යුනෙස්කෝ නිර්දේශයට මුවා වී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්න සැලසුම්…

July 23, 2018 at 9:57 pm | lanka C news
යුනෙස්කෝ නිර්දේශයට මුවා වී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්න සැලසුම්…

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කරනවාය යන්න රටේ පවතින මහජන නොසන්සුන්තාවය අද දවසේ ජාතික ප්‍රශ්ණය බවට පත්ව තිබේ. වසරකට අධික කාලයක් රටේ බාල මහළු ලොකු කුඩා කා අතරත් ජාතික මාතෘකාව බවට පත්ව තිබූ මහ බැංකු බැදුම්කර මගඩිය යටපත් කරන්නට මෙන් කරලියට ගෙනා මරණ දඩුවම මෙන්ම නිව්යෝක් ටයිම්ස් වාර්තාද අබිබවා ගාල්ල ක්‍රීඩාංගණය පිළිබද කතාව මේ වන විට පෙරට පැමිණ තිබේ.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනස් නොකරන ලෙස රජයට බල කරමින් සෙනසුරාදා (21) දින ගාල්ල නගරයේදී උද්ඝෝෂණයක්ද පැවැත්විණ. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ඇතුළු පිරිසක් විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණයට දේශපාලනඥයින් ක්‍රීඩකයින් ක්‍රීඩා ලෝලීන් ප්‍රදේශවාසීන්ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම ක්‍රීඩාංගණය කඩා ඉවත් කිරීමට රජය ගෙන තිබූ තීරණය හකුලා ගන්නට සිදු වූයේ මහජන විරෝධය නිසාවෙන් බව රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂයේ සිට පසුගියදා ඒකාබද්ධ විපක්ෂයට එක් වූ චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාංගණය ආරක්ෂාකර ගැනීමට ශ්‍රී ලංකාව තුල කරන අරගලයන් ප්‍රමාණවත් නොවන්නේ නම් යුනෙස්කෝ සංවිධානය ඉදිරිපිටට ගොස් හෝ අරගල කරන බවයි. දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රීඩාංගණය ඉවත් කරනවාය යන කතාබහ ආරම්භ වන්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මීට සති දෙකකට පමණ පෙර කරන ලද ප්‍රකාශයකිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පින්නදූව ප්‍රදේශයට ගෙන යන බවත් ඒ සදහා අක්කර 50 ක භූමියක් වෙන්කර තිබෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවදානමක් මතුව තිබෙන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ගාල්ල ක්‍රීඩාංගණය වටා අවිධිමත්ව ඉදිකර ඇති ගොඩනැගිලි ඉවත් කරන බවත් එවිට එය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බැවින් පාසැල් සිසුන්ගේ ක්‍රීඩා අවශ්‍යතාවයන් සදහා එය වෙන් කරන බවත් වජිර අබේවර්ධන මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

පසුගිය ජූලි 17 දා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සමග සෙත්සිරිපායේදී පැවති සාකච්ඡාවේ තීරණත් සමග ගාල්ල ක්‍රීඩාංගණය රැක ගැනීමේ අරගල වඩාත් උත්සන්න විය. ඉදිරි දින දෙක තුල ගාල්ල ක්‍රීඩාංගණයේ සියළු ගොඩනැගිලි කඩා ඉවත් කිරීමටත් ක්‍රිඩාංගණය ගාල්ල නගරයට කිලෝ මීටර් 15 ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට ගෙන යෑමටත් එම සාකච්ඡාවේදී තීරණය වී තිබුණි. මෙම සාකච්ඡාවේදී ජේ ජේ රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම තීරණය මීට පෙර ගන්නා ලද්දක් බවයි. අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබූ බවත් සිය අමාත්‍යාංශයට සාකච්ඡාවක් ලබා දී අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම පිළිබදව තීන්දුවක් ගන්නා ලෙසට උපදෙස් ලබාදුන් බවත් ඒ මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණි. ගාලු ක්‍රීඩා පිටිය පරණ තිබූ විදියට පවත්වාගෙන යන බවද ඔහුගේ අදහස විය.

මෙම සාකච්ඡාවේදී ගාල්ල ක්‍රීඩාංගණයේ පරිපාලනය බාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවකි. අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවටත් තමන් සහභාගි වූ බවද මෙය ජාතික අපරාධයක් බවද ඔහු ප්‍රකාශ කළේය. අරලියගහ මන්දිරයේ හා සෙත්සිරිපායේ පැවති රැස්වීම් දෙකේදීම තමන් දැක්වූ අදහස් වලට සාධාරණයක් ඉටු නොවූ බවද සෙත්සිරිපායේ රැස්වීමේදී ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කල බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මහජන උද්ඝෝෂණ වඩාත් ප්‍රබල වූයේ මෙම රැස්වීමේ තීරණත් සමගිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිදිදු තීන්දුවක් ගෙන නොමැති බවයි.

ගාලු කොටුව සහ ක්‍රීඩාංගණයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකරන්නේ නම් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් පවතින බව යුනෙස්කෝ ආයතනය මෙරටට දන්වා තිබේ. ඒ අනුව ගාලු කොටුව තුළ සහ ඒ අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් නියෝග කර ඇති බවද දැනගන්නට තිබේ. වජිර අබේවර්ධන මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණය බවද ආරංචි මාර්ග සදහන් කරයි.

මේ ආකාරයට ක්‍රීඩාංගණයේ එක ගොඩනැගිල්ලක්වත් කඩන්න ඉඩ නොදෙන බව ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ප්‍රකාශ කරයි. මේ ගොඩනැගිලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත්ව ගාල්ල මහ නගර සභාව අනුමත කර තිබෙන බවද ඒ මහතා සදහන් කරයි. සැලසුමට පිටින් යම් ඉදිකිරීමක් කර ඇත්නම් කඩා ඉවත් කිරීම ගැන විරුද්ධ නොවන බවද ඒ මහතා සදහන් කරයි. බලෙන් ගොඩනැගිලි කඩන්න හැදුවොත් අපි නීතී මාර්ගයෙන් කටයුතු කරනවා. සමහරු හිතන් ඉන්නවා මෙතනින් ක්‍රීඩා පිටිය ඉවත් කරලා, ඉඩම් වෙන වෙන කාට කාට හරි දෙන්න. ඒ සදහා අපෙන් අවස්ථාවක් නෑ යනුවෙන්ද නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය. ගාල්ල මහා නගර සභාවට අයිති ක්‍රීඩාංගණයේ ගොඩනැගිලි ඉවත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඇත්තේද ගාල්ල මහා නගර සභාවට බවද නගරාධිපතිවරයා පෙන්වා දුන්නේය.

නව ක්‍රීඩාංගණ ඕන තැනක හදාගත්තට අපිට ගැටලුවක් නැහැ. නමුත් ගාල්ල ක්‍රීඩාංගණය, ගාල්ල නගර සභාවට අයිති දෙයක්. ඒනිසා ක්‍රීඩාංගණය රැකගැනීමට අපි නිරතුරුව බැඳිලා ඉන්නවා. ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් නගර සභාවට ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බවද නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය ගාලු කොටුවේ ලෝක උරුමයට බලපෑමක් බැවින් එය ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නිර්දේශ කර ඇති බවද දැනගන්නට තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ලෙස කටයුතු කළ අවධියේ ගාල්ල ක්‍රිඩා මණ්ඩපය ඉදි කෙරුණූ අතර පසුව  මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය ලෙස නම් කෙරුණි. ගාලු කොටුව ලෝක උරුමයට හානියක් වන මහින්ද රාජපක්ෂ ක්‍රිඩා මණ්ඩපය කඩා ඉවත් කිරීමට මීට පෙර යෝජනා කෙරුණද මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඊට යොදා තිබීම නිසා එය නොකෙරුන බවද නාගරික සංවර්ධන අධිකාරියේ වාර්තාවේ  සඳහන්වේ.

යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇති ගාලු කොටුව සහ ඒ අවට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජුනි 24 දා ගාල්ලේ පැවති සාකච්ඡාවකදීද අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා ඇත. ඔහු එහිදීද මෙම අනවසර ගොඩනැගිලි ඉවත් කලයුතු බව පෙන්වා දී තිබේ. ඇතැම් විට ඔහුගේ මෙම ඉක්මන් තීරණයට කඩා ඉවත්කල යුතු ප්‍රධානතම ගොඩනැගිල්ල මහින්ද රාජපක්ෂ නමින් නම්කර තිබීමද හේතු වූවා විය හැකිය.

ගාල්ල අධ්‍යාපන කලාපයේ ළමුන්ට සහ එහි ජනතාවට ගාල්ල ක්‍රීඩාංගනය ලැබිය යුතු බවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එහිදී අදහස් දක්වා ඇත. ගාල්ල දිස්ත්‍රික්කයට ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් අවශ්‍ය බැවින් අධිවේගී මාර්ගයෙන් පිටත පින්නදූව ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට බලාපොරොත්තුවන බවත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, මහජන ක්‍රීඩාංගනයක් බවට පත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඇතැම් විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගාල්ලේ කල වෙනස්කම් ඉවතලා පෙර තිබූ තත්ත්වයට ගාල්ල ක්‍රීඩාංගණය ගෙන ඒමේ අවශ්‍යතාවය වජිර අබේවර්ධන මහතාට තිබුණාද විය හැකිය. ඒ සදහා ඔහුට මීට බොහෝ කලකට පෙර ලැබුණ යුනෙස්කෝ වාර්තාව උදව්වූවාද විය හැකිය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය මෙම ස්ථානයෙන් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් ස්ථානයක ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදි කරන බවට වූ අදහස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා 2016 වසරේදීද ප්‍රකාශ කළේය. ඇමතිවරයා එහිදීද කියා සිටියේ ප්‍රදේශයේ පාසල් දරුවන්, තරුණයන් ඇතුළු පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය යොදා ගත නොහැකි තත්වයක් යටතේ ගාලු ජනතාවට අසාධාරණයක් වී ඇති බවය. ඉදිරියේදී ගාල්ල නගරය සංචාරක පුරවරයක් ලෙස නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් ගාල්ල නගරයේ සහ ගාලු කොටුවේ පිහිටි සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඊට අමතරව ගාලු කොටුවේ පිහිටා තිබෙන සියලුම රජයේ ආයතනද වෙනත් ස්ථාන කරා රැගෙන යාමටද ඉදිරියේදී කටයුතු කරන බවද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.

ගාල්ල මහ නගර සභාව විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සදහා ගාල්ල ක්‍රීඩා පිටිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බදු ඔප්පුවකින් පවරා දෙනු ලැබුවේ 1998 වසරේදීය. ගාල්ල මහ නගර සභාව බදු දීමනාකාර පාර්ශ්වය ලෙස ද බදු ගැණුම්කාර පාර්ශ්වය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද අදාළ ගිවිසුමට අත්සත් තබා ඇත්තේ වසර 30 ක කාලයක් සඳහාය. මෙම ගිවිසුමට අනුව වසර 30 කාලය අවසන් වන්නේ 2028 අප්‍රේල් 02 දාය. ප්‍රධාන කොන්දේසි 27 කින් සමන්විත මෙම ගිවිසුමේ කොන්දේසි අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලට අමතරව ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ තරග සඳහා ද ක්‍රීඩාංගණය ලබා දිය යුතුය. එයට අමතරව ගාල්ල මහ නගර සීමාව තුළ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ හෝ රජයේ අනුග්‍රහය ලබන පාසල්වල මලල ක්‍රීඩා උත්සව සඳහාද ක්‍රීඩා පිටිය ලබා දිය යුතුය.

ගාල්ල දිස්ත්‍රික්කයද අයත් දකුණු පළාත සතුව ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් ඇත. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඒවා වේ. සූර්යය වැව ක්‍රීඩාංගණයේ මේ වන විට ක්‍රිකට් තරග නොපැවෙත්වෙන  අතර අධික පිරිවැයක් දරා එවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දැඩි විවේචනද එල්ල විය.

1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පෘතුගීසි ජාතිකයන් විසින් ප්‍රථම වරට ඉදිකරන ලද පෞරාණික ගාලු කොටුව 17 වෙනි සියවසයේ පැමිණි ලන්දේසි ජාතිකයන් විසින් තව තවත් පුළුල් කරනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සුළු ආකෘතික වෙනස්කම් කර නවීකරණය කරන ලද ගාලු කොටුව දැනට ශ්‍රි ලංකාවේ ජිවමානව පවතින පැරණිම ලෝක උරුම නගරයකි. 1974 වසරේදී පුරා විද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කෙරුණු ගාලු කොටුවේ ඓතිහාසික වැදගත්කම හේතුවෙන් 1988 වසරේදී එක්සත් ජාතින්ට අනුබද්ධ යුනෙස්‌කෝ සංවිධානය විසින් එය ලෝක උරුම ස්මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව ගාල්ල කොටුව ලෝක උරුම නගරය තුළ පිහිටි සියලුම නිවාස, ගොඩනැගිලි ඇතුළු සමස්ත ප්‍රදේශය පුරාවිද්‍යා ස්මාරක වේ. එම ගොඩනැගිලි නවීකරණය කිරිමට හෝ නව ඉදිකිරිම් සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ගාල්ල මහ නගර සභාව යන රාජ්‍ය ආයතනවලින් පූර්ව අවසරයක් ලබාගත යුතුය

ගාල්ල නගරයේ අනවශ්‍ය සියළු ඉදිකිරීම් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. ඒ වත්මන් රජයේ ක්‍රියේට් ගෝල් නගර සැලැස්ම යටතේය. ගාලු නගරය සංචාරක පුරවරයක් බවට පත් කිරීම හා නගරය පුළුල් කිරීමේ අරමුණෙන් මෙම අනවශ්‍ය ඉදිකිරීම් සියල්ල ඉවත් කරනු ලබන බව රජය කියයි. රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යවරුන් හා නිළධාරීන් කිහිප දෙනෙකු එක්ව මෙම ඉදිකිරීම් ඉවත් කිරීමේ තීරණය ගෙන තිබෙන බවද දැනගන්නට තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කරන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවයි. ගාලු කොටුව ආශ්‍රිත මීටර් 400 ක් දුරින් පිහිටි පුරාවිද්‍යා සීමාව තුළ සියළු ඉදිකිරීම් ඉවත් කරන්නේ නම් ක්‍රිකට් ක්‍රීඩාංගණය පමණක් නොව ගාල්ල පොලීසිය, ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පොළ හා තවත් ඉදිකිරීම් රැසක් ඉවත්ව කිරීමට සිදුවන බවද දැන ගන්නට තිබේ.

1998 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම ආරම්භ කරන ලද ගාල්ල ක්‍රීඩාංගණයේ මේ වන විට ටෙස්ට් තරඟ 31 ක් සහ එක්දින තරග 06 ක් පවත්වා ඇත. එම ටෙස්ට් තරඟ 31 න් තරඟ 18 ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර තරඟ 06 ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. මේ අතර එළඹෙන නොවැම්බර් මස 10 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා මේ වන විට ටිකට් පත් තුන්දාහක් (3000) පමණ දැනටමත් අලෙවි වී තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

ගාල්ලේ දරුවන්ට  වෙනත් ක්‍රීඩා සදහා අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණ වල අඩුවක් මේ වන විට නොමැති බවද ගාල්ලේ ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ දෙනාගේ මතය වි තිබේ. අන්තර් ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩා පිටියක්  හදන්න පුලුවන් ස්ථානයක් පවා ගාල්ල නගරය ආසන්නයේම තිබෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. දැනටත් පාපන්දු සදහා හොද ක්‍රීඩා පිටි තිබෙන බවද කියති. රගර් ක්‍රීඩාව සදහා ගාල්ලේ කන්දෙවත්ත සහ කොග්ගල ක්‍රීඩා පිටි දෙකක්ද මලල ක්‍රීඩා සදහා දඩල්ලේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක්ද තිබෙන බව ක්‍රීඩාවේ නිරත වූවන් ප්‍රකාශ කරයි. දැල් පන්දු ක්‍රීඩාවට ගාල්ල කොටුවේත් බාස්කට් බෝල් සහ අත් පන්දු ක්‍රීඩා සදහා ගාල්ලේ සෑම පාසලකමටත් හොද තත්වයේ ක්‍රීඩා පිටි තිබෙන බවද ඔවුන්ගේ මතය වී තිබේ. සැහැල්ලු පන්දු ක්‍රිකට්, ක්‍රීඩා තරග, නිවාසාන්තර ක්‍රීඩා, කානිවල්, සංගීත ප්‍රසංග ආදී සියල්ල සදහා ගාල්ල සමනල ක්‍රීඩාංගණය භාවිතා කල හැකි බවත් නැත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තැනක් බැවින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය රැකගත යුතු බවද ඔවුන්ගේ අදහස වී තිබේ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය හැරුණ විට පාසල් ක්‍රිකට් තරඟයක් පැවැත්විට හැකි ක්‍රීඩාංගණයක් ගාල්ලේ ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයට පමණි. ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සදහා මෙම ක්‍රීඩාංගණ දෙක ලබා ගැනීමට නොහැකි අවස්ථාවලදී යන්නේ සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයටය. පසුගිය පාසල් වාරයේ ගාල්ල රිච්මන්ඩ් හා ඇලෝසියස් විද්‍යාල අතර ක්‍රිකට් තරඟය පවා පවත්වා තිබුණේද සුරියවැව ක්‍රීඩාංගණයේදීය. එම නිසා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමට පෙර අළුතින් සාදනවා යැයි කියන ක්‍රීඩා පිටිය සාදා දෙන ලෙසද ගාල්ලේ ජනතාව ඉල්ලා සිටිති.

කෙසේ වෙතත් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමේ ජනතා අරගල වැඩිවත්ම අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විදේශ රටක සිට පෙරේදා (22) මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ගාල්ල මහජන ක්‍රීඩාංගනය කිසිසේත්ම වෙනස් නොකරන බවත් සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙසත්ය. ලෝක උරුම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය, අදාල පළාත් පාලන ආයතනය එනම් ගාල්ල මහ නගර සභාව ලෝක උරුමයේ නියෝග ක්‍රියාත්මක කරන ගාලු උරුමය පදනම (යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්ණායක අනුව අදාල අනුමැතිය ලබාදීම සඳහා) හා ලබාගැනීම කල යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ. එය එසේ සිදුවී නොමැති බව එවකට නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද පිළිගෙන ඇති බවත් අනවසර ඉදිකරීම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති අතර එවකට පැවැති රජය විසින් ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ කර ඇති  නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් අදාල නිවේදනය මගින් ඒ මහතා පෙන්වා දී තිබේ. ගාල්ල ක්‍රීඩාංගණය දින දෙකක් ඇතුළත කඩා ඉවත් කරන්න යැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි ඇතැම් මාධ්‍යවල වාර්තා පළවී තිබු බවත් එය නිවැරදි කරන ලෙසද අමාත්‍යවරයා මෙම නිවේදනය මගින් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් මෙම නිවේදනය මගින් වජිර අබේවර්ධන මහතා සදහන් කරන්නේ ගාල්ල මහජන ක්‍රිඩාංගණය සම්බන්ධයෙනි. ඒ මහතාගේ නිවේදනයේ කිසිදු තැනක ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවක් සදහන් වෙන්නේ නැත. ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් අදහස් දැක්වූ සාගල රත්නායක හා මහින්ද අමරවීර යන අමාත්‍යවරුන්ද ක්‍රීඩා පිටිය ඉවත් නොකරන බව සදහන් කළේය. නමුත් ඔවුන් අදහස් කළේද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයද ගාල්ල මහජන ක්‍රීඩාංගණයද යන්න පැහැදිලි නැත.

මේ සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කරන්නේද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීකට් ක‍්‍රීඩංගණය ඉවත් කරන ලෙස කිසිදු නිර්දේශයක් තම සංවිධානය විසින් ඉදිරිපත් කර නොමැති බවයි. යුනෙස්කෝ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ මහ ලේකම් ලාල් රණවීර මහතා ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එම ක‍්‍රීඩාංගණය තුල ඉදිකර ඇති මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩා මණ්ඩපය හා ඊට දෙපසින් ඇති ක‍්‍රීඩා මණ්ඩප ද්විත්වය පමණක් ඉවත් කල යුතු යයි යුනෙස්කෝව විසින් නිර්දේශ කර ඇති බවයි. එමෙන්ම ක‍්‍රීඩංගණය තුල ඉදිකර ඇති වෙළෙද සැල් මෙන්ම පුහුණුවීම් කරන ස්ථානද ඉවත් කල යුතු බවට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කර ඇති බවද ලාල් රණවීර මහතා ප්‍රකාශ කරයි. 2019 දෙසැම්බර් 01 දිනට පෙර මෙම තත්ත්වය නිවැරදි නොකලහොත් ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක් තිබෙන බවද ඒ මහතාගේ නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දි තිබේ.

යුනෙස්කෝ සංවිධානය නිර්දේශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා මණ්ඩපය හා ඊට දෙපසින් ඇති ක්‍රීඩා මණ්ඩප ද්විත්වය පමණක් ඉවත් කිරීමට බව මේ අනුව පැහැදිලිය. මෙම ක්‍රීඩා මණ්ඩපයන් ඉදිකර ඇත්තේ පවතින නීති රීති වලට පටහැනිව බව සත්‍යයකි. ඒවා ඉවත් කිරීමේදී ඊට වැය වූ මහජන මුදල් වගකිව යුත්තන්ගෙන් අය කර ගැනීමද ජාතික අවශ්‍යතාවයකි. එම ගොඩනැගිලි ඉදිකල සමයේම යුනෙස්කෝව ඒවා ඉවත්කරන ලෙසද දැන්වු අතර එවිට ඊට සම්බන්ධ වූවන් කළේ ගොඩනැගිල්ලේ මහින්ද රාජපක්ෂ නම ගැසීමයි. ඒ අනුව ගොඩනැගිලි ඉවත් කිරීම නැවතිනි. වර්තමානයේ මතුව ඇත්තේද අළුත් යමක් නොවේ. එය යුනෙස්කෝවේ පැරණි නිර්දේශයමය. එහි අළුතෙන් ඇත්තේ ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානම පමණි. ඒ නිසා අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම යන යුනෙස්කෝවේ නිර්දේශයට මුවා වී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම කුමන අවශ්‍යතාවයක්ද යන්න සොයා බැලිය යුතුය.

කෙසේ වෙතත් මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ තීරණය වජිර අබේවර්ධන මහතා හා රජය විසින් හකුලා ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළට ඔසවා තබන ගාලු කොටු පවුර ලෝක උරුමයද රැකගත යුතුය. සංචාරක ව්‍යාපාරය වඩාත් වැඩි දියුණු කිරිමට ගාලු කොටු පවුර මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරගත් මහෝපකාරී වන බවද පිළිගත යුතුය. එම නිසා දේශපාලන පාට කණ්නාඩි හරහා බැලීමකින් තොරව ක්‍රිකට් ක්‍රීඩාංගණයත් ලෝක උරුමයත් යන දෙකම රැකගත හැකි ක්‍රම වේදයකට රට තල්ලු කිරීමට දේශහිතෛෂීන් පෙරමුණ ගත යුතුය.

– ජයකාන්ත ලියනගේ

115 views
Main News