යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස් …

November 20, 2018 at 5:30 pm | lanka C news
යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස් …

යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචෙලියන් මහතා ඉලක්ක කර යාපනයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තුන් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් මහතා ඊයේ (19) දින නියෝග කොට සිටියේය.

2017 ජූලි මස 22 දා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් එච්.ජී. හේමචන්ද්‍ර මිය ගිය අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබුවේය.

අදාල සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කළ අතර ඔවුන්ට මේ දක්වාම ඇප ලබා දීම අධිකරණයේදී ප්‍රතික්ෂේප විය.

මේ පිළිබඳව වූ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට දන්වා සිටියේ මේ විත්තිකරුවන් කාලාන්තරයක් හෙවත් මාස 16 ක පමණ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින නිසා යම් ඇප සහනයක් මත ඔවුන්ව නිදහස් කරන ලෙසටයි.

මේ පිළිබඳව සලකා බැලූ මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප හා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව නිදහස් කිරීමට නියෝග කොට සිටියේ තවත් කොන්දේසිද සමගය.

ඒ අනුව මේ විත්තිකරුවන් තුන් දෙනාට විදෙස් ගමන් තහනම් කළ මහාධිකරණ විනිසුරුවරයා සතියේ සැම බ්‍රහස්පතින්දාවකම යාපනය මහාධිකරණයට පැමිණ එහි අත්සන් තබන ලෙසද නියෝග කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2 views

One Comment to “යාපනය මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස් …”

  1. Mahesh says:

    යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ මේජර් රාජමන්ත්‍රී සහ කෝප්‍රල් රාජකරුණා රණවිරුවන්ට මරණීය දණ්ඩනය නියම කළේ ඉලංචේලියන් මහේස්ත්‍රාත්වරයායි.

Main News