යුද හමුදාපති මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ සංචාරයක මඩු මාතා පිළිරුවකුත් තැන්පත් කරයි…

April 12, 2019 at 2:08 am | lanka C news
යුද හමුදාපති මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ සංචාරයක මඩු මාතා පිළිරුවකුත් තැන්පත් කරයි…

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේස් සේනානායක මහතා මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ සංචාරයක නිරත වෙමින් මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම හා රැක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු විණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් යුද හමුදාපති තුමන් පිළිගැනීමෙන් පසුව වන්නි ආඥාපති තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 61 වන සේනාංකයේ පූර්ණ සංවිධානත්වයෙන් අද දින මන්නාරම් මඩු දේවස්ථාන භූමියේ මී පැල 45,000 ක් රෝපණය කිරීමේ අවස්ථාවේ ආරම්භය යුද හමුදාපති තුමන් අතින් සිදු විය.

යුද හුමුදාපති තුමන් හා වන්නි ආඥාපතිතුමන් ඇතුලු පිරිස මඩුමාතා පිළිරුවක් පෙරහැරකින් වැඩමවා මඩු දෙව්ස්ථානයේ තැන්පත් කිරීම සිදු වූ අතර එහිදී මඩු මාතා පිළිරුව භාරගනු ලැබුවේ මඩුදේවස්ථානයේ රදගුරු පෙපි සෝසෙයි හිමිපාණන් විසිනි.

මඩු දේවස්ථාන භූමියේ අලංකාරය හා ගෞරවය උදෙසා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වෙනුවෙන් පලාතේ බැතිමතුන්ගේ මහත් ප්‍රසාදය හිමි විය.

රුක් රෝපණ හා මඩුමාතා පිලිරුව තැන්පත් කිරීමේ අවස්ථාවට තවද 56 සේනංකාධිපති මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමඉන්පිටිය 61 වන සේනංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩී. තිලකරත්න මහතා ඇතුලු 611,612,613 යන බලසේනාවන‘හි බලසේනාධිපති වරුන් ඇතුලු ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරීන් රැසක් හා ප්‍රදේශ වාසීන් රැසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,338 Viewers
Main News