්නේ කවුද?  අපේ ව්‍යවස්ථාව අනුව ධූරකාලය මැද ජනපති ධූරය හිස් උනොත් ඊළඟ ජනාධිපති පත් කරන්නේ පාර්ලිමේන්තුව. මේ මොහොතේ පාර්ලිමේන්තු බහුතරය තිබෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බව පසුගිය අප්‍රේල් මාසයේ ඔප්පු වුණා.  ඒ නිසා ජනපති ඝාතනයක වාසිය හිමි වන පුද්ගලයා ලෙස අගමැති තුමා දෙසටත් ඇඟිල්ලක් දිගු වෙන්න පුළුවන්.  පොලිසිය තිබෙන්නේ එජාප ඇමතිවරයෙකු යටතේ.  ඒ නිසා ජනපති සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුවන බවට වගබලා ගැනීමේ වගකීමක් අගමැතිතුමාටත් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ අපේ රටේ රාජ්‍ය නායකයා.  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන්නේ අනාගත රාජ්‍ය නායකයා වෙන්න බොහෝදුරට ඉඩ තිබෙන පුද්ගලයා.  රාජ්‍ය නායකයා රකින්න ඉන්න පොලිසියම රාජ්‍ය නායකයා විනාශ කරන්න කටයුතු කරනවා නම් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කුමන කතාද?

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව ?

141 views