රජයට එරෙහිව පොලිසිය කුමන්ත්‍රණයක…

May 5, 2018 at 3:50 pm | lanka C news
රජයට එරෙහිව පොලිසිය කුමන්ත්‍රණයක…

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වාහන වෙනස් කිරීම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය විසින් රජයට එරෙහිව කරන කුමන්ත්‍රණයක්, මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩ කිරීමක්…

2009 අංක 8 දරණ මෝටර් රථ සංශෝධන පනතේ අනුව 2අ (1) (ඌ) හා 19අ (1) වගන්ති අනුව මෝටර් රථ කොමසාරිස්වරයාගේ අනුමැතියෙන් තොරව වාහනයක් වෙනස් කිරීම රු. 50,000-300,000 (2අ, දැන දැන ධාවනය කිරීම) හා රු. 300,000-500,000 (19අ, වෙනස් කමක් සිදු කිරීම) අතර දඩ මුදලක් ගෙවිය යුතු වරදකි.

ඒ අනුව වහනයක් වෙනස් කිරීම මෝටර් රථ පනතෙන් තහනම් කර නොමැති අතර එසේ වෙනස් කිරීම් සිදු කිරීමට අවසරයක් ලබාදීම මෝටර් රථ කොමසාරිස්වරයාගේ පැහැදිලි වගකීමක් වන නමුත් එසේ කිරීමේ ක්‍රමවේදයන් හා සීමා ගැන විමසා අප සංගමය විසින් 2018.02.22 දින 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලීමක් කර ඇත. ඊට පිළිතුරු දීමට නොහැකිව දැන් දින 60 ක් ඉක්මවන අතර අප සංගමය කරන ලද සොයා බැලීමේ දී මෝටර් රථ පනතේ රෙගුලාසි ප්‍රකාරව යතුරුපැදි, කාර්, වැන්, ත්‍රීවිල් යන මෝටර් රථ වර්ගවල වෙනස් කිරීම් කිරීමට කොමසාරිස්වරයා අවසර ලබා දුන් ව්‍යාපාර ද කිසිවක් රට තුල මෙතෙක් තිබී නොමැති බව වාර්තා වේ (බස් හා ලොරි සඳහා පමණක් ඇති බව වාර්තා වේ). ඒ හේතුවෙන් උක්ත වාහන වර්ග (යතුරුපැදි, කාර්, වෑන්, ත්‍රීවිල්) එලෙස වෙනස්කම් සඳහා අවසර ලබාදීමේ හා  අනුමත කිරීමේ ක්‍රමවේදයක් ද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ මෙතෙක් තිබී නොමැත.

මෝටර් රථ පනතේ 19 (2) (ආ) වගන්තිය ප්‍රකාරව වාහන සයිලන්සර් සඳහා ශබ්ද සීමාවන් ද අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් නොකර ඇති පසුබිමක් තුල “අධික ශබ්ද සහිත සයිලන්සර් සවිකර රිය ධාවනය” යන චෝදනාව කිරීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිදු අයිතියක් ද නොමැත.

ඇතැම් වෙනස් කම් සිදුවන්නේ මාර්ග අනතුරු අවම කරගැනීමට ය, යතුරුපැදිකරුවන්ගේ ආරක්ෂාවට ය, ප්‍රමිතියකට නොසෑදු වාහන හා යතුරුපැදිවල දුර්වලතා නිවැරදි කරගැනීමට ය, නිෂ්පාදකයා විසින් ලබා දෙන අමතර කොටස් වෙළෙඳපොළේ නොමැති වීම නිසාය. වෙනස් කිරීම් සඳහා අනුමැතියක් ගැනීමේ ප්‍රසිද්ධ ක්‍රමවේදයක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සතු නොමැති පසුබිමක මෝටර් රථ කොමසාරිස්වරයාගේ පූර්ව ලිඛිත අවසරයක් නොමැතිව වාහන වෙනස් කිරීමට විරුද්ධව යතුරුපැදිකරුවන්ට, කාර් රියදුරන්, වැන්, ත්‍රීරෝද රථ රියදුරන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නඩු පවරා රු. 50,000-500,000 අතර දඩ මුදල් අය කිරීම මිලියන 6 ක් ඉක්මවන වාහන හිමියන්ගේ පැහැදිලි මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් කඩ කිරීමකි.

අප සංගමයේ විරෝධය ද නොතකා මෙලෙස අත්තනෝමතික ලෙස පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කිරීම හරහා යතුරුපැදිකරුවන් වැනි දුප්පත් මිනිසුන් සිරගත කිරීමේ අරමුණින් මෙතරම් විශාල දඩ මුදල් අය කිරීම තුළින් විශාල මහජන පීඩාවක් හා එතුලින් යහපාලන රජයට එරෙහිව විශාල මහජන විරෝධයක් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයාගේ ඍජු දැනුම ඇතිව ශ්‍රී ලංකා පොලිසිය විසින් දැන දැනම නිර්මාණය කර තිබේ. මෙය දේශපාලන උවමනා මත පොලිසියේ ඇතමෙකු විසින් යහපාලන රජයට එරෙහිව කරමින් යන පැහැදිලි කුමන්ත්‍රණයක් ලෙස අපි දකිමු.

ඇතැම් යතුරුපැදිකරුවන්ට මෙම අධික දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකව අතිගරු ජනාධිපතිවරයාගෙන් ආධාර ඉල්ලිමේ තත්ත්වයට මෙම ගැටලුව දුර දිග ගොස් ඇති බව වගකිවයුතුව මාධ්‍ය වෙත අපි ප්‍රකාශ කරමු. මෙම ගැටලුව පිළිබඳව රජය දැනුවත් කර ඇති අතර ඊට නිසි විසඳුමක් දීමට රජය අපොහොසත් වුවහොත් මේ පිළිබඳව සමාජයේ අසාධාරණයට එරෙහිව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන නීතිඥවරුන්ගේ සහයෝගය ඇතිව අප සංගමයේ කමිටු සාමාජිකයන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශෙ‍්‍රෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට ද කටයුතු කරන බව දැනුම් දීමට අපි කැමැත්තෙමු.

චිරන්ත අමරසිංහ
සභාපති

507 views