මොන්ටිසෝරි යමපාලන බබාලා වැට් පනත අතිවිශිෂ්ට හතරවන අවස්ථාවටත් ඇණ ගනී.. වැට් පනතේ රස රහසක්..

October 10, 2016 at 3:50 pm | lanka C news
මොන්ටිසෝරි යමපාලන බබාලා වැට් පනත අතිවිශිෂ්ට හතරවන අවස්ථාවටත් ඇණ ගනී.. වැට් පනතේ රස රහසක්..

පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

වැට් පනතට මෙදාත් වැඩ වරදි ?

මොන්ටිසෝරි යමපාලන බබාලා එකතු වෙලා අතිවිශිෂ්ට හතරවන අවස්ථාවටත් වැට් බදු පනත් කෙටුම්පත ඇණ ගෙන තිබෙනවා.  පසුගිය දෙවතාවේ සිදු කළ වැරදි නිවැරදි කර ගෙන තිබුණත් අළුත් වැරදි කරලා තිබුණා.  ඒ නිසා මෙම වැට් බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඈ), 12(1) සහ 12(2) සහ 14(1)(උ) යන වගන්ති වලට පටහැනි බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා මම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

නිදසුනක් ලෙස ගත්තොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය.  ඒ අනුව ජනතාව යම් වර්ගීකරණයක් කරනවා නම් ඒක තාර්කික විද්‍යාත්මක පදනමක් සිට කලේ නැති නම් මේ වගන්තියට පටහැනි වෙනවා.  දැන් වැට් පනතේ වකුගඩු රෝගීන්ගේ පාරවිලනය නැතිනම් ඩයලිසිස් කිරීම වැට් බද්දෙන් නිදහස්.  නමුත් අනෙකුත් පාරවිලනයන් එහෙම නෑ.  බාහිර රෝගීන් වැට් බද්දෙන් නිදහස්.  නමුත් නේවාසික රෝගීන් වැට් බද්දට යටත්.  මෙවැනි අතාර්කික වර්ගීකරණයකට 12(1) වගන්තියෙන් ඉඩක් නෑ.

මැයි 02 සිට ජූලි 11 දක්වා ආණ්ඩුව නීති විරෝධිව එකතු කරපු වැට් බද්ද මේ පනතෙන් නීත්‍යානුකූල කරන්න උත්සාහ දරලා තිබෙනවා.  පාර්ලිමේන්තුවට අතීතයට බලපාන්න නීති හදන්න පුළුවන්.  නමුත් අතීතයේ නීති විරෝධි ක්‍රියාවක් දැන් නීත්‍යානුකූල කරන්න බෑ.ඒ නිසා එමගින් ජනතාව අනාරක්ෂිත තත්වයට පත්වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝණය වීමක් සිදුවෙනවා.

මේ නඩුවේදී මා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටිනවා.  මේ පනත 3 වන වගන්තියට පටහැනි බවට තීරණය වුණොත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යොමු කළ යුතුයි.  4, 12 හෝ 14 වගන්තියකට පටහැනි බව තීරණය වුණොත් තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්.

පසුගිය වතාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ව්‍යවස්ථාවේ තිබෙන පටිපාටිය අනුගමනය කරමින් වැට් බදු පනත් කෙටුම්පත ඉදිරිපත් කර නැති නිසා නිසි පරිදි ඉදිරිපත් කළ පනතක් පාර්ලිමේන්තුවේ නෑ කියලා. එනම් ශූන්‍ය බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මෙම කෙටුම්පතේ පසුගිය වතාවේ වගේම පටිපාටිමය දෝෂයක් තිබෙනවා.  ඒ නිසා නිසි පරිදි සැකසූ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.  එසේ කලොත් නැවත මුල සිටම හතර වන වතාවටත් ඉදිරිපත් කරන්න වේවි.  ඒ පටිපාටිමය දෝෂය මාධ්‍ය හමුවේ දී හෙලි කරලා මගේ නඩුව දුර්වල කර ගන්න මා කැමති නෑ.  ඒක අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගය සිදු කරන දවසේ දී කරන්නම්.  දැනට ඒක රටක් වටින වැට් රහසක්.

මේ කිසිම දෙයක් නොවුණත් දැනටමත් ජනතාව දිනලා ඉවරයි.ඔක්තෝම්බර් 18 දා විවාද කරලා වැට් පනත සම්මත කරන්න තමයි ආණ්ඩුව බලාපොරොත්තු වුණේ.  නමුත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එන තුරු පාර්ලිමේන්තුවට වැට් පනත විවාද කරන්න බෑ.

 

සංහිඳියාවට සදහා අත්අඩංගුවට ගත යුත්තේ ඒ අයද? මේ අයද?

රටේ සංහිඳියාවයාව ගොඩ නගන්න තිබෙන්න බාධාව ඥාණසාර හාමුදුරුවන්, විමල් වීරවංශ මන්ත්‍රිතුමා සහ මමලු.  අපි තුන් දෙනා හිරේ දමන තුරු සංහිඳියාව ගොඩ නගන්න බෑ කියලා උතුරු පලාත් සභාවේ මන්ත්‍රි සී මයුරන් ප්‍රකාශ කරලා තිබ්බා.  අනේ අපි නම් සංහිඳියාවට කිසිම බාධාවක් කලේ නෑ.  ආණ්ඩුව මාස විස්සක් තටමලා සංහිඳියා වැඩසටහනක් හදා ගත්තා.  ඒක හැදුවේ චන්ද්‍රිකා නෝනා නායකත්වය දෙන සංහිඳියා කාර්යාලයෙන්.  ඒක ඇමති මණ්ඩලයට ඉදිරිපත් කලේ ජනාධිපතිතුමා.  නමුත් මනෝ ගනේෂන් ඇමතිතුමාගේ විරෝධය නිසා ඒ ඇමති මණ්ඩල පත්‍රිකාව සම්මත කර ගන්න ජනාධිපතිට බැරි වුණා.  තමන්ගේ අමාත්‍යාංශයට චන්ද්‍රිකා නෝනා ඇඟිලි ගහනවා කියා ගනේෂන් ඇමතිතුමාගෙන් පැමිණිලි.  මේ දෙන්නාගේ ගැටුම නිසා තමයි ආණ්ඩුවේ සංහිඳියා වැඩපිලිවෙල ඇණ හිටලා තිබෙන්නේ.  ජනපතියි අගමැතියි එකතු වෙලා රටේ සංහිඳියාව හදන්න කලින් සංහිඳියා ලොක්කයි ලොක්කියි අතරේ සංහිඳියාව හදන්න ඕනෑ.  සංහිඳයාවට බාධා කරන අය අත්අඩංගුවට ගන්න ඕනෑ නම් ගත යුත්තේ අපව නොවේ.  සංහිඳියාවට රණ්ඩු කරන චන්ද්‍රිකා නෝනා  සහ ගනේෂන් ඇමතිතුමා.

– අරවින්ද අතුකෝරල

6 views

3 Comments to “මොන්ටිසෝරි යමපාලන බබාලා වැට් පනත අතිවිශිෂ්ට හතරවන අවස්ථාවටත් ඇණ ගනී.. වැට් පනතේ රස රහසක්..”

  1. Janith says:

    Ane palayan gembo. Rupiyal 100 hora. Tho kaa gahanne mokatada kiyala orna modayekta therenawa. Horaa

    • Boo says:

      ඔප්පු කරන්නේ නැතුව අනුන්ට හොරා කියන එකා පච්ච හොරා බව දැන් රටම දන්නවා. ඒ නිසා උඹ තමයි හොරා.

    • ඕනෑම මෝඩයා says:

      අපිට තේරුනේ නැති වුණාට, ජනිත්ට තේරිලා තියෙනවා නේ…

      එතකොට ජනිත්.කියන විදියට ජනිත් මොකෙක් ද?