මෛත‍්‍රී ජාත්‍යන්තර සමුළුවක් අමතයි.. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයට පසුබැස සුළු ජාතීන්ට අසබ්‍යව සලකන රටවල් ගැන කියයි..

December 22, 2020 at 12:02 am | lanka C news
මෛත‍්‍රී ජාත්‍යන්තර සමුළුවක් අමතයි.. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයට පසුබැස සුළු ජාතීන්ට අසබ්‍යව සලකන රටවල් ගැන කියයි..

‘’ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක්’’ නම් ජාත්‍යන්තර සමුළුවට ප්‍රධාන දේශනය පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට ආරාධනා කරන්නේ ජපාන රජයයි. ජපාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය එම ආරාධනය ඉකුත් මාර්තු මාසයේදී නිල වශයෙන් ජපන් තානාපති කාර්යාලය හරහා සිදු කරන ලදී.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ජපානයට යෑමට බලාපොරොත්තුව වුවත් කෝවිඩ් වසංගත තත්වය හමුවේ එම සමුළුවට සහභාගී වීම සඳහා ජපානයට පිටත්ව යාම නොහැකි බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා දන්වන ලදි.

ඒ අනුව zoom වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම සමුළුව ඇමතීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා තිරණය කරන ලදි.

ජපාන ආග්‍රාමාත්‍යවරයා වන සුගා යොශිහිදේ මැතිතුමා ආරම්භක කතාව සිදුකරන අතර විශේෂ පණිවිඩයක් ඉංදීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතා එක්කරන ලදි.

මෙම සමුළුවේ වැදගත්ම ප්‍රධානම දේශනය සිදු කරෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යි.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ග්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා තෝරාගැනීමට ආසන්නතම හේතු සාධකය වූයේ ආසියානු කලාපය තුළ ගෙවුණු වසර 5 තුළදී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ස්ථාපිත කිරීමට කටයුතු කළ ප්‍රමුඛම රාජ්‍ය නායකයා ලෙස එතුමා පිළිගන්නා බවත් එතුමාගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට කලාපයේ සෙසු නායකයන් කැමැත්ත පළ කරන බවත් මේ අනුව එතුමා ග්‍රී ලංකාව වෙනුවෙන් ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයක් යන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට මාර්ගය විවර වෙන ලදී.

සම්පූර්ණ දේශණය මෙසේය.

ගෞරවනීය මැතිතුමනි, සම්භාවනීය භවතුනි, නෝනාවරුනි මහත්වරුනි,

සුබ සන්ධ්‍යාවක්.

අපේ දීර්ඝකාලීන මිත්‍ර ජපානයේ, අග්‍රාමාත්‍ය සුගා යොශිහිදේ මැතිතුමන්ට මම මුලින්ම සුබපතනවා. එතුමාට සහ අපේ අසල්වැසි මිත්‍ර ඉන්දියාවේ, අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝඩි මැතිතුමන්ට පසුව, “ආසියාවේ අපට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අගයන්” සම්මන්ත්‍රණය ඇමතීමට ලැබීම ඉමහත් සතුටක්. ඒ සඳහා ආරාධනා කළ අධ්‍යක්ෂ ජනරාල් කොබයාශි කෙනිචි මැතිතුමාටද ස්තුතියි.

                දෙවන ලෝක යුද්ධය අවසානය්දී, එවක අපේ මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන මැතිතුමා සැන් ෆ්‍රෑන්සිස්කෝ සමුළුවේදී, ජපානයට දැඩි පක්ෂපාතිත්ව ක්‍රියාකළ හැටි සිහිගැනෙනවා. ධම්මපදය උපුටමින් එතුමා පැවසුවා, “අපි ජපානයට මිත්‍රත්වයේ දෑත හා විශ්වාසය දිගු කරනවා. ජපන් ජනතාවටත්, අපටත් එක්ව සාමයෙන්, සෞභාග්‍යයෙන්, මිනිස් දීවියේ පූර්ණ ගෞරවය භුක්ති විඳිමින්, ඉදිරියට යාමට හැකිවේවි” කියා. ජපානය ඒ ප්‍රාර්ථනය ජයගෙන තිබෙනවා. මට ආරාධනයද ඒ මිත්‍රත්වයේ හා විශ්වාසයේ දෝංකාරයක් විය හැකියි.

               බෞද්ධාගමික ඉගැන්වීම් ශ්‍රී ලංකාවේ රාජ්‍යපාලනයට බලපාන නිසාම  මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදීත්වය හා බෞද්ධාගමික පෑහීම ගැන කතාකරන්නම්. බුදුරජානන් වහන්සේ අන්‍යයන්ට සැලකීමේදී අවධාරණය කළේ “සතර සංග්‍රහ වස්තු”වලට. ඒවානම්: අත්හැරීම් හා බෙදාහදාගැනීමට බැඳුනු ‘දානය’; එකිනෙකා අවබෝධයට බැඳුනු ‘ප්‍රිය වචනය”; ආර්ථික හා අධ්‍යාත්මික අංග හරවත් කළ ‘අර්ථචර්යාව;’ බිය හෝ අගතියෙන් තොරව යුක්තිය පසිඳලන ‘සමානාත්මතාව’යයි. මේවා ප්‍රජාතන්ත්‍රීය සිද්ධාන්ත සමගින් පෑහෙනවා.

                 තවද, රාජ්‍යත්වය පිළිබඳව බෞද්ධ අගයන් දසරාජ ධර්මයන්ගෙන් පැහැදිලි වෙනවා. ඒවාතුල ප්‍රජාතන්ත්‍රීය ගුණයන් සංකේතාත්මකයි. උදාහරණ ගත්තොත් “දානය” සුභසාධනයටත්, “සීලය” සද්චර්යාවටත්, “අවිහිංසාව” අවෛරී බවටත්, “ශාන්තිය” ඉවසීමටත් ආරෝපණය වෙනවා.

                        ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව අවසන් වන්නේ:

”දේවෝ වස්සතු කාලෙන
සස්ස සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකොච
රාජා භවතු ධම්මිකෝ” යන පැතුමෙන්.  

               ඉන් අදහස් කෙළේ: “කලට වැසි වසිත්වා; ගොවිදනට සරු අස්වැන්නක් ලැබේවා; ජනතාවට සෞභාග්‍ය උදාවේවා; රජු ධර්මිෂ්ට වේවා” යන්නයි. මින් ගම්‍යවන්නේ, රජයන් ලෙස අප අපේක්ෂාකරන සෞභාග්‍යය, ස්වභාව ධර්මය හා යහපාලන සිද්ධාන්ත තුල ගැබ්වී තිබෙන පලයක් බවයි. බෞද්ධ නිර්ණායක ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණයට බැඳෙන්නේ එහෙමයි.

               මාගේ දීර්ඝ දේශපාලන දිවියේදී, බුද්ධාගමටත්, ප්‍රජාතන්ත්‍රවාදයටත් පොදු  අගයන්වූ, සාමය, සමානාත්මතාවය, ප්‍රකාශන නිදහස, යුක්තිය ආදිය  දිනාගැනීමට සමත්වුනා. ජනාධිපතිවී මුල් වසරේදීම මගේ සුවිශේෂ බලතල මම ව්‍යවස්ථා සංශෝධනයකින් අත්හැරියා. උපරිම අධිකරණයන්ට, මානව අයිතිවාසිකම්, රාජ්‍ය සේවා, මැතිවරණ, පොලිස් ආදී කොමිසම්වලට පත්වීම්, නිර්දේශපාලනීයව ඉටුකළා.

                  මැකියවෙල්ලියානු දෘෂ්ටියකින් දේශපාලනය දෙස බලනවිට, අසීමිත බලහරණය, අනුවණකමකැයි සිතැවී. නියම ප්‍රජාතන්ත්‍රවාදීයෙකු  ජනතාව වෙනුවෙන් පෙනී සිටින නිසා තමන්ගේ දෘශ්ටිවාදය පවත්වා ගතයුත්තේ ස්වයං බලකාමිත්වයට නොවෙයි. මෙය දත් මා, බලය අත්හැරියේ වියහැකි පෞද්ගලික හානිය දැනදැනමයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ගේ අපරාජිතත්වයේ වැදගත්කම හදවත් පත්ලෙන්ම විශ්වාස කරමින්.

              මා ජනාධිපති ලෙස ශක්තිමත් තොරතුරු දැනගැනීමේ පනතක් නීතිගත කළා.  එය ප්‍රජාතන්ත්‍රවාදී හරයන්ගේත්, මානව නිදහසේත් ජයග්‍රහණයක්.

               සිය ජීවිතකාලයේදීම දරුවකුගේ මරණය හෝ අතුරුදහන්වීම, දැකීම, ඇසීම පරදවන ශෝකයක් දෙමාපියෙකුට නැහැ. සංහිදියාවට ගරුත්වයෙන්, අතුරුදහන් වුවන්ගේ කාර්යාලයත්, හානිපූර්ණ කාර්යාලයත් ස්ථාපනය කිරීම, අප බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රීය හා මානව හිතෛෂී අගයන්ට සාක්ෂියි. මේවා  ධනාත්මක සංඥාවන් ලෙස දෝංකාර වුනා. එවැනි  ප්‍රජාතන්ත්‍රවාදී, මානවවාදී කුලුණු ගැඹුරින් සිටුවීමෙන් මා දේශපාලනිකව අලාභ ලැබුවත්, මිනිස්කම පෝෂණයෙන් නොනිම් සතුටක් ලැබුවා.

                මීට සමාන්තරව, ගෝලීය දේශපාලනයේ, ස්වාර්ථශීලීව මෙම අගයන් වනසා දැමීමේ උත්සාහයන්ද තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සිට අර්ධ එකාධිපතිත්ත්වයට හෝ එකාධිපතිත්ත්වයට සමහර රටවල් පසුබසිනවා. විශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ අපේක්ෂා භංගකරමින්, සමහර නායකයින් මානුෂීය පදනම්වලින් ඉවත්වෙනවා. සමහර ප්‍රජාතන්ත්‍රවාදී රජයන්, සුළුජන ප්‍රජාවන්ගේ සුභසාධන හා මූලික අයිතිවාසිකම් සිඳිමින්, අසැබිව සලකමින්, වචනයෙන්, ක්‍රියාවෙන් වෛරශීලීව සිටීම පිළිකුල් සහගතයි. මේවා ඍනාත්මක සංඥා.

                  ධනාත්මක හා ඍනාත්මක සංඥාවලට හේතු පිරික්සුවහොත්, රටක් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් බෙදාහදාගත්තේද, නොගත්තේද යන්න සමග ඒවා  සමමිතික බව පෙනෙනවා. අදද මේ විෂමතා සැම තැනකම සිදුවෙනවා. මෙම සම්මන්ත්‍රණය ආසියා-කේන්ද්‍රීය වුවත්, මේ විශ්ව ප්‍රචලිතය, එය ගෝලීයවද වටිනා,  වලංගු, හා උචිත අභ්‍යාසයක් කරනවා.

                  ප්‍රජාතන්ත්‍රීය අගයන්ගේ බලපෑමට නතුවන අනුග්‍රාහක පිරිස් කවුරුන්ද? ඔවුන් දේශපාලනඥ කුලකගතයයි කෙනෙකු කියන්නට පිළිවනි.  ජනාධිපති බැරක් ඔබාමා පැවසු පරිදි ප්‍රජාතන්ත්‍රවාදී රටක වඩාත්ම වැදගත් රවැසියායි. පුරවැසියා ප්‍රජාතන්ත්‍රීය අගයන්ගේ හිමිකරු හා ප්‍රතිලාභියා වියයුතුයි මාද සිතනවා.

                  එහෙයින් පුරවැසියන්ගේ අවශ්‍යතා වඩාත්ම වැදගත්. එය, මූලික භෞතික පහසුකම් උසස්කිරීම, දරිද්‍රතාවය නැතිකිරීම, මානසික සුවය සැලසීම, යුද්ධ හා ගැටුම් තර්ජන මකාදැමීම, මානුෂීයත්ත්වය හා අන්තර්ජාතික සබඳතා වෘද්ධිය, ව්‍යසනයන්හිදී වින්දිතයන්ට සහායවීම සහ දේශගුණය හා පරිසරය අනාගතයට සංරක්ෂණය ආදී අනේකවිධි අභියෝගතා තිබිය හැකියි.

                  සම්මන්ත්‍රණයට සහභාගීවන්නන් බොහෝදෙනෙකු නියෝජනය කරන්නේ පුරවැසියන්. පුරවැසියන් අතිශයින්ම වැදගත් සාධකය නිසා, සෝදිසිය, නිතොර අධීක්ෂණය, මෙහෙයවීම ආදිය ඉතා වැදගත් වෙනවා. ඊට පුරවැසියන්ගේ, ඔවුන්ගේ නියෝජිතයින්ගේ ක්‍රියාවිධීන් ප්‍රශ්නකිරීම හා සියුම් පිරික්සුම අත්‍යවශ්‍යයි.

                පාර්ලිමේන්තු ආයතනයන්හිත්, ව්‍යවස්ථාවන්හිත් මේ සංවරණයට හා තුලනයට ඉඩදී තිබෙනවා. රාජ්‍ය ගිණුම් කාරක සභා, පෙත්සම් කාරක සභා, තේරීම් කාරක සභා ආදිය අපේ අත්දැකීම්. ඒවා ප්‍රජාතන්ත්‍රීය අගයන් හා ස්වාධීනතාවයන් ආරක්ෂාකරන මෙවලම්.

                ව්‍යවස්ථාවේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුළුණු මත, ශිෂ්ට ප්‍රජාතන්ත්‍රීය සංවරණයකට හා බලතුලනයකට ඉඩසලසනවා. කුළුණු තුනෙන් එකක්, අනික් දෙක තලාපෙලා ගියහොත්, එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් කරාවි.

                  අප ප්‍රජාතන්ත්‍රීය අගයන් හා යහසිද්ධින් සාකච්චා කරන විට, අන් බලවේග ප්‍රජාතන්ත්‍රීය අගයන් නෂ්ට කිරීමට ක්‍රියාකරනවා පෙනෙනවා.

                  සමහර ලෝක බලවතුන්, මෑනවීමෙන්, ගෝලීය ප්‍රචාරණයෙන්, තෙවැනි පාර්ශ්ව ආදේශනයෙන්, නිර්ලෝභීව සම්පත් විසිකරමින්, නැත්නම් යුදමය සන්ධානගතව, තම මව්බිමෙන් දුරස්ථව, බලය විහිදනවා. පළවැනි ලෝකයේ යුදබිම් තිබෙන්නේ ඔවුන්ගේ නිජබ්මෙන් බැහැර, බෙලහීන රාජ්‍යයන්ගේ භූමියේයි. යුද්ධ දුරස්ථව මෙහෙයවන්නන් සිටින්නේ යුදබිමෙන් ඈත බලවත් රටවලයි. බලවත් දේශයන් දේශපාලන නායකයින් මිලමුදලට ගනිතැයි චෝදනා ඇසෙනවා. මේවා ප්‍රජාතන්ත්‍රීය අගයන්ට බලවත් තර්ජනයක්.

 ප්‍රජාතන්ත්‍රීය, සංවර්ධිත ලෝකයේද, ජනප්‍රියවාදය, ජාතිකවාදය, ජාත්‍යාලවාදය සහ වාර්ගිකත්වාදය, ප්‍රජාතන්ත්‍රවාදී අගයන්වන පාරදෘශ්‍යභාවය,  නීතියේ ස්වාධිපත්‍යය, සමානාත්වතාවය ආදිය අභිභවා, සමාජ ආකර්ෂණය ලබන අයුරු අප දකින්නේ කනගාටුවෙන්.

                 විෂකුරු දළ සහිතව, සංවිධානයවූ ත්‍රස්තවාදී ධජ යටතේ, තවත් අවාසනාවන්ත අභියෝග මෝදුවනු අපට පෙනෙනවා. ඔවුන් අකාරුණික ප්‍රහාර සිදුකරනවා.  එමගින්, අන්තවාදීන්ගේ අභියෝගයට ප්‍රජාතන්ත්‍රවාදය විවරබවත්,  ප්‍රජාතන්ත්‍රවාදය අස්ථාවකරණය ඔවුන් දන්නා බවත් ප්‍රදර්ශනය කරනවා. ඒනිසා, කලාපයම එක්සත්ව විචක්ෂණයෙන් සිටීම වැදගත්.

                  නව තාක්ෂණයේ දියුණුව අප ‘දේශ සීමා යතාර්ථයෙන්’ ඉවත්කරනවා.  සයිබර් අපරාධ, ත්‍රස්ත ප්‍රහාර, පරමාණු විකිරණය ආදියෙන් ගැලවෙන්නට නොහැකි තත්ත්වයන් ගොඩනැගිලා. ඒවා දේශසීමා මායිම් තකන්නේ නැහැ.

                 දේශසීමා මායිම් අනවසරයෙන් ඉක්මවූ, කොවිඩ් 19 ඇතිකළ ආර්ථික ප්‍රශ්න මගින් ආර්ථිකයන් අස්ථායී වීමේ බිය තහවුරු වී අවසානයි. එහි ප්‍රතිපලවූ දේශීය හා අන්තර්ජාතික අසහනයන් තනිව වැළැක්විය නොහැකියි. එහෙයින් ප්‍රජාතන්ත්‍රීය රටවල ඒකාග්‍ර සහයෝගිතාවය අපට අවශ්‍යයි.

                 තාක්ෂනය ශ්‍රම සාධකය පසෙකට දමා, ආර්ථික නිෂ්පාදිතය සාපල්‍යව වැඩිකරලා. එහි ප්‍රතිපලයක් ලෙස සංවර්ධිත රටවල ශ්‍රමය, වියුක්තියට, දිළිඳුවීමට හෝ සූරාකෑමට පත්විය හැකියි. එමගින්, ආදායම බෙදීයාම විකෘති කරනවා; ක්‍රයශක්තිය අඩුකරනවා. ඉන්, අපේ නිෂ්පාදිතයන්ට ඔවුන්ගේ වෙළඳපොල ඉල්ලුම් සංකෝචනය වෙනවා. ඉන්, අප රටේ රැකියා වියුක්තිය වෙනවා. එය තීව්‍රවූ විට, ශ්‍රමික ගැටලුවලට පිළිතුරු ගෝලීයකරණයෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් නොලැබීම නිසා, ජනතාව ඒ දෙකම හෙළා දකිනවා; අවිශ්වාස කරනවා. එහි ප්‍රතිපල භයානකයි.

                   ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් වරක් ප්‍රකාශ කළා: “ගෝලීයකරණය අමිශ්‍ර පරිපූර්ණ භාණ්ඩයක් නොවෙයි. මුදුනේ ඉදිරියෙන් වේගයෙන් දුවන අයත්, මධ්‍යයේ යාම්තමින් එල්ලී සිටීමින් අමාරුවෙන් වෙහෙසෙන අය හෝ පතුලට වැටෙන අයත් අතර පරතරය ගෝලීයකරණයෙන් පුළුල් කර ඇත” කියා. කොවිඩ් 19 සමගින් මේ තත්ත්වය තවත් දරුණුවී තිබෙනවා. නව ඇමෙරිකන් ජනාධිපති ලෙස ඔහුත්, අන් සංවර්ධිත ජාතීනුත්, ගෝලීයකරණයෙන් හා කොවිඩ් 19 ආතතියෙන් ගැලවීම සඳහා ආසියාකරයේ අපට දක්වන ප්‍රතිචාර දෙස අපි බලාසිටිනවා.

                පොදු ජනයාට යහ ප්‍රතිචාර නොලදහොත්, ඔවුන් තුල භීතිය කුළුගන්වා, ඔවුන්ගේ චන්දය දිනාගෙන, ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර කිරීමට, දේශපාලන උද්ඝෝෂකයින්ට, කපටි ගැලවුම්කරුවන්ට හා බොරුකාරයින්ට මනා අවස්ථා උදාකරනවා.

             ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට ප්‍රහාරයන් එල්ලකරනු ඇති. ඔවුන් සංවේදී මනෝභාව පතුරුවා, පීඩිතව, අසරණව සිටින අප්‍රබුද්ධයින් රවටා, දේශපාලන බලය ලබාගැනීමට මාන බලනවා. බලවත් රාජ්‍ය, සමහරක් දුප්පත් රජයන් මූල්‍ය ගනුදෙනුවලට හිරකර, අවසානයේදී ඒ රජයන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමවේදයන්ට පොළඹවණු ඇති.

               මොවුන් භාෂණයේ නිදහස සමච්චලයට ලක්කරනවා; සන්නිවේදන පද්ධතීවලට කඩාවදිනවා; ස්වාධීන අධිකරණය අනීත්‍යානුකූල කරනවා; සිවිල් සමාජය ඔත්තුකරුවන් බව පවසා පරිහාසයට ලක්කරනවා; අන්තර්ජාලය, සමාජ මාධ්‍යය මගින් ව්‍යාජ තොරතුරු පතුරුවා, අභ්‍යන්තර බෙදීම් කුපිත කරනවා. මෙම ක්‍රියාදාම, ප්‍රජාතන්ත්‍රීය අගයන් ගරාවට්ටනවා.

අපට ඕනෑකරන්නේ, අනාගතයට මුහුණදීමට ප්‍රජාතන්ත්‍රීය අගයන් ප්‍රවර්ධනයයි.    මම එක් ප්‍රජාතන්ත්‍රීය අගයකට ඇති බලපෑම් පෙන්වන්නම්. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම ඇත්තේ මැතිවරණ පද්ධතිවලයි. අපි දේශපාලන කණ්ඩායම් ජයග්‍රාහී කොට, ඔවුන් ඒකාධිපතිත්වයට නැඹුරුවෙමින්, මහජන ගැටළු නොවිසඳන කොට පසුතැවෙනවා. නිවැරදි තෝරාගැනීම අප  ජන්දදායකගේ වගකීමක්. ඒ නිසා, ප්‍රජාතන්ත්‍රීය සමාජ වගකීම්, සිය බලය, අයිතීන්, බැඳීම්, සංවිධාන ක්‍රමවේදත් චන්දදායකයින්ට ඉගැන්වීම වැදගත්.

                  සමහර දියුණු රටවල් මැතිවරණ ක්‍රියාදාමයන්ට විදේශ මැදිහත්වීම් ගැන චෝදනා කරනවා. එය ඕනෑම රටක් මුහුණ පෑමට හැකි තත්ත්වයක්. ඊට එරෙහිවීමට මැතිවරණ අරමුදල් පරිහරණය, විනිවීදභාවය, මුදල් විශුද්ධිකරණ විරෝධී ක්‍රියාමාර්ග, මැතිවරණ කළමනාකරණ ආයතන සවිගැන්වීම, දූෂණ විරෝධී ආයතන ස්ථාපනය කිරීමට සිදුවෙනවා.

                 ප්‍රශස්ත ප්‍රතිපල ලබාගැනීමට, හඳුනාගත් දුබලතාවලට ප්‍රජාතන්ත්‍රීය ක්‍රමවෙදවලින් සහයදීමට පියවර ගතයුතුයි. එක්සත් ජාතීන් වැනි බහුපාර්ශවීය ආයතන දුබල පාර්ශවයන් අභිප්‍රේරණ කළයුතුයි. අප සමාජයන්හි නාඩි වැටෙන මධ්‍යස්ථාන වන නීතියේ ආධිපත්‍යය, දරිද්‍රතාවයෙන් ආරක්ෂණය, රාජ්‍ය යහපාලනය, ආක්‍රමණ හා වසංගත ආදියට ගොදුරුවූ රාජ්‍යවලට සහායදීම ආදිය අවශ්‍යයි.

            අපගේ කැපවීම මගින්, සැමට සමානාත්මතාවය, ගෞරවනීයත්වය, නීතියේ ස්වාධිපත්‍යට හා අධිකරණයේ ස්වාධීනත්වයට ගරුකිරීම, ව්‍යවස්ථානුකූල බල තුලනය, භාෂණ හා විරෝධථා නිදහස වැනි අගයන් පිලිගන්නා බව සැබවින්ම ප්‍රදර්ශනය විය යුතුයි. ඒවායේ ප්‍රතිපල, සක්‍රීය ප්‍රජාතන්ත්‍රීය සහභාගිත්වයෙන්, ප්‍රජාතන්ත්‍රීය මෙහෙයුම් සාර්ථකවීමෙන් හා ප්‍රජාතන්ත්‍රීයත්වයට හානිකර නාස්තික සිද්ධීන් සමාජයේ අඩුවීමෙන් පිළිබිඹු විය යුතුයි. ප්‍රජාතන්ත්‍රීය නවෝත්පාදන හා නිර්මාණශීලිත්වයේ දියුණුව අගැයෙන්නේ,  සමාජයේ සැමගේ හඬට සවන්දී, තුලනයවී, ප්‍රජාතන්ත්‍රීය ආයතන මගින් නායකයින් පුරවැසියන්ට වගවී, කිසිවෙකු නීතියට ඉහලින් නොසිටින විටයි. මේවා අපේ අගයන් හා අපේක්ෂා වියයුතුයි.

                ජයග්‍රාහී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වරක් පැවසුවා, ඇමෙරිකාවේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ව්‍යවස්ථා සම්මේලනයෙන් පිටව යනවිට, පුරවැසියන් පිරිසක් ඔහුගෙන් විමසුවාලු,  “නියෝජිතයින් කුමන අන්දමේ ආණ්ඩුවක් පිලිබඳ තීරණයක් ගත්තේද?’ කියා. බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් පැවසුවේ,  “සමූහාණ්ඩුවක්. එය ඔබට පවත්වා ගත හැකිනම්!” කියා. එතුමා එයින් අදහස් කළේ, ප්‍රජාතාන්ත්‍රීක අගයන් රැකගැනීමේ භාරදුර වගකීමක් ජනතාව මතටද පැවරෙන බවයි.

               ජෝ බයිඩන් අනතුරුව පැවසුවා: “ප්‍රජාතන්ත්‍රවාදය උද්‍යෝගීබව ඉල්ලා සිටිනවා; ප්‍රජාතන්ත්‍රවාදයෙහි නිරතවීම ඉල්ලා සිටිනවා; සමහරවිට ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසියන්ගේ පරිත්‍යාගය ඉල්ලා සිටිනවා”.  ෆ්‍රෑන්ක්ලින්ගේ  සමූහාණ්ඩුවට මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදයත් ‘පවත්වා ගැනීමේ’ අභියෝගයත් විශාලයි.

               මා විශ්වාස කරනවා, මේ සම්මන්ත්‍රණයේ සහභාගිවන්නන් උද්‍යෝගීබවට, නිරතවීමට හා පරිත්‍යාගයට ඉල්ලීම් සපුරාලීමට කැපවේවි කියා. එසේ කැපවී, එක්සත්ව නැගී සිටින්නේනම්, අපට ජයග්‍රහණය සහතිකයි.

                න්‍යශ්ටික අවි හරණය සහ ලෝක සාමය වෙනුවෙන් කැපවුනු, නාගසාකිහි පුරපතිවූ ඉක්කෝ ඉතෝ මානවවාදියා, නාගසාකි සාම ප්‍රකාශනයේ සාමය  සහ අවිහරණයට ලෝක ජනතාව එකට අත්බැඳ සිටීමට ආයාචනය කළේ, එය, නාගසාකි අඹරේ සාමයේ සීනු පැහැදිලිව හා මහ හඬින් හඬ නගනු ඇතැයි යන ප්‍රාර්ථනය සමගිනුයි.  ප්‍රජාතන්ත්‍රවාදී හරයන් අතිප්‍රබෝධ කිරීමට පවත්වන මේ සම්මන්ත්‍රණයෙන් බිහිවන අදහස්, නිර්දේශ, පිළියම් නම් සීනු, පැහැදිලිව හා මහ හඬින් ආසියාකර අහසේ ඉක්මනින්ම දෝංකාරදෙනු ඇතැයි හදපත්ලෙන්ම  ප්‍රාර්ථනා කරනවා.

මෙම සම්මන්ත්‍රණය සාර්ථක වේවා.  මා හට  සවන් දුන්නාට බොහොම ස්තුතියි.

– මාධ්‍ය ඒකකය

45,533 views

28 Comments to “මෛත‍්‍රී ජාත්‍යන්තර සමුළුවක් අමතයි.. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ඒකාධිපතිත්වයට පසුබැස සුළු ජාතීන්ට අසබ්‍යව සලකන රටවල් ගැන කියයි..”

  1. Thilak says:

    Village eat kerala athi

Main News